ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: මහින්ද "අගමැති ධුරයෙන් ඉවත් වෙයි"

Image copyright Getty Images
Image caption "මහ මැතිවරණයක් නොමැතිව අගමැති ධූරයක් දැරීමට මගේ කිසිදු බලාපොරොත්තුvaක් නොමැති නිසාත්, තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහාත්, මම අගමැති ධූරයෙන් ඉවත් වෙලා, අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනාධිපතිතුමාට ඉඩ ලබලා දෙනවා,"

තමන් මෙතෙක් දැරූ බව පැවසෙන අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

සෙනසුරාදා (දෙසැ 15) උදෑසන හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවති උත්සවයකදී අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට වන ලිපියට සුබ මොහොතින් මහින්ද රාජපක්ෂ අත්සන් කළ බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ඔහුට සහය දෙන පක්ෂ නායකයෝ මෙන්ම ආගමික නායකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මහින්ද රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තැබුවේ, ආගමික නායකයන්ගෙන් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවය.

මහින්ද රාජපක්ෂගේ අගමැති තනතුර නොවැම්බර් 14 වන දා විශ්වාසභංග යෝජනාවෙන් අහෝසි වී තිබුණු බැවින් ඔහුට ඉල්ලා අස්වීමට තනතුරක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය සෙනසුරාදා උදෑසන නිවේදනය කළේය.

ඉල්ලා අස්වීමේ උත්සවයෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ පැවසුවේ තමන් භාරකාර ආණ්ඩුවක අගමැතිධුරය භාර ගත්තේ මහ මැතිවරණයක් බලාපොරොත්තුවෙන් බවය.

"මහ මැතිවරණයක් නොමැතිව අගමැති ධූරයක් දැරීමට මගේ කිසිදු බලාපොරොත්තුvaක් නොමැති නිසාත්, තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහාත්, මම අගමැති ධූරයෙන් ඉවත් වෙලා, අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනාධිපතිතුමාට ඉඩ ලබලා දෙනවා," ඔහු කියා සිටියේය.

"රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන්න කියලා ඡන්ද 117 ක් ලැබුණා. ඒකෙන් 14 ක් දෙමළ ජාතික සන්ධානයේ, TNA එක රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න කියලා ඡන්දය දුන්නට, මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා විශේෂ ප්‍රකාශයක් කරලා කිවුවා, TNA එක රනිල් වික්‍රමසිංහට අගමැති වෙන්න ඡන්දය දුන්ට ඒගොල්ලො ආණ්ඩුවට එක් වෙන්නෙ නැති බවත්, දිගටම විපක්‍ෂයේ ඉන්න බවත් ඉතින් මෙතන වෙලා තියෙන්නෙ මන්ත්‍රීවරුන් 103 ක් ඉන්න එක්සත් ජාතික පක්ෂය, සුළුතරය TNA එක විසින් ප්‍රාණ ඇපයට අරගෙන තියෙන එකයි."

එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවිමට දරන උත්සාහය ගැන අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, "TNA එක කියන විදියට රට පාලනය කළේ නැතිනම් ඕනම මොහොතක එක්සත් ජාතික පක්ෂ සුළුතරයට පාර්ලිමේන්තුවේ බහුතරය නැති වෙන්න පුලුවන්. TNA එකේ අතට තමයි රිමෝට් එක ගිහිල්ලා තියෙන්නෙ," යනුවෙන්ය.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් රට අර්ධ-ස්වාධීන ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍ය නවයකට කැඩීමට සුදානම් වන බව පැවසූ මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ධුරය ද අහෝසිකර 2019 දෙසැම්බර් ජනාධිපතිවරණය ද අහෝසි කිරීම එක්සත් ජාතික පක්ෂයේ සැළසුම බවට ප්‍රකාශ කළේය.

"ප්‍රශ්නයක් මතුකරලා දින නියමයක් නැතුව 2020 පාර්ලිමේන්තු මැතිරවණයත් කල් දාගන්න පුලුවන්. ඒකට තමයි මේ සැරසෙන්නෙ," ඔහු කියා සිටියේය.

ආණ්ඩුවෙ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුණු බැවින් රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරයෙන් යුතු ආණ්ඩුව බිඳ වැටුණු බව පැවසූ හිටපු ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් නැති වුණත්, විශාලම මන්ත්‍රීවරුන් කණ්ඩායම තමන්ට හිමිව තිබු බව පැවසීය.

"අපි ඔක්තෝබර් 26 වෙනිදා ආණ්ඩුවක් පිහිටෙවුවට පස්සෙ ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මැතිවරණයක් කැදෙවුවා. මම ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අගමැති හැටියට දිවුරුම් දුන්නෙ වැඩිම වුනොත් ජනවාරි 5 වෙනිදට නියම කරලා තිබුණු මහ මැතිවරණය ඉවරවෙනකම් මාස දෙකක් වගේ කාලයකට අන්තර්කාලීන පාලනයක් ගෙනයන්න විතරයි. බලා සිටියදී රට විනාශ මුඛයට යනතෙක් ජනාධිපතිවරයෙකුට නිකම් ඉන්න බෑ. මහ මැතිවරණයක් පවත්වන තුරු අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ආරාධනය කරන කොට, ඒ ආරාධනය විකල්ප ආණ්ඩුව හැටියට ස්ථානගතවෙලා ඉන්න බලවේගයට ප්‍රතික්‍ෂේප කරන්නත් බෑ. ඒ වගේම, මහ මැතිරණයක් අවසන් වෙනකන් මාස දෙකක් වගේ කාලයකට රට ගෙනයන්න සුළුතර ආණ්ඩුවක් හොදටම ප්‍රමාණවත්. ජනාධිපතිතුමා ඔක්තෝබර් 26 වෙනිදා ගත්ත ඒ එඩිතර තීන්දුව අපි විශේෂයෙන්ම අගය කරන බව කියන්න ඕන," ඔහු කියා සිටියේය.

"දැන් ජනාධිපතිවරයා මේ අලුත් එක්සත් ජාතික පක්ෂ-දෙමල ජාතික සන්ධාන හවුල සමඟ නොසිටින නිසා ඔවුන් කරන විනාශයෙන් යම් ප්‍රමාණයක් හෝ පාලනය කර ගැනීමට හැකි වෙයි කියලා හිතන්න පුලුවන් වුණත්, ජනාධිපතිවරයාටත් නොදන්වා එක්සත් ජාතික පක්‍ෂය හා දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ මේ හවුලට කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා," යනුවෙන් ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

Image copyright Getty Images

"ඔක්තෝබර් 26 වෙනිදයින් පස්සෙ අපිට පුලුවන් වුණා පීඩනයට පත්වෙලා ඉන්න ජනතාවට ඉන්ධන මිල අඩුකරලා, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කරලා, පොහොර සහනාධාරය හා පාසල් නිල ඇඳුම් යලිත් ස්ථාපිත කරලා, කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ ආදායම්, බදු වලින් නිදහස් කරලා ජනතාවට යම් සහනයක් ලබලා දෙන අතරම විශේෂයෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදනය දිරිගන්වන්න. මේ කාලය තුළ රටේ තරුණ වෘත්තික ප්‍රජාව අතර විශාල නොසන්සුන්තාවයකට තුඩු දීලා තිබ්බ පසුගිය ආණ්ඩුවේ ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන යම් පියවර ගන්නත් පුලුවන් වුණා. පසුගිය ආණ්ඩුවේ බදු දඩයමත් අපි නැවැත්තුවා. වැසී යෑමට නියමිතව තිබුණු දේශීය කර්මාන්ත රාශියකුත් අපි බේර ගත්තා. බලාපොරොත්තු වූ මහ මැතිවරණය නොලැබුනත්, ඔක්තෝබර් 26 වෙනිදා පටන්ගත්ත ඒ ක්‍රියාදාමයෙන් ඒ වගේ වෙනත් ප්‍රයෝජන කිහිපයක් ජනතාවට ලැබිලා තියෙන බවත් කියන්න ඕන," ඔහු කියා සිටියේය.

"ඒ වගේම ආණ්ඩු පක්‍ෂයේම පිරිසක් විපක්‍ෂයේ ඉන්න බව පෙන්වමින් විපක්ෂ නායකකමත්, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කමත් තමන් සතු කරගෙන අවුරුදු 4 කට ආසන්න කාලයක් මුලුල්ලේ ගෙනගිය ඒ නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ අධිපතිවාදය අවසන් කිරීමට දැන් මඟ පෑදිලා තියෙනවා. පාර්ලිමේන්තුවේ තිබුණු ඒ විකෘතිය නිසා රටේ සියලුම ඉහළ පත්වීම් වලට පුද්ගලයන් නිර්දේශ කරන ව්‍යවස්ථාදායක සභාවේ සිටියේ එකම දේශපාලන ප්‍රවාහයක අය පමණයි. මේ නිසා රටේ සියලුම වැදගත් තනතුරුවලට පසුගිය අවුරුදු හතර මුලුල්ලේ පත් වුණේ 2015 දී ඒ දේශපාලන ප්‍රවාහයේ හිටපු අය විතරයි. මේ භයානක විකෘතියේ ප්‍රතිඵල අද මුලු රටම අත් විදිමින් ඉන්නවා" පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය තම කණ්ඩායමට ලැබිය යුතු බව අඟවමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

"ඒකාබද්ධ විපක්‍ෂයත් ආණ්ඩුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයත් එකට ගත්තාම දැනටම රටේ ඡන්ද වලින් 54% ක් පමණ නියෝජනය වන ඉතාමත්ම ප්‍රබල දේශපාලන බල කඳවුරක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒකට අපි එක්ක දැනටමත් ඉන්න, ඡන්ද පදනමක් තියෙන, උතුරු නැගෙනහිර හා කදුරට පක්ෂ ගණනාවකුත් එකතු වෙනවා. ඉස්සරහට මේ රටට එරෙහි බලවේග වලට විරුද්ධව එන්නෙ, කිසිවෙකුටත් නවත්තන්න බැරි දීප ව්‍යාප්ත දේශපාලන බලවේගයක්. ඉදිරි කාලයේදී අපේ ප්‍රධානම ඉලක්කය වන්නේ, දැනටමත් අවුරුද්දකුත් මාස තුනක් පමණ ප්‍රමාද වෙලා තියෙන පලාත් සභා මැතිවරණය පවත්වා ගැනීමයි," මහින්ද රාජපක්ෂ සිය ප්‍රකාශය අවසන් කරමින් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර