උතුරේ ගංවතුර: පීඩාවට පත් පිරිස ලක්ෂය ඉක්මවයි

Image copyright Getty Images
Image caption සංරක්ෂිත දර්ශනයක්

යාන් ඔය ජලාශයේ ජල මට්ටම එහි උපරිමය වන මීටර 36 දක්වා ළඟා වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම සීමාවට ළඟා වූ වහාම එම ජලාශයේ වාන් දොරටු විවෘත කෙරෙනු ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සිය හදිසි මෙහෙයුම් මැදිරියට දන්වා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කරයි.

සිකුරාදා (දෙසැ 28) උදෑසන වාන් දොරටු විවෘත කළ හැකි බැවින් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පහළ වාරි කලාපව සහ යාන් ඔය දෙපස වෙසෙන ජනතාවගෙන් බලධාරීහු ඉල්ලා සිටිති.

විශේෂයෙන් ත්‍රිකුණාමලය සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි නිකුත් කළ නිවේදනයක දැක්වේ.

යාන් ඔය ජලාශයට ඉහළින් පිහිටි හුරුළු වැව වාන් දමමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව තමන් වෙත දන්වා ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටී.

මේ අතර උතුරු පළාතේ පවතින අහයපත් කාලගුණය හමුවේ පවුල් 36,594 කට අයත් පුද්ගලයන් 1,14458 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අතරින් වැඩි වශයෙන්ම පීඩාවට පත්ව සිටින්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වැසියන්ය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර