'ලන්ච් ෂීට්වලට' විකල්පයක් සොයා ගත් තරුෂි: "මට වාසියක් නැතත් රටට හොඳක් විය යුතුයි"

  • සුනෙත් පෙරේරා
  • BBC සිංහල
ඡායාරූප ශීර්ෂ වැකිය,

"පොලිතින් පරිසරයට විශාල ගැටලුවක් වෙලා. විශේෂයෙන් ලන්ච් ෂීට්. ඒ සඳහා විසඳුමක් වශයෙන් මම යළි ප්‍රයෝජනයට ගත හැකි පරිසර හිතකාමී බෑගයක් නිර්මාණය කළා,"

බීබීසී සිංහල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද පුවත් අතරින් වඩාත් ජනප්‍රිය පුවත පිළිබඳ කරන ලද පසුවිපරමක් ප්‍රකාර, 2018 වසරේ ආරම්භයේ සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා එසේ පළ කරන ලද පුවත් අතරින් ජනප්‍රියතම පුවත බවට පත්ව ඇත්තේ 'ලන්ච් ෂීට්' වෙනුවට යොදා ගත හැකි පරිසර හිතකාමී 'ලන්ච් බෑගයක්' නිර්මාණය කළ දාහත් හැවිරිදි පාසල් සිසුවිය පිළිබඳ වීඩියෝ දර්ශන ඇතුළත් පුවතය.

ජුනි 06 වෙනිදා

බීබීසී සිංහල සේවය, රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ දැනට උසස් පෙළ හදාරන සිසුවියක වන තරුෂි විදුෂිකා රාජපක්ෂ නිර්මාණය කළ පරිසර හිතකාමී 'ලන්ච් බෑගය' ඇතුළු නව නිර්මාණ දාහතක් පිළිබඳ පුවත පළ කළේ ජුනි 06 වෙනිදාය.

"පොලිතින් පරිසරයට විශාල ගැටලුවක් වෙලා. විශේෂයෙන් ලන්ච් ෂීට්. ඒ සඳහා විසඳුමක් වශයෙන් මම යළි ප්‍රයෝජනයට ගත හැකි පරිසර හිතකාමී බෑගයක් නිර්මාණය කළා. එය නිර්මාණය කර තිබෙන රෙදි වර්ගය හිරු එළියෙන් ස්වභාවිකවම විනාශ වෙනවා. ඒකෙන් පරිසරයට හානියක් වෙන්නේ නැහැ," යනුවෙන් තරුෂි එවක බීබීසී වෙත පැවසීය.

වීඩියෝ දර්ශන ඇතුළත් එකී පුවත 50,000 අධික වාර ගණනක් ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු (Share) වී ඇති අතර නරඹා ඇති පිරිස මිලියනයකට අධිකය.

ඉංග්‍රීසි ඇතුළු භාෂා ගණනාවකට පරිවර්තනය කෙරනු තරුෂි පිළිබඳ පුවත බීබීසී නිව්ස් වෙබ් අඩවිය ඇතුළු බීබීසී ලෝක සේවයට අයත් වෙබ් අඩවි ගණනාවක පළ විය.

Skip Facebook post, 1

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 1

අදාළ පුවත බීබීසීයේ පළ වීමත් සමග ශ්‍රී ලංකාවේ සමාජ ජාල ඇතුළු වෙබ් මාධ්‍ය තුළ තරුෂි පිළිබඳ විශාල වශයෙන් වාර්තා පළ විය.

තරුෂිගේ අධ්‍යාපනය සහ නිර්මාණ කටයුතු සඳහා උපදෙස් සහ මුල්‍යාධාර ලබා දීමට කැමැත්තෙන් පසු වූ රජයේ ආයතන, මූල්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන, පරිසර සංවිධාන සහ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඇතුළු විශාල පිරිසක් ඇය පිළිබඳ විමසමින් බීබීසී වෙත පණිවුඩ එවා තිබිණි.

තරුෂි සහ ඇයගේ දෙමව්පියන් සම්බන්ධ කර ගැනීමේ අරමුණින් බීබීසී සිංහල වෙත දුරකතන ඇමතුම් ලබා දුන් පිරිස අතර දේශපාලනඥයෝ ද වූහ.

කෙසේ නමුත් තරුෂි අවුරුදු 18 ඉක්මවා නොමැති බැවින් සහ එක්සත් රාජධානියේ පවතින දත්ත ආරක්ෂා කිරීමේ පනතට (Data Protection Act) බීබීසීය යටත් වන බැවින් දුරකතන අංක ඇතුළු ඇයගේ පෞද්ගලික තොරතුරු තුන්වන පාර්ශවයක් වෙත ලබා දීමේදී දෙමව්පියන්ගේ අවසරය ලබා ගැනීමට සිදුවේ.

නව නිර්මාණ ක්ෂේත්‍රයේ තරුෂි දක්වන දක්ෂතා දෙස රටේ අවධානය යොමු වීමත් සමග ඇයගේ අද තත්ත්වය කෙබඳුද?

අද තත්ත්වය

ඡායාරූප ශීර්ෂ වැකිය,

තරුෂිගේ නිවස වටා ඇති යන්ත්‍ර කොටස් සහ විද්‍යුත් උපාංග (2018 ජුනි)

තරුෂි සහ ඇයගේ දෙමව්පියන් පවසන ආකාරයට තම නිවසට පැමිණි බොහෝ දෙනෙකු සිය නිෂ්පාදන සහ නිවස පිළිබඳ ඡායාරූප ගෙන ගොස් ඇති නමුත් ඉන් ඉදිරියට සැලකිය යුතු පියවරක් ගෙන නොමැත.

"ඒ දවස්වලට හොයා ගෙන ඇවිත් සම්මුඛ සාකච්ඡා ගන්නවා. නිවුස්වල යනවා. ඒක මට අවස්ථාවක් නමුත් කාලෙකට පස්සේ අපි කරන දේවල් අමතක වෙනවා. ඒවට මොනා වෙනවද කියලා කවුරුත් දන්නේ නැහැ," තරුෂි රාජපක්ෂ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියාය.

"මට ආර්ථික වාසියක් නැතත් රටට, පරිසරයට හොඳක් වෙන ලන්ච් බෑග් එක ජනතාව අතරට ගෙනියන්න නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවනම් හොඳයි."

එසේම සමාජ ජාල ඔස්සේ තමන් ධෛර්යට පත් කළ ශ්‍රී ලාංකිකයන්ට ද ඇය සිය ස්තූතිය පළ කළාය.

මේ අතර පසුගිය අගෝස්තු 06 වෙනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 'ජාතික තිරසර කතිකාවට' සහභාගී වූ සිය දියණිය වසර 2030 දී සිය ඉදිරි බලාපොරොත්තු මැයෙන් මිනිත්තු හතක කතාවක් කළ බව තරුෂිගේ මව පැවසීය.

ඒ සඳහා පුහුණුවීමට කොළඹ බලා යාම සඳහා අවස්ථා තුනකදී රත්නපුරට මෝටර් රථයක් එවූ බව කී ඇය උත්සවයෙන් අනතුරුව සිය දියණියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට අවස්ථාව ලැබුණු බව සඳහන් කළාය.

ඉන් අනතුරුව මසක් ඇතුළත ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු සිය නිවස වෙත පැමිණ ඡායාරූප ගෙන ගිය නමුත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් නොලැබුණු බවත් ඇය සඳහන් කළාය.

පොරොන්දු ඉටු වෙලාද?

තරුෂි පවසන පරිදි සිය 'ලන්ච් බෑගය' මිලදී ගැනීමට ඉදිරිපත් වී ඇත්තේ තමන් ඉගනුම ලබන රත්නපුර සුමන බාලිකා විදුහලමය.

එහි සිසුවියන් 2,800 ක් පමණ ඉගෙනුම ලබන බව කී තරුෂිගේ මව 'ලන්ච් බෑග්' 300 ක් නිෂ්පාදනය කිරීම සඳහා පාසල් විදුහල්පතිනිය පාසල් සමිතිය මාර්ගයෙන් අත්තිකාරමක් ලබා දී ඇති බව සඳහන් කළාය.

ඊට අමතරව නිෂ්පාදනය කළ 'ලන්ච් බෑග්' අලෙවි කර දීම සඳහා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන සමාගමක් ඉදිරිපත් වී ඇත.

නව නිර්මාණ කිරීමේදී තමා මුහුණ දෙන අභියෝග පිළිබඳ මාධ්‍ය වාර්තා පළ වීමෙන් අනතුරුව අධ්‍යාපන දෙපාර්තමේන්තුව සිය දියණියගේ ඉගෙනීමේ කටයුතු සඳහා මාසික ශිෂ්‍යාධාරයක් ලබා දීමට කටයුතු කළ බවත් තරුෂි පැවසීය.

ඒ සමග එවක නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස තමන්ට අවස්ථා කීපයකදී දුරකතනයෙන් කතා කළ බවත් සිය නිවස අලුත්වැඩියා කර දෙන බවට ඔහු පොරොන්දු වූ බවත් තරුෂිගේ මව කියා සිටියාය.

නිවස අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ඇස්තමේන්තු භාර දී ඇති නමුත් මාස දෙකක පමණ කාලයක් පැවති දේශපාලන අර්බුදයෙන් පසු ඒ සම්බන්ධයෙන් කිසිවක් දැනගැනීමට නොහැකි වූ බවත් ඇය සඳහන් කළාය.

"දහඅට වෙනි නිපැයුම"

බලධාරීන්ගේ නිසි සහයක් නොමැති මුත් තරුෂි සිය දහඅට වෙනි නව නිර්මාණය ද ආරම්භ කර තිබේ. එය වැඩිදියුණු කළ තේ දළු බෑගයකි.

"දළු කඩන අය දැන් පාවිච්චි කරන්නේ පොහොර බෑග් වගේ දෙයක්. මම ඒකට අලුතින් උපාංග එකතු කරලා නවීකරණය කරනවා. ඒකෙන් දළු කඩන පුද්ගලයට පහසුවක් වගේම දළුවල ගුණාත්මකභාවයත් ආරක්ෂා වෙනවා," තරුෂි කියා සිටියාය.

කලා අංශයෙන් ඉගනුම ලබන තරුෂි රාජපක්ෂ ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය.