ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: මහින්ද "අස්වෙනවා", රනිල් "දිව්රුම් දෙනවා"

මහින්ද "අස්වෙයි", රනිල් "දිව්රුම් දෙනවා" Image copyright Getty Images

ඉරිදා (දෙසැම්බර් 16) උදෑසන 10.00 ට රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැති ධුරයේ දිව්රුම් දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න බීබීසී සිංහල සේවයට පැවසුවේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ අතර සිකුරාදා (දෙසැම්බර් 14) පැවති "දුරකතන සංවාදයකින් පසු" මෙම තීරණය ගත් බව මන්ත්‍රීවරයා පැවසුවේය.

කෙසේවෙතත්, නව ආණ්ඩුවක් සඳුදා වන විට පත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සමග ඊයේ (දෙසැම්බර් 13) රාත්‍රියේ පැවති හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව එම හමුවට එක්වූ නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා පැවසීය.

"රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩු කිරීමට තමාගේ කිසිදු අදහසක් නොමැති," යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම හමුවේදී ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසූ නමුත් රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබා නොදෙන බව ජනාධිපතිවරයා පැවසුවේ දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, "එහෙම කිව්වේ නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසි ම කෙනෙක් ඊට එක්වෙන්න එපා කියලා කිව්වේ," යනුවෙනි.

මේ අතර, ඔක්තෝබර් 26 වන දින ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සෙනසුරාදා (දෙසැම්බර් 15) තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිත බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

"රටේ ස්ථාවරභාවය ආරක්ෂාකිරීම පිණිස, සෙනසුරාදා ජාතිය ඇමතීමෙන් අනතුරුව අගමැති පදවියෙන් ඉල්ලා අස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කර ඇති," බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිකුත්කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

හිටපු ජනාධිපතිවරයා එම තීරණයට එළඹ සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ද බීබීසී සිංහල සේවයට තහවුරු කළේය.

දින 50 ක පමණ කාලයක් පුරා දිව ගිය ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කිරීමත් සමගය.

සෙනසුරාදා පදවියෙන් ඉල්ලා අස්වීමට හිටපු ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව එක්සත් ජාතික පෙරමුණේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ද ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ප්‍රකාශකොට තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මෙතෙක් කිසිවක් ප්‍රකාශකොට නැත.

මේ ගැනත් දැනගන්න:

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන කියා සිටියේ, සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව හේතුවෙන් අගමැතිවරයා ඉල්ලා අස් නොවුවහොත් අලුතෙන් අගමැතිවරයෙක් පත්කිරීමේ හැකියාවක් නොමැති බවය.

එබැවින් ජනවාරි මාසය වනවිට මුහුණදීමට සිදුවිය හැකි තත්වය සලකා බලා සෙනසුරාදා පදවියෙන් ඉල්ලා අස්වීමට "අගමැති මහින්ද රාජපක්ෂ" තීරණය කළ බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, "අගමැතිතුමාගේ ප්‍රකාශයේ තියෙන්නේ අලුත් අගමැතිවරයෙක් හෝ වෙනත් කිසිම දෙයක් කරන්න ජනාධිපතිතුමාට බෑ. ඒ නිසා ජනාධිපතිතුමාත් අපහසුතාවයට පත්කරන්නේ නැතුව, ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව කල් දාපු නිසා අපිට වෙන තීන්දුවක් ගන්න විදියකුත් නෑ. ඒ නිසා රට ගැන කල්පනා කරලා එතුමා ඉල්ලා අස්වෙලා ආණ්ඩුවක් හදාගන්න අවස්ථාව දීමට," තීරණය කළ බවය.

Image copyright PMD

කෙසේ වුවත්, පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා දෙකක් සම්මතවීමෙන් අනතුරුව සහ අධිකරණය විසින් වාරණයක් පනවනු ලැබ තිබෙන බැවින් මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති පදවිය නොදරන බවට ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළවෙමින් තිබේ.

ඒ පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ එඩින්බරා විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය අසංග වැලිකල කියා සිටියේ, පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය සහිත අගමැතිවරයෙකු පදවියෙන් පහකිරීමට ජනාධිපතිවරයාට නීත්‍යානුකූල බලයක් නොමැතිය යන්න සිය ස්ථාවරය බවය.

එබැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔක්තෝබර් 26 වෙනි දින අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකිරීම මෙන්ම මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීම ද නීතිය ඉදිරියේ වලංගු නොවන බව ද ඔහු අවධාරණය කළේය.

මේ අතර, ජනාධිපතිවරයා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර බ්‍රහස්පතින්දා (දෙසැ. 13) රාත්‍රියේ පැවති හමුවේදී ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් සඳුදා වන විට පත් කරන බව ප්‍රකාශ කළ බව එම හමුවට එක්වූ නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා පැවසීය.

එම හමුවට එක්වූ තවත් මන්ත්‍රීවරයෙකු පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩු කිරීමට සුදානම් නොමැති බව පමණක් එහිදී ප්‍රකාශ වූ බවය. පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය ලබා දීමට සිදුවන බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී ඇඟවීමක් කළ බව ඔහු බීබීසි සිංහල සේවයට පැවසීය.

Image copyright Getty Images

බ්‍රහස්පතින්දා (දෙසැ. 13) පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ මන්ත්‍රී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට කියා සිටියේ, "අපි ආණ්ඩුවේ වේදිකාවෙන් බැහැල යන්න සුදානම්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් පස්වන වරටත් අගමැති ධුරය ලබා ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා," යනුවෙනි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත අදහස් දැක්වූවන් කළ ප්‍රකාශ පිළිනොගන්නා බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහගේ අත්සන සහිතව නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ, පක්ෂ නායකත්වය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී දැනුවත් කරන බවය.

තවත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර