සුනාමි අනුස්මරණය: පැරෑලියේ දුම්රිය නතර නොකිරීම දෝෂ දර්ශනයට

තිස් දහසකට අධික පිරිසකගේ ජීවිත විනාශ කරමින් 2004 දෙසැම්බර් 26 වැනි දින හටගත් සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් රට පුරා විවිධ ස්ථානවල අනුස්මරණ උත්සව පැවැත්විණ.

ගාල්ල හික්කඩුව පැරෑලියේ සුනාමි ස්මාරකය අබියස ජාතික ආරක්ෂක දින සැමරුම් උත්සවය පැවැත්වුණු නමුත් 13 වසරක් පුරා පෙරවරු 9.27 ට එහි දුම්රිය නවතනු ලැබූ නමුත් මෙවර එය සිදු නොවීම ගම්වාසීන්ගේ දැඩි දෝශ දර්ෂනයට ලක්විය.

කොළඹ කොටුවෙන් පිටත් වූ දුම්රිය, ජීවිත රැසක් බිලිගනිමින් ගාල්ල දුම්රිය මාර්ගයේ තෙල්වත්ත, පැරෑලියේ දී අනතුරට ලක්වූයේ එදින පෙරවරු 9.27 ටය.

එහි පැවති උත්සවයේදී නිලධාරීන් සහ සුනාමියෙන් මිය ගිය අයගේ ඥාතීන් ඔවුන්ට පින් පමුණුවා සුනාමි ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වූහ.

සුනාමියෙන් මිය ගිය පිරිස් වෙත පින් පැමිණ වීම සඳහා සර්ව ආගමික වතාවත් ද සිදු කෙරිණ.

ගාල්ල දිසා ලේකම් සෝමරත්න විදානපතිරණ, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සුගත් දිසානායක, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නියෝජිතයන් සහ දකුණු පළාත් හා ගාල්ල දිසාව භාර නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
සුනාමියට වසර දාහතරයි

ජනාධිපති නෑ

සුනාමි සහ ජාතික ආරක්ෂක දින සැමරුම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගි වීමට නියමිත බවට ජනාධිපති කාර්යාලයෙන් මූලික යෝජනාවක් කර තිබුණු නමුත් අවසානයේ එය සනාථ නොකළ බව ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ වනවිට ජනාධිපතිවරයා පුද්ගලික විදේශ සංචාරයක නිරතව සිටී.

සුනාමි ව්‍යසනයෙන් මිය ගිය පිරිස් වෙත පින් අනුමෝදන් කිරීමේ විශේෂ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ද පැවැත්විණ.

Image copyright News.lk

නුවරඑළිය දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක මාකඳුරේ රතන හිමියෝ එහිදී ධර්ම දේශණයක් හා සෙත් පිරිත් දේශනාවක් සිදුකර මියගිය අයට පින් අනුමෝදන් කළහ.

සුනාමි ගොඩ ගැලීම, එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකිකයන්ට මුහුණදීමට සිදු වූ දරුණුතම ස්වාභාවික ව්‍යවසනයන් අතර බරපතලම ව්‍යවසනයකි. එහිදී දස දහස් සංඛ්‍යාත ජීවිත මෙන්ම අතිවිශාල දේපළ හානියක් ද සිදුවිය.

රට පුරා වෙනත් ප්‍රදේශවල ද සුනාමි අනුස්මරණ උත්සව පැවැත්විණ.

තවත් කියවන්න: