ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: අතුරු සම්මත ගිණුමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහය

Image copyright Getty Images

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට සහය පළ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ඒ බව කියා සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ලබන වසරේ මාස හතරක රාජ්‍ය ව්යදම් සඳහා ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම ගැන පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අවස්ථාවේ දී අදහස් දක්වමිනි.

ආණ්ඩුව ගෙන යන "හොඳ වැඩ සඳහා" විපක්ෂය ලෙස සහය දෙන බව ද "හොඳ යෝජනාවලට" විරුද්ධ වීමට බලාපොරොත්තු නොවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

යෝජනාව ඉදිරිපත් කළ මුදල් අමාත්‍ය මංගල සමරවීර, රටේ පැවති ආර්ථික තත්වය, අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකිරීම හේතුවෙන් ආර්ථිකයට ඇති වූ බලපෑම සහ ඉදිරි වසර සඳහා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන දීර්ඝ විස්තරයක් කළේය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ, අතුරු සම්මත ගිණුම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන පියවරක් වන අතර, නොවැම්බර් අයවැයෙන් ජනතා සහන ලබාදීමට බලාපොරොත්තු වුවත් ව්‍යවස්ථා අර්බුදය හේතුවෙන් එය කිරීමට නොහැකි වූ බවය.

"නොවැම්බර් අයවැයෙන් ජනතා සහන ලබාදෙන්න බලාපොරොත්තු වුණේ. ඇති වූ ව්‍යවස්ථා අර්බුදය නිසා එය කළ නොහැකි වුණා. මේ රටේ මුදල් පාලනය කරන්න ඕන පාර්ලිමේන්තුවටයි. එය කාටවත් පාලනය කරන්න බැරි වුණා. අධිකාරණය තීන්දුවෙන් එය සහතික වෙලා තිබෙනවා," යනුවෙන් අගමැතිවරයා කියා සිටියේය.

තවත් කියවන්න:

Image copyright Getty Images

රටේ ආණ්ඩුවක් පවත්වාගත හැක්කේ එම ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන්නේ නම් පමණක් බව ද අගමැතිවරයා සඳහන් කළේය.

"අතුරු සම්මත ගිණුම ගෙන්න සිදු වුණේ මේ අර්බුද නිසයි. මුදල් නැති වෙනවා. පඩි ගෙවන්න මුදල් තිබුණේ නෑ. දැන් මුදල් ලබා ගන්න වැඩ කටයුතු කරගෙන යන්නේ. සංවර්ධන වැඩසටහන් නැවතුනා. ගම්පෙරළිය නැවතුණා. එය පටන් ගන්න. වුවමනා මුදල් ජනවාරි මස සිට යවන්න පුළුවන්. කතාකරලා ප්‍රශ්න විසඳාගමු'' යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

2019 ජනවාරි 01 දිනයෙන් ආරම්භ වී 2019 මුදල් වර්ෂයේ සේවාවන් සඳහා ප්‍රතිලාභ සැලසෙන විසර්ජන පනත ආරම්භ වන දිනයට පෙරාතුවම වූ දිනය හෝ 2019 අප්‍රේල් 30 වන දිනය යන දින දෙක අතුරින් පලමුව එළඹෙන දිනයෙන් අවසාන වන කාලසීමාව සඳහා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කර තිබේ.

බ්‍රහස්තින්දා (දෙසැම්බර් 20) නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව එදිනම පැවති නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අතුරු සම්මත ගිණුම අනුමත කරන ලදී.

එමගින් 2019 වසරේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියන 970ක් ණය සේවාකරණය (පොලී සහ වාරික) වෙනුවෙන් වෙන් කර ඇත. ඒ අනුව 2019 වසරේ මුල් මාස හතරේ වියදමෙන් 55%ක පමණ ප්‍රතිශතයක් වැය වනුයේ රජයේ ණය වාරික සහ පොලී ගෙවීම සඳහාය.

දේශීය ආර්ථිකය සහ ගම දියුණු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ රජය මගින් හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කළ ගම් පෙරළිය, ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා සහ එක් ගමකට එක් වැඩක් යන වැඩසටහන් ඔක්තෝබර් මස 26 දින පත් වූ අමාත්‍ය මණ්ඩලය මගින් නවත්වා තිබිණි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව රජයක් පත් කිරීමට නොහැකි වූයේ නම් 2019 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවයේ වැටුප් හා පඩිනඩි ගෙවීම ඇතුළුව පොහොර සහනාධාරය, පාසල් නිල ඇඳුම්, සමෘද්ධි සහනාධාරය සහ සියලු සුබ සාධන කටයුතු සිදු කිරීමට අවස්ථාවක් නොමැති වීමට ඉඩ තිබුණු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ ආණ්ඩුවේ මෙන්ම විරුද්ධ පක්ෂයේ ලක්ෂමන් යාපා අබේවර්ධන, මහින්ද සමරවීර ඇතුළු මන්ත්‍රීවරුන් ද පෙන්වා දී තිබිණ.

මෙම අතුරු සම්මත ගිණුම මගින් මේ සියලු කටයුතු යළි ආරම්භ කෙරෙන අතර නව පාසල් වාරය ඇරැඹීමත් සමග ලක්ෂ 40කට අධික පාසල් සිසුන් හට නිල ඇඳුම් සඳහා වව්චර් පත් ලබා දීමට හැකිව තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර