උතුරේ ජල ගැලීම්: "අරමුදල් සපයා ගැනීමේ කිසිදු ගැටලුවක් නෑ"

ධාරානිපාත වර්ෂාව සමග හටගත් ජල ගැලීම් හේතුවෙන් උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිහිපයක පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැපයීම පිණිස අරමුදල් සපයා ගැනීමේ කිසිදු ගැටලුවක් නොමැති බව ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

නව අමාත්‍ය පදවියේ වැඩ භාරගැනීමටත් පෙරාතුව ගංවතුර සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන්ට සිදු වූ බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි අමාත්‍යවරයා, එබැවින් ආපදා සම්බන්ධයෙන් දැනට පවතින අරමුදල පිළිබඳව තමන්ට පූර්ණ අවබෝධයක් නොමැති බවත් සඳහන් කළේය.

කෙසේ වුවත් අදාළ අරමුදල්වල ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති නම් කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමැතිය ලබාගෙන අරමුදල් සපයා ගැනීම ගැටලුවක් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ට්විටර් පණිවුඩයක් මගින් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ් ඒ විජේවර්ධන පවසා තිබුණේ මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවට අනුව හදිසි අවස්ථා සඳහා අරමුදලේ පවතින්නේ රුපියල් මිලියන 500ක් පමණක් බවය. එය ඉතා සුළු මුදලක් බව ඔහු පෙන්වා දී තිබුණි.

බීබීසී සිංහල සේවය ඒ පිළිබඳ විමසූ අවස්ථාවේ අමාත්‍ය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රතිචාරය වූයේ, ඒ පිළිබඳව වැඩි විස්තර නොදන්නා නමුත්, "අපිට කිසිම ප්‍රශ්නයක් නෑ අත්තිකාරමක් වුනත් ගන්න පුළුවන්," යන්නය.

එමෙන්ම හදිසි ආපදා තත්වයක් සඳහා රක්ෂණ භාරකාර අරමුදලේ සියල්ල රක්ෂණය කර තිබෙන බැවින් හානියට පත් ජීවිත, නිවාස සහ බඩු භාණ්ඩ ඇතුළු සියලු දේ වෙනුවෙන් නිසි රක්ෂණ වන්දි ලැබෙනු ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

"අපි ඒකට මිලියන 500ක වාරිකයක් ගෙවනව. පිසූ ආහාර සපයන්න, වියලි ආහාර සපයන්න දැනටමත් අපිට මුදල් ලැබිල තියෙනව."

එයට අමතරව භාණ්ඩාගාරයෙන් ද ප්‍රතිපාදන ලබාගැනීම ගැටලුවක් නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

"ආපදා තත්වයට මුහුණ දෙන්න අපි සූදානම්. ඒ සඳහා අවශ්‍ය මුදල් සියල්ල අපි සතුව තියෙනව."

පසුගිය සඳුදා (දෙසැම්බර් 24) කිලිනොච්චිය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අමාත්‍යවරයා, අවතැන් වූවන් රැඳී සිටින කඳවුරු නිරීක්ෂණය කොට පවතින තත්වය සහ ආපදාවට ලක්වූවන්ට සහන ලබාදීම සම්බන්ධයෙන් කිලි‍නොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් ද පැවැත්විය.

දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා, එම් ඒ සුමන්තිරන්, වෛද්‍ය එස් ශිවමෝහන්, ශාන්ති ස්කන්ධරාජා මන්ත්‍රීවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ද එම සාකච්ඡාවට එක වී සිටියහ.

බදාදා වන විට ජල ගැලීම් හේතුවෙන් උතුරු පළාතේ පවුල් 27625 කට අයත් 86531 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසති.

බොතල් කළ ජලය ඉල්ලති

උතුරු පළාතේ කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව හා යාපනය දිස්ත්‍රික්ක තුළ අවතැන්වූවන් රැඳවීම පිණිස තාවකාලික කඳවුරු 28 ක් පිහිටුවා ඇති අතර, එම කඳවුරු තුළ පවුල් 3245 කට අයත් 10306 දෙනෙකු රඳවා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

කඳවුරුවල වෙසෙන ජනතාව වෙත අවශ්‍ය පහසුකම් සහ පිසූ ආහාර ලබාදීම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හා ආරක්ෂක අංශ විසින් සිදුකරන අතර, තමන්ට බෝතල් කළ පානීය ජලය ලබාදීමේ හැකියාවක් පවතින්නේ නම් එය විශාල සහනයක් බව අවතැන්ව සිටින ජනතාව පැවසූහ.

Image caption පසුගිය සඳුදා කිලිනොච්චියේදී අවතැන් වූවන් මුණගැසුණ අමාත්‍යවරයා සහ මහජන නියෝජිතයන්

ජල ගැලීම් හේතුවෙන් උතුරු පළාතේ වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේය. ඒ, පවුල් 15167 කට අයත් 47414 දෙනෙකි. මුලතිව් දිස්ත්‍රික්කය තුළ පවුල් 8025 කට අයත් පුද්ගලයින් 28889 දෙනෙකු පීඩාවට ලක්ව සිටිති.

යාපනය දිස්ත්‍රික්කය තුළ පවුල් 4257 කට අයත් 12642 දෙනෙකු පීඩාවට ලක්ව සිටින අතර, වවුනියාව දිස්ත්‍රික්කයේ ද 501 දෙනෙකු පීඩාවට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ නිලධාරීහු පැවසූහ.

කිලිනොච්චිය ඉරණමඩුව ජලාශය වාන් දැමීම හා ප්‍රදේශයේ කුඩා වැව් වාන් දැමීම හේතුවෙන් ජල ගැලීම් ඇතිව තිබිණ.

පීඩාවට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් කිලිනොච්චිය, මුලතිව්, යාපනය, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත මුදල් ප්‍රතිපාදන කඩිනමින් ලබාදි ඇති බව බලධාරීහු පවසති.

ජල ගැලීම් හේතුවෙන් කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයන්ගේ මාර්ග රැසක් විනාශ වී ගොස් ඇති අතර, යුද හමුදා නිළධාරීන් මැදිහත් වී ජනතාව බේරා ගැනීමේ සහ ආපදාවට ලක් වූ වැව් සකස් කිරීම ද මේ වන විට සිදුකරමින් පවතී.

මේ අතර ආපදාවට ලක්ව සිටින කිලිනොච්චිය හා මුලතිව් ජනතාවගේ සුවදුක් විමසීම පිණිස, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් නත්තල් දිනයේ කිලිනොච්චියේ සංචාරයක නිරත වූහ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නියෝජනය කරමින් එහි පැමිණි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් හැකි සෑම උපකාරයක්ම ලබාදීමට කටයුතු කරන බවට ප්‍රතිඥා දුන්නේය.