උතුරේ ගංවතුර: පනස් දහසකට ආසන්න පිරිසක් පීඩාවට, "සිය ගණනක් බේරාගත්තා" - යුද හමුදාව

උතුරු පළාතට බලපා ඇති ජල ගැලීම් හේතුවෙන් පළාතේ පවුල් 13646 කට අයත් පුද්ගලයින් 44959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසති.

ගංවතුරට කොටු වී සිටි සිය ගණනක් පිරිසක් ගතව ගිය පැය 24 ඇතුළත ශ්‍රී ලංකා නාවුක හමුදාවේ ද සහය ඇතිව, බේරාගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

පසුගිය සිකුරාදා (දෙසැම්බර් 21) සවස් යාමයේ සිට හටගත් ධාරානිපාත වර්ෂාව සහ කුණාටු තත්වය හේතුවෙන් උතුරු පළාතේ දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇති අතර, තවත් දහස් සංඛ්‍යාත පිරිසකට එය බලපා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එය බරපතල වශයෙන්ම බලපා තිබෙන්නේ කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලට වන අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ මේ වනවිට අයපත් කාලගුණ තත්වයේ තරමක වෙනසක පෙන්නුම් කරන බවය.

Image caption ගංවතුරට කොටු වී සිටි වැසියන් දහසකට අධික පිරිසක් බේරාගැනීමට හැකි වූ බව යුද හමුදාව පවසයි

'අවධානයෙන් පසුවන්න'

ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සියලු ආපදා කළමනාකරණ කටයුතුවලට සහය දෙමින් සිටින බව ද ඔහු සඳහන් කරයි.

තවදුරටත් වැසි ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන මෙන් සහ ඕනෑම ආපදා තත්වයක් සම්බන්ධයෙන් 117 දුරකතන අංකය ඔස්සේ තමන් අමතන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ආපාදවට පත් වූ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පීඩාවට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් කිලිනොච්චිය, මුලතිව්, යාපනය, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත රුපියල් මිලියනය බැගින් රැපියල් මිලියන පහක මුදලක් කඩිනමින් ලබා දී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

එමෙන්ම රාජාංගනය, අංගමුව, ඉරණමඩු සහ දැදුරු ඔය යන ජලාශවල වාන් දොරටු දැනටමත් විවෘත කරනු ලැබ තිබේ.

විශේෂයෙන්ම ඔඩ්ඩුසුඩාන්, මාන්නකන්දල්, කරුවල කන්දල, කොඩඩි කාල්ලු, කනගරත්පුරම් සහ විද්‍යාපුරම් ප්‍රදේශවල කොටු වී සිටි ජනතාව මෙසේ බේරාගත් බව ද යුද හමුදාව සඳහන් කරයි.

ඉරිදා (දෙසැම්බර් 23) උදය වරුව වනවිට ආරක්ෂක හමුදා විසින් පවුල් 276 කට අයත් පුද්ගලයන් 682 දෙනෙකු ආරක්‍ෂිත ස්ථානවල රඳවා ඔවුන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ ඇතුළු සහන ලබාදෙමින් සිටින බව ද යුද හමුදාව නිකුත්කළ නිවේදනයක දැක්වේ.

Image caption කිලිනොච්චිය ඉරණමඩුව ජලාශය වාන් දැමීම හා ප්‍රදේශයේ කුඩා වැව් වාන් දැමීම හේතුවෙන් ජල ගැලීම් ඇතිව තිබිණ

ඉරිදා සවස් යාමය වනවිට උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව හා යාපනය දිස්ත්‍රික්කයන් තුළ ජල ගැලීම් හේතුවෙන් අවතැන්වූවන් රැඳවීම පිණිස තාවකාලික අවතැන් කඳවුරු 52 ක් පිහිටුවා ඇති අතර, අදාළ කඳවුර තුළ පවුල් 2661 කට අයත් පුද්ගලයින් 8539 දෙනෙකු රඳවා සිටින බවත් ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේය.

ජල ගැලීම් හේතුවෙන් උතුරු පළාතේ වැඩිම පිරිසක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් පීඩාවට ලක්ව ඇති අතර, කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසූවේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කය තුළ පවුල් 9475 කට අයත් පුද්ගලයින් 31234 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බවය.

දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්ව සිටින පිරිස් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 26 ක රඳවා සිටින අතර, පවුල් 1373 කට අයත් පුද්ගලයින් 4649 දෙනෙකු මේ වනවිට රැඳී සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීහු පැවසූහ.

මුලතිව් දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 3794 කට අයත් පුද්ගලයින් 12651 දෙනෙකු පීඩාවට ලක්ව සිටිති. මුලතිව් දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්වූවන් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 25 ක පවුල් 1240 කට අයත් පුද්ගලයින් 3805 දෙනෙකු රදවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීහු පැවසූහ.

යාපනය දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 273 කට අයත් පුද්ගලයින් 708 දෙනෙකු පීඩාවට ලක්ව සිටින අතර, වවුනියාව දිස්ත්‍රික්කය තුළ පවුල් 77 කට අයත් පුද්ගලයින් 281 දෙනෙකු පීඩාවට ලක්ව සිටිති.

මන්නාරම දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින පවුල් 27 කට අයත් පුද්ගලයින් 85 දෙනෙකු, තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීහු සඳහන් කළහ.

ආපදාවට ලක්වූවන් බේරා ගැනීම සම්බන්ධයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමේනායගම් උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එන්ල ඉලන්ගෝවන් සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවන් පැවැත්විණ.

කිලිනොච්චිය ඉරණමඩුව ජලාශය වාන් දැමීම හා ප්‍රදේශයේ කුඩා වැව් වාන් දැමීම හේතුවෙන් ජල ගැලීම් ඇතිව තිබිණ.

කිලිනොච්චිය ඉරණමඩු වැවේ වාන් මට්ටම අඩි 36 ක් වන අතර මේ වන විට වැවේ ජල මට්ටම අඩි 38 ක් දක්වා ඉහළ ‍ගොස් ඇති බව වාරිමාර්ග ඉංජිනේරුවෝ පවසති.