ඉන්දුනීසියාවේ සුනාමිය: "ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දුනීසියාවේ අනක් ක්රකතාවෝ ගිනි කන්ද පුපුරා යාමත් සමග හටගෙන ඇති සුනාමි තත්වයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සුනාමි අවදානම් පිළිබඳ සිය ආයතනය පැය 24 පුරා විමසිල්ලෙන් පසුවන බවය.
කෙසේ නමුත් සුනාමියක් පිළිබඳ අනාවැකි පළ කළ නොහැකි බව කී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා එවැනි අනතුරක් සිදු වූ වහා සන්නිවේදන උපකරණ මාර්ගයෙන් දැනුවත් වීමක් සිදුවන බව සඳහන් කළේය.
"ඒ දැනුවත්වීම මත තමා අපි ඉන් එහාට අදාළ රටවලට යම් යම් තත්ත්වයන් ඇති වෙයි කියන විග්‍රහවලට එළඹෙන්නේ," ඔහු පැවසීය.
"නැතුව දවස් තුන හතරකට පෙර සුනාමියක් එනවා කියලා අනාවැකි පළ කරන්න ක්‍රමවේදයක් නැහැ."
ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images
ඉන්දුනීසියාවේ සුනාමියෙන් විනාශ වූ නිවාස
අනක් ක්රකතාවෝ ගිනි කන්ද පුපුරා යාමත් සමග හටගත් සුනාමි රළට බිලි වී මරණයට පත් සංඛ්‍යාව තුන්සිය පනහ ඉක්මවා ඇති බව ඉන්දුනීසියාවේ ආපදා කළමනාකරණ ආයතනය පවසයි.
සුමාත්‍රා සහ ජාවා කලාපයේ පිහිටි දූපත් වෙත යෝධ සුනාමි රළ ගලා එන ආකාරය සෙනසුරාදා (දෙසැ 22) දැකගත හැකි විය.
ගිනි කන්දේ ක්‍රියාකාරිත්වයත් සමග මුහුදු පත්ලේ හටගත් නාය යාමක් ඊට හේතු වන්නට ඇතැයි විශ්වාස කරේ.
සුනාමියට හසුව 1,500 ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් 128 දෙනෙකු අතුරුදහන් වී ඇති බව එරට බලධාරීහු පවසති.
ගිනි කන්ද හේතුවෙන් යළි සුනාමියක් ඇති විය හැකි බවට බිය පළ වීමත් සමග ඒ අවට වෙරළ කලාපයේ වෙසෙන ජනතාවට එම කලාපයෙන් ඉවත්ව සිටින ලෙස දන්වා තිබේ.
අළු සහ දුම් විහිදුවමින් අනක් ක්රකතාවෝ ගිනි කන්ද ඉරිදා යළි පුපුරා ගොස් ඇත.
මාර්ග අවහිරවීම හේතුවෙන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බව බලධාරීහු පවසති.
ඡායාරූප මූලාශ්‍රය, Reuters/AntraFoto
අනක් ක්රකතාවෝ ගිනි කන්ද
2004 දෙසැම්බර් 26 වෙනි දින ඉන්දීය සාගරයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් දෙලක්ෂ විසි අට දහසක් පමණ මරණයට පත් වූ අතර ඉන් වැඩි දෙනෙක් ඉන්දුනීසියානුවෝ වූහ.
එම සුනාමියෙන් ශ්‍රී ලංකාවට ද දැඩි හානි සිදු වූ අතර ජීවිත තිස්දහසක් පමණ මුහුදට බිලි විය.
ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ ඉන්දියාව යන රටවල සුනාමි මධ්‍යස්ථාන සමග ශ්‍රී ලංකාව සම්බන්ධ වී සිටින බව කී ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක, සුනාමි හෝ භූ කම්පනයක් පිළිබඳ එම මධ්‍යස්ථාන විසින් සිදු කරනු ලබන දැනුවත් කිරීම්වලට අනුකූලව ශ්‍රී ලංකාව අවශ්‍ය පියවර ගනු ලබන බව සඳහන් කළේය.
ඔහු පවසන පරිදි සුනාමි තත්ත්වයක් ඇතිවීම කෙරෙහි බලපා හැකි පාරිසරික වෙනස්වීම් කීපයක්:
- මුහුදු පතුලේ නාය යෑම්
- මුහුදු පතුලේ ගිනි කඳු පුපුරා යාම
- මුහුදට උල්කාපාත කඩා වැටීම
මුහුදු පතුලේ ඇති ස්තර දෙකක් එකිනෙක හැපී ජල කඳක් උස්පහත් වීම 2004 වසරේ ශ්‍රී ලංකාවට බලපෑ සුනාමියට හේතු වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ව්‍යාජ පුවත්
ඡායාරූප මූලාශ්‍රය, Facebook
සුනාමිය පිළිබඳ පසුගිය වසරේ පළ වූ ව්‍යාජ පුවතක්
පසුගිය කාලය තුළ අවස්ථා කීපයක දීම සුනාමි අනතුරු පිළිබඳ ව්‍යාජ පුවත් සමාජ ජාල ඔස්සේ අසන්නට ලැබිණි.
සුනාමි අනතුරක් ඇත්නම් පෙර අනතුරු ඇඟවීමේ කුළුණු, මාධ්‍ය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සන්නිවේදන ජාල, ගම් මට්ටමේ සන්නිවේදන ජාල (ග්‍රාම සේවා නිලධාරීන් ඇතුළු) සහ කෙටි පණිවුඩ (SMS) මගින් ඒ බව ජනතාව වෙත දැනුම් දෙනු ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මීට ඉහතදී බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
සුනාමි හෝ හදිසි ආපදා තත්ත්ව පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැය 24 අවදියෙන් සිටින බව කී ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඒ බව දැනුම් දෙන ඉහත කී ක්‍රමවේද පිළිබඳ විශ්වාසය තබන ලෙසය.
සුනාමි පෙර අනතුරු ඇඟවීමේ කුළුණු කොළඹ සිට මිනිත්තු 1 - 2 අතර කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බවත් ඔහු කියා සිටියේය.
සුනාමි හෝ හදිසි ආපදා තත්ත්වයක් පිළිබඳ පුවතක් තහවුරු කර ගන්නේ කෙසේද?
දුරකථන අංක (පැය 24 පුරා විවෘතයි)
- 117
- 0112136136
- 0112670002
සුනාමි පෙර සූදානම
සුනාමි පෙර අනතුරක් පරිගණක තිරයේ දිස්වන අයුරු
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි ඉන්දුනීසියානු කලාපය තුළ ඇතිවන භූ කම්පනයක දී ශ්‍රී ලාංකිකයන්ට අවදානම් කලාපයෙන් ඉවත් වීම සඳහා පැය 1 1/2 හෝ 2 කාලයක් ඇත.
එම ආයතනය වැඩිදුරටත් පවසන පරිදි ඕමානයට පහළින් පිහිටි කලාපයේ එවැනි තත්ත්වයක් හටගන්නේ නම් ඉවත්වීම සඳහා ඇති කාලය පැය 4 කි.
එවැනි අවස්ථාවක සිය ප්‍රයෝජනය සඳහා "සුනාමි මල්ලක්" සුදානම් කොට තබා ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
"සුනාමි මල්ල" තුළ තබා ගත යුත්තේ මොනවාද?
- අත්‍යවශ්‍ය ලියකියවිලි
- ඖෂධ
- විදුලි පන්දමක්
- රේඩියෝ යන්ත්‍රයක්
ව්‍යාජ පුවත්: සුනාමි අවදානමකදී කළ යුත්තේ කුමක්ද?
සුනාමි හෝ හදිසි ආපදා තත්ත්ව පිළිබඳ පැතිර යන කටකතාවල නිවැරදිභාවය තහවුරු කර ගන්නේ කෙසේද?