මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම සහ "මුස්ලිම් අන්තවාදී සංවිධාන": ප්‍රජා නායකයන්ගෙන් ජනතාවට ඉල්ලීමක්

Image copyright Galkande Dhammananda Thero/ Facebook
Image caption "මොනම විදියකටවත් ගැටුම් පුළුල් වෙන්න, මිනිසුන් අතර වෛරය ඇතිවෙන්න දේවල් මොකක්වත් සිදු නොවිය යුතුයි"

මාවනැල්ල සහ මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය දින කිහිපය තුළ බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාවට නගනු විනා බෙදී, වෙන්වී ගැටුම් ඇතිකර නොගන්නා මෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ දේශපාලන නායකයන් ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලීමක් කරති.

යම් යම් පුද්ගලයන් සහ "කුඩා කණ්ඩායම් ලෙසින්" එවැනි සිදුවීම් ඇතිවිය හැකි වුවත් ඒ සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාවට නැගිය යුතු බව ශ්‍රී වල්පොල රාහුල පදනමේ ගල්කන්දේ ධම්මානන්ද හිමියන් බීබීසී සිංහල සේවය සමග කියා සිටියහ.

"මොනම හේතුවක් නිසාවත් අපි ජනකොටස් හැටියට බෙදෙන්න, වෛරී ප්‍රකාශ කරන එක, ඒ වගේම ගැටුම් ඇතිවෙන විදියට වැඩකරන එක මම හිතනවා ඉතාම භයානක දෙයක්. ඒක නොවිය යුතුයි."

වැඩිදුරටත් අදහස් දැක්වූ ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ, "මොනම විදියකටවත් ගැටුම් පුළුල් වෙන්න, මිනිසුන් අතර වෛරය ඇතිවෙන්න දේවල් මොකක්වත් සිද්ද නොවිය යුතුයි," යනුවෙන් ද කියා සිටියහ.

Image caption "කවර තත්වයක් යටතේ හෝ නීතිය අතට ගන්න එපා"

"කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් හිතාමතාම" බුදු පිළිමවලට හානිකරමින් "යම්කිසි අරමුණකින්" සිදුකරමින් පවතින "සංවේගී සිදුවීම් මාලාව" පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කියා සිටියේ පසුගිය සමයේ "සෑම දේශපාලන කුණාටුවකින් අනතුරුවම" මෙවැනි තත්වයක් දක්නට ලැබුන බවය.

කවර තත්ත්වයක් යටතේ හෝ නීතිය අතට නොගන්නා ලෙස ශ්‍රී ලංකාවේ සාමකාමී සිංහල ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

"ඒ වගේම මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කවරෙකු විසින් හෝ කරන මේ සාහසික ක්‍රියාවට එරෙහිව සිංහල, මුස්ලිම් භේදයකින් තොරව නැගී සිටිමු. ඒ වගේම අපි එකිනෙකාගේ ආගම්වලට ගරු කරන සංස්කෘතිය ප්‍රවර්ධනය කරමු," යනුවෙන් ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසීය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
මුස්ලිම් ජනතාව ආරක්ෂා කළ භික්ෂු මෙහෙයුම

මේ අතර "මාවනැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මකවන මුස්ලිම් අන්තවාදී සංවිධාන" සම්බන්ධයෙන් නිසි පියවර නොගන්නා බවට දිගන ගැටුම අවස්ථාවේ එම ගැටුම් පැතිරයාම වැළැක්වීම පිණිස පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් මුස්ලිම් ආගමික සහ දේශපාලන නායකයන්ට ප්‍රබල චෝදනාවක් එල්ල කරති.

මාවනැල්ල සහ මහනුවර ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කරනු ලබන්නේ "මුස්ලිම් අන්තවාදී කල්ලියක් විසින්" බවට තොරතුරු ලැබී තිබෙන්නේ යයි බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටි නෙල්ලිගල, බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ, ඔවුන් විසින් මහනුවර, ලියන්ගහවෙල සහ දොඩන්වල ශ්‍රී නාථ දේවාලයේ බුදු පිලිමවලට හානි කර තිබුණු බව ද සඳහන් කළහ.

පසුගිය මාර්තු මාසයේ මහනුවර, දිගන මුස්ලිම් විරෝධී ප්‍රහාර එල්ලවෙමින් පැවති අවස්ථාවේ නෙල්ලිගල, බෞද්ධ මධ්‍යස්ථානය අවට මතුවෙමින් පැවති තත්ත්වය වටහාගත් වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ මාර්තු 06 දින රාත්‍රියේ සිය සහෝදර භික්ෂුන් වහන්සේ ඇතුළු ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමග මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීම පිණිස වැඩපිළිවෙලක් දියත් කළහ.

වර්තමානයේ ද පවතින තත්ත්වය හේතුවෙන් ජාතීන් අතර සංහිඳියාව උදෙසා පියවර ගත යුතුව තිබෙන්නේ නොවේ දැයි බීබීසී සිංහල සේවය විමසූ අවස්ථාවේ එහිමියන් කියා සිටියේ, "මේ අවස්ථාවේදී පැහැදිලිවම මම චෝදනා කරනවා අපේ රටේ ඉන්න සාම්ප්‍රදායික මුස්ලිම් ආගමික නායකයින්ට. මම කරුණු ඇතිවයි එලෙස චෝදනා කරන්නේ," යනුවෙනි.

Image copyright Facebook/Kabir Hashim

පසුගිය මාර්තු මාසයේ ගැටුම් හටගැනීමෙන් අනතුරුව යළිත් වරක් ජාතීන් අතර ගැටුම් ඇතිවීම වැළැක්වීම පිණිස තමන් වහන්සේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් දියත් කළ ද ඒ සඳහා කිසිදු සහයෝගයක් ලබා නොදුන් බවට එහිමියෝ මුස්ලිම් ආගමික හෝ දේශපාලන නායකයන්ට චෝදනා කරති.

"මම බෞද්ධ භික්ෂුවක් හැටියට ඇතැම් බෞද්ධ සංවිධානවල ක්‍රියාවන් වැරදියි කියන එක පෙන්නල දුන්න. ඒ වෙනුවෙන් පෙනී හිටිය. ඒත් වර්තමානයේ මේ අන්තවාදී මුස්ලිම් සංවිධානය වැරදියි කියන්න කවුරුත් ඉදිරිපත් වෙලා නෑ."

එබැවින් මෙය තවදුරටත් පැතිර යාම වැළැක්වීම පිණිස මුස්ලිම් ආගමික සහ ප්‍රජා නායකයන් ඉදිරිපත් විය යුතු බව අවධාරණය කරන එහිමියෝ, එසේ නොවුවහොත් මතුවිය හැකි ගැටුමක වගකීම ඔවුන් භාරගත යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළහ.

"මේ ස්වල්ප වෙච්ච මුස්ලිම් අන්තවාදී ප්‍රවාහය මර්ධනය කිරීමේ නායකත්වය, මූලිකත්වය ගත යුත්තේ සම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව මොකද ඔවුන්ටයි මේකෙන් හානිය සිද්ද වෙන්නේ."

තවත් කියවන්න:

මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ස්ථාපනය කොට තිබූ බුදු පිළිමවලට හානි කිරීම "අන්තවාදී අදහස් දරන කණ්ඩායමක ක්‍රියාවක්" දැයි සැකයක් මතු වී තිබෙන බව ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍ය කබීර් හෂීම් ද බ්‍රහස්පතින්දා (දෙසස්ම්බර් 27) බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේය.

"විවිධ තොරතුරු පොලිසිය මාර්ගයෙන් ලැබෙමින් පවතිනවා හතර පස් දෙනෙකුගේ හෝ කීප දෙනෙකුගේ අන්තවාදී අදහස් තියෙන කණ්ඩායමක් විසින් මේ ක්‍රියාව කරලා තියෙනවයි කියල."

ඔවුන්ට දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කරන මෙන් පොලිසියට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ, "මේ ඉතාම ම්ලේච්ඡ සිද්ධීන් සඳහා, ICCPR නීතිය යටතේ ද්වේශ සහගත අපරාධයක් ලෙස සලකා විශේෂයෙන්ම ඇප නොදෙන තරමේ උපරීම දඬුවම් දීම සඳහා කටයුතු කරන්න කියල උපදෙස් දීල තියෙන," බවය.

මේ අතර නිවේදනයක් නිකුත් කරන බොදු බල සේනා සංවිධානය පවසන්නේ මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම "අහම්බයක් නොව කාලයක් තිස්සේ අපගේ පාලකයන්ගේ නොසැලකිල්ල හා මෝඩකම් නිසා වර්ධනය වූ මුස්ලිම් අන්තවාදයේ බීජයන්" බවය.

"වැරදිකරුවන්ට දඬුවම් කිරීම, නොමග ගිය පිරිස් පුනරුත්තාපනය කිරීම මෙන්ම මෙම අන්තවාදී ආගමික කටයුතු ප්‍රවර්ධනය කරන්නන් හෙළිදරවු කිරීමට ද කටයුතු කළ යුතුය," යනුවෙන් ද බොදු බල සේනා නිවේදනයේ සඳහන් වේ.

Image copyright Facebook
Image caption මාවනැල්ල බුදු පිළිමවලට හානි කළ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකෙරෙන පුද්ගලයන් හත් දෙනෙකු පොලිසිය විසින් පසුගිය දින කිහිපය ඇතුළත අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරින් බදාදා (දෙසැම්බර් 26) අත්අඩංගුවට ගනු ලැබූ හය දෙනෙකු බ්‍රහස්පතින්දා මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව ලබන ජනවාරි 02 වෙනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ බව පොලිස් ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.

බදාදා අලුයම යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු මාවනැල්ල ප්‍රදේශයේ මංසන්ධියක තිබූ බුදු පිළිමයකට හානි කිරීමට උත්සහ දැරූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් ඔවුන් සිය ග්‍රහණයට ගෙන තිබේ. ඉන් එක් අයෙකු අදාළ ස්ථානයෙන් පළා යෑමට උත්සහ දරා ඇති නමුත්, පසුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 27) අත්අඩංගුවට ගනු ලැබූ තවත් සැකකරුවෙකු සිකුරාදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. අත්අඩංගුවට ගත යුතු තවත් සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන බව ද පොලිස් අධිකාරීවරයා කියා සිටියේය.

පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් මේ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබ ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන ද තරකොට තිබේ.

ඇතැම් සැකකරුවන්ගේ "අන්තවාදී අදහස්" හේතුවෙන් මීට වසර කිහිපයකට ඉහතදී මුස්ලිම් ප්‍රජා සංවිධානයක් ඔවුන් සිය සංවිධානයෙන් නෙරපා දමා තිබෙන බව මාවනැල්ල ප්‍රදේශවාසී මුස්ලිම් ක්‍රියාධරයෙක් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේය.

"අන්තවාදී අදහස් දරන කණ්ඩායම" සහ වෙනත් රටවල් අතර සම්බන්ධයක් පවතින්නේ දැයි බීබීසී සිංහල සේවය විමසූ අවස්ථාවේ කබීර් හෂීම් අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බැවින් මේ අවස්ථාවේ ඒ ගැන වැඩි විස්තර හෙළි කළ නොහැකි බවය.

කිසියම් ලෙසකින් මුස්ලිම් ප්‍රජාව තුළ එවැනි "අන්තවාදී ප්‍රවනතාවක්" පවතින්නේ නම් දඬුවම් දීම මෙන්ම මුස්ලිම් ප්‍රජාව දැනුවත් කිරීමටත් කටයුතු කළයුතු නොවේදැයි කළ විමසීමට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ, ඒ සඳහා දැනටමත් සිය ප්‍රදේශය තුළ මුස්ලිම් සහ බෞද්ධ ඇතුළු ආගමික හා ප්‍රජා නායකයන් එකතු වී දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබෙන බවය.

"අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා සමාජය තුළ අවදියෙන් සිටිමින් හැම ගමකම මේ වගේ සම්බන්ධකම් තියෙන අය ගැන දැනුවත් කරන්න. පොලිස් නිලධාරීන් ඉල්ලීමක් කළා ඒ අය දැනුවත් කරන්න කියල ඒ වගේම දිසාපතිතුමා ඉල්ලීමක් කළා රහසිගතව තොරතුරු ලබාදෙන්න කියල," යනුවෙන් ද අමාත්‍ය කබීර් හෂීම් වැඩිදුරටත් සඳහන් කළේය.