ශ්‍රී ලංකා ව්‍යවස්ථා අර්බුදය: මහින්ද රාජපක්ෂගේ විපක්ෂ නායක ධුරය ස්ථිරයි?

Image copyright Getty Images

විරුද්ධ පක්ෂයේ වැඩි ආසන සංඛ්‍යාව සහිත එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් යෝජනා කරන ලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරය දැරිය යුතුය යන්න කතානායක කරු ජයසූරියගේ ස්ථාවරය වී ඇති බව බීබීසී සිංහල සේවයට අනාවරණය වේ.

කතානායකවරයාගේ එම ස්ථාවරයට හේතු වී තිබෙන්නේ, හිටපු ජනාධිපතිවරයා සිය පක්ෂයෙන් ඉල්ලා අස් වූ බවක් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් දැනුම් දී නොතිබීමය.

මහින්ද රාජපක්ෂ විපක්ෂනායකවරයා ලෙස පිළිගන්නා බවට කතානායක කරු ජයසූරිය නිවේදනය කිරීමෙන් අනතුරුව එයට විරෝධය පළ කළ දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා, හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන මාසයකට වැඩි කලක් ගත වී ඇති බැවින් ඔහු තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන බව කියා සිටියේය.

ඉන් අනතුරුව ප්‍රකාශයක් කළ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සඳහන් කළේ, කතානායක කරු ජයසූරිය විසින් තමන් විපක්ෂනායක ධුරයෙන් ඉවත් නොකර මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ලෙසින් පිළිගනු ලැබ ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේ, තමන් විපක්ෂනායක තනතුරින් ඉවත් නොකර මහින්ද රාජපක්ෂ ද එම තනතුරට පත්කළ බව ප්‍රකාශ කිරීම මගින් මේවන විට විපක්ෂ නායකවරුන් දෙදෙනෙකු රටේ සිටින බවය.

එයට ප්‍රතිචාර දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා, හිටපු ජනාධිපතිවරයා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බව පැවසීය.

Image copyright Facebook/MR
Image caption මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ

කෙසේ වුවත් ඔහු ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙන්ම වෙනත් මන්ත්‍රීවරුන් ද සිය සමාජ ජාල ඔස්සේ නිවේදනය කර තිබුණි.

ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍යවල ද එදින එය ප්‍රධාන පුවතක් විය.

කෙසේ වුවත් මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට සිය මන්ත්‍රී ධුර අහිමි වී තිබේ ද යන්න අධිකරණය හමුවේ විසඳාගත යුතු ප්‍රශ්නයක්ය යන්න කතානායකවරයාගේ ස්ථාවරය වී තිබෙන බව ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් බීබීසී සිංහල සේවයට අනාවරණය වේ.

එමෙන්ම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව ජනාධිපතිවරයා යටතට පත්වන ආරක්ෂක, මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය හැරුණු විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයක් පවරාගතහොත් එය යළිත් වරක් එක්සත් ජනතා නිදහස් සන්ධානය ද ඇතුළත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම හා සමාන බවට තවත් තර්කයක් ඉදිරිපත් වී තිබුණි.

එබැවින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙකුට විපක්ෂ නායක ධුරය දැරිය නොහැකි බව එම තර්කය ඉදිරිපත් කරන්නන්ගේ මතය විය.

කෙසේ වුවත් රාජ්‍ය මාධ්‍ය ආයතන සම්බන්ධ ගැටලුව ද ජනාධිපතිවරයා සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව විසඳාගෙන තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු ද රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පත්කිරීමට නියමිතය.