උතුරේ ජල ගැලීම්: ගංවතුරෙන් පීඩාවට පත් සංඛ්‍යාව හැටදහස ඉක්මවයි

උතුරේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 60,345 ක් පීඩාවට පත්ව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ පවුල් 3,291 කට අයත් පුද්ගලයන් 10,332 ක් දැනට තාවකාලික කදවුරු තුළ රඳවා ඇති බවය.

මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ආරක්‍ෂිත ස්ථාන කීපයක් ස්ථාපනය කිරීමට බලධාරීහු මීට ඉහතදී පියවර ගත්හ.

උතුරු පළාතේ මුලතිව්, කිලිනොච්චි, යාපනය, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල පැවති ආපදාමය තත්ත්වය මේ වනවිට අඩු වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේය.

මේ වනවිට ආරක්‍ෂිත ස්ථාන සංඛ්‍යාව 34 දක්වා අඩු වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

දැනට රාජාංගණය ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘතව පවතින අතර දැදුරු ඔය ජලාශයේ විවෘතව ඇති වාන් දොරටු සංඛ්‍යාව 04 කි. ඉරනමඩු ජලාශයේ දොරටු 10 ක් විවෘත කර ඇත.

එළුවන්කුලම - පරණ මන්නාරම පාර අඟල් 50 පමණ ජල මට්ටමක් පවතින බැවින් විකල්ප මාර්ග භාවිතා කිරීම වැදගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසීය.

නිවාස පූර්ණ හානි 10 සහ අර්ධ හානි 224 ක් වාර්තා වී ඇති අතර තක්සේරු කළ වහාම නිවාස හානි වෙනුවෙන් වන්දි ලබා දීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටී.

පසුගිය සිකුරාදා (දෙසැම්බර් 21) සවස් යාමයේ සිට ඇති වූ ධාරානිපාත වර්ෂාව හමුවේ හටගත් ගංවතුරට කොටු වී සිටි සිය ගණනක් බේරා ගැනීමට ආරක්ෂක හමුදා කටයුතු කර තිබිණි.