ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: අගමැති තනතුරෙන් පසු මහින්දට විපක්‍ෂ නායකකමත් අහිමිවේද?

Image copyright Getty Images

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2018 ඔක්තෝබර් 26 එවකට සිටි අගමැතිවරයා ධූරයෙන් නෙරපා හැරීමත් සමග ආරම්භ වූ ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය මෙතෙක් අවසන් වී නොමැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමෙන් ඇරඹි අර්බුදය, ඔහු විපක්‍ෂ නායක ලෙස පත් කිරීමට යෝජනා කර ඇති මොහොත දක්වාම විහිද ගොස් තිබෙන අතර මේ සිද්ධි දාමය හේතුවෙන් මතුවූ තත්ත්වයන් නිසා ඔහුගේ මන්ත්‍රී ධූරය ද අභියෝගයට ලක්වන තත්ත්වයක් උදාවී තිබේ.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් පළ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නවරත්න බණ්ඩාර කියා සිටියේ, විපක්‍ෂ නායක ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහනක් නැතත් "වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදාය" අනුව කටයුතු කළ බවය.

සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ 1947 ඔක්තෝබර් 14 වන දින ආරම්භ වූ ශ්‍රී ලංකාවේ පළමු මන්ත්‍රණ සභාවේ විපක්‍ෂ නායක ධූරය දැරුවේ රුවන්වැල්ල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ආචාර්ය එන් එම් ‌පෙ‌රේරාය. එතැන් සිට දෙසැම්බර් 12 වන දින පත්කළ මහින්ද රාජපක්ෂ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු විපක්‍ෂ නායක ලෙස ධූරයේ කටයුතු කර තිබෙන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන්වේ.

ඒ අතර, තම අසුන තෙමසකට වැඩි කාලයක් හැරයාම හේතුවෙන් ඒ අමිර්තලිංගම් 1983.10.24 දින විරුද්ධ පක්ෂ‌යේ නායකයා වශ‌යෙන් කටයුතු කිරීම අවසන් වීම ද විශේෂ අවස්ථාවකි. ශ්‍රී ලංකා ඉතිහාසයේ දෙමළ ජාතිකයෙකු විපක්ෂ නායක පදවියට පත්වූයේ ඒ අවස්ථාවේදීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පාර්ලිමේන්තු අනපනත්වල විපක්‍ෂනායකවරයා පිළිබඳව සඳහනක් නැතත්, අයවැය යෝජනාවලදී 'විපක්‍ෂ නායකවරයාට වැය ශීර්ෂයක්' තිබෙන බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නවරත්න බණ්ඩාර බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

විපක්‍ෂ නායකවරයාගේ කාර්යභාරය වන්නේ රජයට විකල්ප ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමත්, විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ අනෙකුත් පාර්ලිමේන්තු කටයුතු සඳහා මැදිහත්ව ක්‍රියා කිරීමත් බව පෙන්වාදුන් මහාචාර්යවරයා ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඔහුට පාර්ලිමේන්තුවෙන් ලැබෙන බවත් ප්‍රකාශ කළේය.

මේ ගැනත් දැනගන්න:

කෙසේ වුවද දෙසැම්බර් 18 අඟහරුවාදා විපක්‍ෂ නායකවරයා නම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අර්බුදකාරී තත්ත්වයක් මතු විය. මහින්ද රාජපක්ෂ විපක්‍ෂ නායකවරයා ලෙස කතානායකවරයා විසින් නම් කරන ලද නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) ව්‍යවස්ථාව ගෙනහැර දක්වමින් මහින්ද රාජපක්ෂට එම ධූරය දැරිය නොහැකි බවට එක්සත් ජාතික පෙරමුණ තර්ක කළේය.

ඒ ගැන එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා නිකුත් කළ ට්විටර් පණිවුඩයක මෙසේ දැක්වේ.

මේ සම්බන්ධ ව්‍යවස්ථාපිත තත්ත්වය පැහැදිලි කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 සහ 91 පිටුවල සටහන් වන 99 (13) (අ) ව්‍යවස්ථාවේය.

ව්‍යවස්ථාවට අනුව, පිළිගත් දේශපාලන පක්ෂයක නාමයෝජනා අනුව තේරීපත් වූ මන්ත්‍රීවරයෙක් එම පක්ෂයේ, 'සාමාජිකයකුව සිටීම නතර වූ දිනයේ සිට මාසයක කාල සීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස්වන්නේය.'

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම

මහින්ද රාජපක්ෂගේ මන්ත්‍රී ධූරය පිළිබඳ මෙම අර්බුදකාරී තර්කය මතුවන්නේ ඔහු 2018 නොවැම්බර් 11 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම හේතුවෙනි.

මෙදින, කොළඹ විජේරාම මාවතේ පිහිටි 'හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස' පරිශ්‍රයේ පැවති උත්සවයකදී පක්‍ෂයේ සභාපති වූ මහාචාර්ය ජි එල් පීරිස් වෙතින් එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගත් බව මාධ්‍ය වාර්තාවල දැක්විණ.

ඉන් දෙදිනකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබුණි.

නමුත්, එම ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට පටහැනි බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ ගැසට් නිවේදනය බල රහිත කරමින් දෙසැම්බර් 13 වන දා සිය තීන්දුව ලබා දුන්නේය.

Image copyright Facebook/MR
Image caption මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස් වෙතින් ලබා ගත්තේය

මේ ගැනත් කියවන්න:

නොවැම්බර් 11 වනදා මහින්ද රාජපක්ෂ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් වූ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී බී රත්නායක, අනුර ප්‍රියදර්ශන යාපා, ටී බී ඒකනායක, මහින්ද යාපා අබේවර්ධන, රෝහිත අබේගුණවර්ධන, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, අරුන්දික ප්‍රනාන්දු, ප්‍රියංකර ජයරත්න, සුසන්ත පුංචි නිලමේ, ජනක වක්කුඹුර, කාංචන විජේසේකර, සුමේධා ජයසේන, ෂෙහාන් සේමසිංහ, ඩුලිප් විජේසේකර, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, ඩි වී චානක, තාරානාත් බස්නායක, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තේනුක විදානගමගේ, නාමල් රාජපක්ෂ වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

Image copyright Facebook/MR
Image copyright Facebook/MR

මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් ද ඒ බව සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිවේදනය කර තිබුණි.

මෙහිදී තම සාමාජිකත්වය ඇමතූ හිටපු ජනපතිවරයා, "අපි මැතිවරණයට තරග කරල ජයග්‍රහණය කරනවා," යනුවෙන් ප්‍රකාශ කළේය.

මෙහිදී පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, "අද මේ සාමාජිකත්වය ලබා ගත්තට අපි පහුගිය කාලෙම පොහොට්ටුවත් එක්ක කටයුතු කළ අය. නෛතික තත්ත්වයක් නිසා නොගත්තත්, මහින්ද රාජපක්ෂ මහත්තයා අද මේ පක්‍ෂයේ නායකත්වය බාර ගත්ත. මං හිතන්නේ ඒක තමයි ජනතාව බලාපොරොතු වුණේ පොහොට්ටුවේ නායකත්වය මහින්ද මහත්තයට දීල ඊළඟ ආණ්ඩුව පිහිටුවන්න," යනුවෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

Image copyright Facebook/MR
Image caption "මහින්ද රාජපක්ෂ මහත්තයා අද මේ පක්‍ෂයේ නායකත්වය බාර ගත්ත"

ලක්‍ෂ්මන් කිරිඇල්ල සහ එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ මතු කළ තර්කයට පදනම වැටෙන්නේ ඉහත තත්ත්වය මත වන අතර ඒ අනුව මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ 'පාර්ලිමේන්තුවට තේරී පත් වූ පක්‍ෂයේ සාමාජිකත්වය' අවසන් වන්නේ දෙසැම්බර් 10 වන දිනය.

තවදුරටත් කියවන්න:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ තර්ක සහ ප්‍රති තර්ක හමුවේ තමන් මේ පිළිබඳව සොයා බලන බව විපක්ෂනායක ධූරය ප්‍රකාශ කිරීමේ අවසන් තීරකයා වන කතානායක කරු ජයසූරිය අඟහරුවාදා (දෙසැ. 18) ප්‍රකාශ කළේය.

කව්ද මේ විපක්‍ෂ නායක?

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සම්ප්‍රදායන් සංකලනය කරමින් සකස් කළ නව ආකෘතියක් වුවත්, ශ්‍රී ලංකාව සැම විටම පුර්වාදර්ශ ලබා ගන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයෙන් බවත්, පාර්ලිමේන්තු ක්‍රමයක් පවතින ඕනෑම රටක විපක්‍ෂ නායක වරයෙකු සතු කාර්යභාරය ශ්‍රී ලංකාවේ ද විපක්‍ෂ නායකවරයාගේ කාර්ය සහ කර්තව්‍යයට සමාන වන බව දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය කමලා ලියනගේ බීබීසී සිංහල සේවයට පැවසුවාය.

වසර 70 කට අධික කාලයක් පුරා ජනතා නියෝජිතයන් 20 දෙනෙකු විසින් හොබවන ලද විපක්‍ෂ නායක ධූරයට, කතානායක කරු ජයසූරිය විසින් දෙසැම්බර් 18 දින මහින්ද රාජපක්‍ෂගේ නම යෝජනා කරනු ලැබිණ.

එහෙත් බදාදා (දෙසැම්බර් 19) පාර්ලිමේන්තුවේ යළිත් වරක් වාද හටගත්තේය.

කතානායක කරු ජයසූරුය තමන් විපක්ෂනායක තනතුරින් ඉවත්කර නොමැති බව දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටි අතර, මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් පැවසුවේ, රටේ අගමැතිවරුන් දෙදෙනෙකුගේ සිට දැන් විපක්ෂනායකවරුන් දෙදෙනෙකු දක්වා වර්ධනය වී ඇති බවය.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය ඉක්මනින් නිමා නොවනු ඇති බව ඉඟි කරන්නකි.

එතෙක් මෙතෙක් විපක්ෂ නායකවරු:

  1. ආචාර්ය එන් එම් ‌පෙ‌රේරා (ප්‍රථම පාර්ලි‌මේන්තුව - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය, 1947 ඔක්තෝබර් 14 - 1952 අ‌ප්‍රේල් 08)
  2. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක (දෙවැනි පාර්ලි‌මේන්තුව - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය, 1952 ජුනි 09 - 1956 පෙබරවාරි 18)
  3. ආචාර්ය එන් එම් ‌පෙ‌රේරා (තුන්වැනි පාර්ලි‌‌මේන්තුව - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය, 1956 අ‌ප්‍රේල් 19 - 1959 දෙසැම්බර් 05)
  4. සී පී ද සිල්වා (සිව්වැනි පාර්ලි‌මේන්තුව - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය, 1960 මාර්තු 30 - 1960 අ‌ප්‍රේල් 23)
  5. ඩඩ්ලි ‌සේනානායක (පස්වැනි පාර්ලි‌මේන්තුව - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය, 1960 අ‌‌ගෝස්තු 05 - 1964 දෙසැම්බර් 17)
  6. සිරිමා ආර් ඩී බණ්ඩාරනායක (සයවැනි පාර්ලි‌මේන්තුව - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය,1965 අ‌ප්‍රේල් 05 - 1970 මාර්තු 25)
  7. ජේ ආර්. ජයවර්ධන (හත්වැනි පාර්ලි‌මේන්තුව - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය හා පළමුවැනි ජාතික රාජ්‍ය සභාව, 1970 ජුනි 07 - 1977 මැයි 18)
  8. ඒ. අමිර්තලිංගම් (දෙවැනි ජාතික රාජ්‍ය සභාව හා පළමුවැනි පාර්ලි‌‌මේන්තුව, 1977 අ‌ගෝස්තු 04 - 1983 ඔක්තෝබර් 24)
  9. අනුර බණ්ඩාරනායක (දෙවැනි ජාතික රාජ්‍ය සභාව හා පළමුවැනි පාර්ලි‌‌මේන්තුව, 1983 ‌නොවැම්බර් 08 - 1988 ‌දෙසැම්බර් 20)
  10. සිරිමා ආර් ඩී බණ්ඩාරනායක (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ ‌දෙවැනි පාර්ලි‌මේන්තුව, 1989 මාර්තු 09 - 1994 ජුනි 24)
  11. ගාමිණී දිසානායක (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ තුන්වැනි පාර්ලි‌‌මේන්තුව, 1994 අ‌‌ගෝස්තු 25 - 2000 අ‌‌ගෝස්තු 18)
  12. රනිල් වික්‍රමසිංහ (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ තුන්වැනි පාර්ලි‌‌මේන්තුව, 1994 ඔක්තෝබර් 28 - 2000 අ‌‌ගෝස්තු 18 සහ 2000 සැප්තැම්බර් 14 - 2000 ඔක්‌තෝබර් 10
  13. රනිල් වික්‍රමසිංහ (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ හතරවැනි පාර්ලිමේන්තුව, 2000 ඔක්‌තෝබර් 18 - 2001 ඔක්‌තෝබර් 10)
  14. රත්නසිරි වික්‍රමනායක (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌‌යේ පස්වැනි පාර්ලි‌මේන්තුව, 2001 ‌දෙසැම්බර් 18 - 2002 ජනවාරි 31)
  15. මහින්ද රාජපක්ෂ (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌‌යේ පස්වැනි පාර්ලි‌මේන්තුව, 2002 ‌පෙබරවාරි 06 - 2004 ‌පෙබරවාරි 07)
  16. රනිල් වික්‍රමසිංහ (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ හයවැනි පාර්ලි‌මේන්තුව, 2004 අ‌ප්‍රේල් 22 - 2010 ‌පෙබරවාරි 09, 2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20)
  17. රනිල් වික්‍රමසිංහ (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ හත්වැනි පාර්ලි‌මේන්තුව, 2010 අප්‍රේල් 22 - 2015 ජනවාරි 09)
  18. නිමල් සිරිපාල ද සිල්වා (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ හත්වැනි පාර්ලි‌මේන්තුව, 2015 ජනවාරි 20 - 2015 ජුනි 26)
  19. ආර් සම්පන්දන් (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ අටවැනි පාර්ලි‌මේන්තුව, 2015 සැප්තැම්බර් 03 - 2018 දෙසැම්බර් 17)
  20. මහින්ද රාජපක්ෂ (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ අටවැනි පාර්ලි‌මේන්තුව, 2018 දෙසැම්බර් 18 - මේ දක්වා)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර