කරාපිටිය රෝහලේ රථ ගාල මුල් කර ගනිමින් වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු මතභේදයක

රෝහල් රථ ගාලේ වාහන නැවත්වීම මුල් කර ගනිමින් කරාපිටිය රෝහලේ වෛද්‍යවරයාට පහරදුන් විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරිම තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක්වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ කරාපිටිය ශාඛාව පවසයි.

එහි ලේකම් වෛද්‍ය මංජුල සොයිසා ඒ බව කියා සිටියේ "කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් තම සංගමයේ සාමාජිකත්වය දරන වෛද්‍යවරයෙකුට පහර දී තුවාල සිදු කරනු ලැබීමෙන් පසු" ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා බ්‍රහස්පතින්දා (දෙසැ 20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවත් පහරදුන් විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගන්නා බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම්දී ඇති නමුත් මේ වනතුරු කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවටත් ඔහු චෝදනා කරයි.

රෝහල් රථ ගාලේ වාහන නැවැත්වීම සම්බන්ධයෙන් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් හා සාමාන්‍ය වෛද්‍යවරුන් අතර ඇතිවී තිබෙන ගැටලුවට රෝහල් අධ්‍යක්ෂවරයා කඩිනමින් විසඳුමක් ලබා දිය යුතු බව ද වෛද්‍ය මංජුල සොයිසා කියා සිටී.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය රවී දයාසේන කියා සිටියේ ගැටලුව විසඳීමට මැදිහත්වී කටයුතු කරන ලෙස කරාපිටිය රෝහල් අධිකාරියට දැනුම් දී ඇති බවය.

එය විසඳා ඇති බව මේ වනවිට තමන්ට රෝහල් අධිකාරිය දැනුම් දී ඇති බවත් මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔහු සඳහන් කළේය.

"උවමනාවෙන්ම ප්‍රශ්න ඇතිකර ගන්න අය අපේ සමාජයේ ඉන්නවනේ. ඒවගේ වෛද්‍යවරයෙක් නිසා මේ ප්‍රශ්නේ ඇතිවුණා කියල දැනගන්න තියෙනවා," විශේෂඥ වෛද්‍ය රවී දයාසේන පැවසීය.

"බලපෑම්"

රෝහල් රථ ගාලේ වෛද්‍යවරුන්ගේ වාහන නතර කිරිම සම්බන්ධයෙන් පවතින ආරවුලක් හේතුවෙන් දෙසැම්බර් 5 වනි දින අදාළ පහරදීම සිදුකර ඇති අතර තුවාල ලැබු වෛද්‍යවරයා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් ඔහුගේ අස්ථි බිඳී ඇති බවත් කරාපිටිය ශාඛාවේ ලේකම්වරයා දෙසැම්බර් 6 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම වැළැක්විම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් බලපෑම් කරමින් ලිපි යවා ඇතැයි දැන ගැනිමට ඇති බවත්" රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ කරාපිටිය ශාඛාවේ ලේකම්වරයා පවසයි.

"දැන් අපේ ආරක්ෂාවට තර්ජනයක් වෙලා." ඔහු සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්වරයා කියා සිටියේ කිසිවෙකු විසින් පොලිසියට හෝ වෙනත් ආයතනයකට බලපෑම් කරනු ලැබ ඇති බවක් තමන්ට දැන ගැනීමට නොමැති බවය.

සබැඳි විෂයයන්