උතුරේ ගංවතුර: අගමැති රනිල් කිලිනොච්චියේ සංචාරයක

රනිල් වික්‍රමසිංහ

උතුරේ ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයන් මූල්‍ය ආයතන වෙතින් ලබාගෙන ඇති ණය මුදල්වලට අදාළ පොලී ගෙවීම් මසක කාලයක් සඳහා අත්හිටුවන ලෙස බලධාරීන්ට උපදෙස් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ලබා ගෙන ඇති ණය මුදල් සම්බන්ධයෙන් සහන දිය හැකි ක්‍රමවේද බැංකු සහ මුල්‍ය ආයතන සමග සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු කියා සිටී.

එසේම ආපදාවට පත්වු සියලු දෙනා වෙත සහන සැලසීම සඳහා මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති අතර දෙසැම්බර් 31 වැනි දිනට පෙර අදාළ මුදල් ආධාර කිසිදු හිඟයකින් ‍තොරව නිදහස් කිරීමට හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

ජල ගැලීම් හේතුවෙන් අවතැන්වූවන්ගේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා කිලිනොච්චිය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අගමැතිවරයා කියා සිටියේ දෙසැම්බර් 31 වෙනි දිනට පෙර අදාළ මුදල් ආධාර ලබාදීමට උත්සහ කරන බවය.

අවතැන්වූන්ට සහන සැලසීම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් ද පැවැත්විණ.

සාකච්ඡාව සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබංඩාර, උතුරු පළාත් ආණ්ඩුකාර ‍රෙජිනෝල්ඩ් කුරේ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

උතුරු පළාතේ පවතින අහයපත් කාලගුණය හමුවේ පවුල් 38,739කට අයත් පුද්ගලයන් 1,19962 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අතරින් වැඩි වශයෙන්ම පීඩාවට පත්ව සිටින්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වැසියන්ය.

මේ අතර යාන් ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒ දෙපස සහ පහළ වාරි කලාපවල වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටී.