ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: "අගමැතිවරුන් දෙදෙනෙකුගේ සිට විපක්ෂනායකවරු දෙදෙනෙක්"

Image copyright Getty Images

කතානායක කරු ජයසුරිය තමන් විපක්ෂනායක තනතුරින් ඉවත්කර නොමැති බව දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා බදාදා (දෙසැම්බර් 19) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙසින් පිළිගන්නා බව කතානායක කරු ජයසූරිය අඟහරුවාදා (දෙසැම්බර් 18) නිවේදනය කළේය.

බදාදා ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මීට පෙර විපක්ෂනායක ධුරය දරමින් සිටි දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ, තමන් විපක්ෂනායක තනතුරින් ඉවත් නොකර මහින්ද රාජපක්ෂ ද එම තනතුරට පත්කළ බව ප්‍රකාශ කිරීම මගින් මේවන විට විපක්ෂ නායකවරුන් දෙදෙනෙකු රටේ සිටින බවය.

සම්පූර්ණයෙන්ම ආණ්ඩුව පිහිටුවීම පවා සිදුවී නොමැති අවස්ථාවක තවත් පුද්ගලයෙකු විපක්ෂනායකවරයා ලෙස පිළිගැනීම සිදු නොවිය යුත්තක්ය යන්න සිය මතය බව පැවසූ ඔහු, තමා ඉවත් නොකර එම පිළිගැනීම සිදුකිරීම මගින් මෙම තත්වය තවත් ව්‍යාකුල වී ඇති බවත් කියා සිටියේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අඟහරුවාදාත් ආණ්ඩුවට එක්වූ බව පැවසූ දෙමළ ජාතික සන්ධානයේ නායකයා එවැනි තත්වයක් තුළ කතානායකවරයා ගත් තීරණය ගැටළු සහගත බවත් පැවසීය.

මේ වන විට විපක්ෂනායක වරයා ලෙස පිළිගත් පුද්ගලයාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ද ගැටලුවක් ඇතිවී තිබෙන බව ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම ගැන ඇතිවී තිබෙන අර්බුදය ගැන කරුණු දක්වමිනි.

Image copyright Twitter/ Mahinda Rajapaksa

කතානායක කරු ජයසූරිය සභාවට පැමිණ නොසිටි බැවින් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි සභාවට දැනුම් දුන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායකයාගේ ප්‍රකාශය ගැන කතානායකවරයා දැනුවත් කරන බවය.

ඉන් අනතුරුව නැගී සිටි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්ඒ සුමන්තිරන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බවට දැක්වෙන පුවත් පත් වාර්තා කිහිපයක් සභාගත කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගැනීම මන්ත්‍රී ධුර අහෝසිවීමට හේතුවක් බව ද සුමන්තිරන් මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත්කරන මෙන් ඉදිරියේදී ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තුවන බවය.

එයට ප්‍රතිචාර දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ, විපක්ෂනායක ධූරයට නම් කර ඇති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී හෝ ඔහු ඉවත් කර නොමැති බවය.

Image caption සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා පොදු ජන පෙරමුනේ සාමාජිකත්වය ලබාගත් අවස්තාව දැක්වෙන ඡායාරූපයක්

"ඒ දේශපාලන පක්ෂයේ ලේකම්වරයාගේ දැන්වීමකින් තොරව මන්ත්‍රී ධුරය අහිමි වෙන්නේ නැහැ. සන්ධානයේ ලේකම්වරයා මහින්ද රාජපක්ෂගේ නම විපක්ෂනායක ලෙස යෝජනා කිරීමෙන් පේනවා මහින්ද රාජපක්ෂ එම සන්ධානයේ මන්ත්‍රීවරයෙක් බව," සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා කියා සිටියේය.

පුවත්පත් වාර්තා හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බවට කිසිදු වෙනත් සාක්ෂියක් නොමැති බව ද ඔහු කියා සිටියේය.

මෙහිදී ඔහු පොදු ජන පෙරමුනේ සාමාජිකත්වය ලබාගත්තේ දැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන් එම පක්ෂයේ සාමාජිකත්වය ලබා නොගත් බවය.

සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකපත් ලබාගන්නා ඡායාරූප හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය විසින් මින් පෙර නිකුත් කර තිබුණි.

ආණ්ඩු පක්ෂය ඒ ගැන ද ප්‍රශ්න කළ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවයෙන් එයට නිසි පිළිතුරක් ලබා නොදුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් පැවසුවේ, රටේ අගමැතිවරුන් දෙදෙනෙකුගේ සිට දැන් විපක්ෂනායකවරුන් දෙදෙනෙකු දක්වා වර්ධනය වී ඇති බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර