ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: ජනපති කතාව "රාජ්‍යතාන්ත්‍රික ප්‍රකාශයක් නොවේ"

Image copyright WWW.NEWS.LK

ඔක්තෝබර් 26 වන දා අගමැති ධූරයෙන් ඉවත් කරන ලද රනිල් වික්‍රමසිංහ නැවත එම ධූරයට පත්කිරීම ඉරිදා (දෙසැම්බර් 16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිණි.

දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හා එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැයකට ආසන්න කාලයක් විවේචනාත්මක අදහස් දැක්වීමක් කර තිබිණි.

ජනාධිපතිවරයා පළ කළ අදහස් සංස්කරණය කිරීමෙන් අනතුරුව ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබිණ. ඒ අනුව එම කතාව කරුණු කීපයකට ගොනුවී තිබුණි.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන, නිතීඥ විශාකා සූරියබණ්ඩාර කියා සිටියේ, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය " අළු යට ගිනි පුපුරු" හෙළිකළ ප්‍රකාශයක් වන අතර, එය රටක නායකයෙක් කරන අන්දමේ "රාජ්‍යතාන්ත්‍රික ප්‍රකාශයක්" හෝ අවම වශයෙන් "ප්‍රාදේශීය දේශපාලනඥයෙක් වත්" නොකරන ප්‍රකාශයක් බවය.

එම අවස්ථාවේ එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින්, තමන් මේ සම්බන්ධයෙන් අදහස් පළකිරීමට අකමැති අතර, මෙහිදී ජනාධිපතිවරයා පිට කළේ "ආවේග" බැවින් එයින් සමාජයට ප්‍රතිඵලයක් නොමැති බව සඳහන් කළේය. එබැවින් "ජනාධිපතිතුමා රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කිරීමට" පියවර ගත යුතු බවත් ඔහු පැවසීය.

"යහපාලන රජයෙන් හොඳ මෙන්ම නරකත් වුණා"

පසුගිය කාලය තුළ රජයක් ලෙස ලබා ගත් ජයග්‍රහණ හා කළ "හොඳ වැඩ කොටස් රාශියක් තිබෙනවා" සේ ම, ඉතාමත් අවැඩදායක වූත්, අසුබ වූත් අවිචාර වූත් දෑ රාශියක් සිදුවුණු බව ජනාධිපතිවරයා සිය කතාව ආරම්භ කරමින් ප්‍රකාශ කළේය.

"විද්‍යාත්මක ඇමති මණ්ඩලය" සකස් නොකිරීම

2015 වසරේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අමාත්‍ය මණ්ඩලය තෝරන අවස්ථාවේ සිටම "විද්‍යාත්මක පදනමෙන් අමාත්‍යාංශ" සකස් කිරීමේ මැතිවරණ ප්‍රතිඥාව කඩවුණු බව ද ජනපතිවරයා ප්‍රකාශ කළේය.

විශේෂඥ කණ්ඩායමක් පත් කර එම කටයුතු කරගෙන ගිය නමුත්, "ඒ ලිපි ගොනුව වත් බැලුව ද කියලා මම දන්නේ නැහැ," යනුවෙන් ඔහු පැවසීය.

නමුත්, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සීමා වූ ඉතා සුළු බලතල ප්‍රමාණයක් හැරුණු කොට ජනාධිපතිවරයාට පූර්ණ විධායක බලය දැනටත් තිබෙන බැවින් එය භාවිත කිරීම ජනාධිපතිවරයාට හිමි වූ ව්‍යවස්ථාදායක බලය බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා සූරියබණ්ඩාර පෙන්වා දෙන්නීය.

'ව්‍යවස්ථාදායක සභාවේ සාධාරණභාවය' ගැන ජනපතිට ගැටලුවක්

"අද අගවිනිසුරුගේ ඉඳලා, නීතිපති, පොලිස්පති ස්වාධීන කොමිෂන් සභා මේ සියල්ල පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාව. මම දැක්ක ප්‍රධාන දේ තමයි ව්‍යවස්ථාදායක සභාව තුළ අධිකරණයට පත්කිරීම් කිරිමේදී අධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ගේ නම් ඉදිරිපත් කළහම ඒවා ප්‍රතික්ෂේප වුණා," යනුවෙන් ද ජනාධිපතිවරයා චෝදනා කළේය.

Image copyright PMD

"ඒ තුළ අධිකරණ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාර ධූර දරන අයට අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා විනිශ්චයකාරවරු පත් කිරීමේ ව්‍යවස්ථා සභාව අනුගමනය කරන ක්‍රියා පිළිවෙත කොතෙක් දුරට අපක්ෂපාතී ද, මධ්‍යස්ථ ද කියන ප්‍රශ්නය පැන නැගිලා තිබෙනවා."

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථාදායක සභාව එවක නියෝජනය කළ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, අධිකරණ විනිශ්චයකාරවරුන් පත් කිරීමේදී එක් නමක් පමණක් ජනාධිපතිවරයා යෝජනා කළ අවස්ථාවලදී සහ අදාළ තැනැත්තා සම්බන්ධව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි ඇති අවස්ථාවකදී පමණක් නම් කීපයක් යෝජනා කර එවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවය. එසේ නොමැතිව ජනාධිපතිවරයා ඉදිරිපත් කරන නම් ප්‍රතික්ෂේප කිරීමක් කර නොමැති බව ද පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවය සමග පැවසීය.

2007 සිට මහ බැංකු බැඳුම්කර වංචාවලින් "බිලියන 1000කට එහා වංචාවක්"

"මම අද උදේත් දුරකතනයෙන් මහ බැංකු අධිපතිවරයාට කතා කරලා ඇහුවා ජනාධිපති කොමිෂන් සභාව විසින් නිර්දේශ කරන ලද නිර්දේශ තුළ ප්‍රධාන නිර්දේශයක් වූ වෝහාරික විගණනය අද වෙනකන් කරලා තියෙනව ද කියලා. අද වෙනකන් එය කෙරිලා නැහැ." යනුවෙන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය කතාවේදී සඳහන් කළේය.

"මහ බැංකු මංකොල්ලයේ ජනතාවගේ මුදල්වල මූල්‍ය වටිනාකම" තවම මෙතෙකැයි සීමාවක් කිව නොහැකි අතර, පැහැදිලිව 2007 - 08 වසරවල සිට මෙය සිදුවී ඇතැයි ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් බවත් ජනාධිපතිවරයා පවසයි.

ඒ අනුව ජනාධිපතිවරයා චෝදනා කරන්නේ මහින්ද රාජපක්‍ෂ පාලනය සහ සහ රනිල් වික්‍රමසිංහ පාලන සමයේ දිගින් දිගටම මහ බැංකු බැඳුම්කර වංචා සිදු වූ බවය.

Image copyright PRESIDENT OFFICE
Image caption වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලද්දේ බැඳුම්කර කොමිසමේ සභාපති විනිසකරු විසිනි

"ආර්ථික විශේෂඥයන් මට පහුගිය සතියෙත් මේ පිළිබඳ සාකච්ඡාවකදී කිව්වා වසර ගණනාවක් පුරා සිදුව ඇති මේ මහා මංකොල්ලය බිලියන් දාහකට එහා කියලා කිව්වා. අද වෙනකන් කිසිම විගණනයකින් කොමිෂන් සභා වාර්තාව අනුව සොයාගෙන නැති මුදල් කන්දරාවක්," යනුවෙන් ද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, පසුගිය නොවැම්බර් 25 වන දා පළමුවරට විදෙස් ජනමාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, මහබැංකු මහා මංකොල්ලය සේම රනිල් වික‍්‍රමසිංහ අගමැති ධූරයේ කටයුතු කළ කාලය තුළ එනම් 2015 සිට 2018 ඔක්තෝබර් 25 වනදා දක්වා කාලය තුළ ආණ්ඩුවේ සිදුවූ වංචා, දූෂණ සහ අක‍්‍රමිකතා පිළිබඳ සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කරන අතර, ඒ තුළින් ඔවුන්ගේ තවත් වංචා, දූෂණ සහ අක‍්‍රමිකතා රැසක් රටට සහ ජනතාවට අනාවරණය වනු ඇති බවය. එනමුත් ඔහු මෙම කාලය තුළදී ඒ වෙනුවෙන් පියවර ගත් බවක් වාර්තා වී නැත.

එසේම, නොවැම්බර් 27 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මාධ්‍ය වෙත පවසා සිටියේ, මෙදින (නොවැ. 27) බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ "සිංහල සහ දෙමළ පිටපත් සතියක් හෝ දෙකක් ඇතුළත" නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇති බවය.

එදිනම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින්, "තව සතියක් ඇතුළත මහ බැංකුවේ අනික් ලැයිස්තුව එළියට එනව," යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ද පැවසුවේය.

නමුත් එවැන්නක් සිදුවූ බවක් ද වාර්තා නොවීය.

Image copyright PMD

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අදත් නැහැ

"මම කළගුණ දන්නා කෙනෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහතා සමග මට කිසිදු ගැටුමක් අවශ්‍ය නැති නිසා එතුමාගේ දැඩි ඉල්ලීමට මම අර්ජුන් මහේන්ද්‍රන් පත් කළා," යැයි තම කතාවේදී සඳහන් කළ ජනාධිපතිවරයා, "නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත අල්ලස් හා දූෂණ කොමිෂන් සභා සංශෝධන පනත සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවට යොමු කර මාස 5 කට වැඩි කාලයක් ගියත් කිසිවක් සිදු නොවූ" බව ප්‍රකාශ කළේය.

එහෙත්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂිකා දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ ඉවත්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයන් සහ දූෂණ විරෝධී ක්‍රියාධරයන් ජනාධිපති සිරිසේනට එකල චෝදනා කළහ.

ආර්ථික කමිටුව හේතුවෙන් ගැටුම් රාශියක්

අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව ආරම්භ කළ ආර්ථික කමිටුව හේතුවෙන් ගැටලු රාශියක් ඇතිවූ බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

"ඇත්තටම කියනව නම් මම අගමැතිතුමාට කොච්චර කළගුණ සැලකුවා ද කියන්නේ ජනාධිපතිවරයාගේ බලතලත් අගමැතිතුමා අරගෙන ක්‍රියා කළා. මම ඒවා ගැන ඇහුවේ නැහැ...මම ඒත් නිහඬව හිටියා කළගුණ දන්න මිනිහෙක් විදියට," ජනපතිවරයා ප්‍රකාශ කළේය.

සිංගප්පූරු නිදහස් ගිවිසුම - "තාවකාලිකව නැවැත්විය යුතුයි"

සිංගප්පූරු ගිවිසුම පිළිබඳව පත් කළ කොමිෂන් සභාවේ නිර්දේශ පසුගිය සතියේ තමන්ට ලැබුණ බවත්, එම ගිවිසුමේදී වැරදි රාශියක් සිදු වී තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

"සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මගේ අදහස, එය රජයේ මැදිහත් වීම තුළ තාවකාලිකව නැවතිය යුතුයි කියන එක."

මෙය නීති විශාරදයන්ගේ සහ ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් අනුව නැවත සකස් කළ යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

"ගැසට් නිවේදන නිකුත් කළේ නීති විශාරදයන්ගේ උපදෙස් අනුව"

"මම නීතීඥයෙක් නොවන බව රටම දන්නවා. මම ඒ ගැසට් නිවේදනය (පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ) නිකුත් කළේ, මගේ තනි කැමැත්තට නෙවේ. මීට සම්බන්ධ වුණා ජනාධිපති නීතිඥවරු, මීට සම්බන්ධ වුණා රටේ ඉහළ ම නීති විශාරදයින්."

එහෙත් මෙමගින්, රටේ ප්‍රධාන පුරවැසියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව හොඳින් ම පැහැදිලි බව නිතීඥවරියක් ද වන විශාකා සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවාය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි අතර, එබැවින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන බවට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 13) ඒකමතිකව තීන්දු කළේය.

"මුළු භික්ෂු සමාජය අපට නැතිව ගියා"

නීති විරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබාගෙන සිටීම සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමේදී "පුළුල් සමාජ, ආගමික සහ සංස්කෘතික විරෝධයක්" පැමිණි බව ජනාධිපතිවරයා පැවසීය.

Image copyright UDUWE DHAMMALOKA THERO FB
Image caption බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගත් බවට උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා නඩුවක් ගොනු කර තිබේ

"මම බොහොම පැහැදිලිව කිව්වා මේ අලි ඇතුන් නිදහස් කරමු. මේකේ නීත්‍යානුකූල තත්ත්වය බලමු. එක දිගට භික්ෂූන් වහන්සේලා සිරභාරයට ගන්න මේ වැඩේ කරන්න එපා, මේ අලි ප්‍රශ්නයට කියලා. ඒ තුළ මුළු භික්ෂු සමාජය අපට නැතිව ගියා."

නමුත්, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ, ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී වෙනස් ලෙස සැලකීම අවම කිරීමට "යහපාලන රජය" පිහිටවූ බැවින් ඔවුන්ට ඒ වගකීමෙන් මිදිය නොහැකි බවය.

"විධායක බලය තියෙන කෙනා නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියන එක සුදුසු දෙයක් නෙවෙයි. කවුරු හෝ වේවා කළ වරදකට දඬුවම් විඳිය යුතුයි. ඒක ඔවුන්ගේ සමාජ තත්ත්වය අනුව වෙනස් වියයුතු නැහැ," විශාකා සූරියබණ්ඩාර ප්‍රකාශ කළාය.

"රණවිරුවෝ හිරේ දාන්න එපා"

එසේම, "යුද්ධයක් කරපු රටක යුද ජයග්‍රහණය ලබා දීලා ම්ලේච්ඡ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් නැති කරපු අපේ රණවිරුවෝ හිරේ දාන්න එපා කියන එක මම නිතරම කියපු දෙයක්. ඒත් ඇහුවේ නැහැ," යනුවෙන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.

හමුදාවට දඬුවම් දෙන්නේ නම්, විදෙස් රටවල සිටින "අපේ හමුදාව විනාශ කරපු ප්‍රභාකරන්ගේ මිනිස්සුන්ට" ද දඬුවම් කළ යුතු බව සිරිසේන ජනපතිවරයා පැවසීය.

"එහෙම නැත්නම් දෙගොල්ලන්ට ම දඬුවම් අයින් කරගෙන එකඟතාවකට එන්න ඕන."

ද්‍රවිඩ සිරකරුවන් නිදහස් කරන ලෙස පවතින ඉල්ලීම් අනුව තමන් සාකච්ඡා කළ බවත්, ද්‍රවිඩ සිරකරුවන් නිදහස් කරන්නේ නම් "අපේ හමුදාවන්වලට විරුද්ධව" ඇති නඩු වලින් ඔවුන් ද නිදහස් කළ යුතු බව ජනපතිවරයා පවසයි.

"ඒක තමයි සාධාරණත්වය."

"පෞද්ගලික දේශපාලන මතය"

සිය කතාවේදී අදත් තමාගේ "පෞද්ගලික දේශපාලන මතය" 225 ම අත්සන් කළත් රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය ලබා නොදීම නමුත්, පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කර තමන් මෙම පියවර ගත් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

"මම මේක දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක, සදාචාර සම්පන්න සමාජයක ලක්ෂණයක් විදියට," ඔහු පැවසීය.

ජනාධිපතිවරයා රටේ පළමු පුරවැසියා ලෙස තමන්ගේ පෞද්ගලික දේශපාලන මත ක්‍රියාත්මක කළ යුතු යැයි තමන් නොසිතන බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා සූරියබණ්ඩාර ප්‍රකාශ කළාය.

"නමුත් සම්ප්‍රදායට සහ පාර්ලිමේන්තු ක්‍රමයට ගරු කිරීමට ගැටලුව ඇතිකරපු කෙනාම වෙනස් වීම හොඳ නැඹුරුවක්."

තවත් කියවන්න