වැලිකඩ බන්ධනාගාරයේ "මහා පරිමාණ සහල් වංචාවක්" ගැන පැමිණිල්ලක්

Rice Scam in Welikada Prison Image copyright Getty Images

කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවන "මහා පරිමාණයේ සහල් වංචාවක්" සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකාවේ සිරකරුවන්ගේ අයිතීන් සුරකින සංවිධානය පවසයි.

දෙසැම්බර් 26 වෙනි දින මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ සංවිධානයේ ලේකම් වෙල්ලගේ සුදේශ් නන්දිමාල් සිල්වා විසිනි.

මෙම සහල් වංචාව දීර්ඝ කාලයක සිට සිදු කෙරෙන අතර, බන්ධනාගාර නිලධාරීන් කීපදෙනෙකු මෙයට සෘජුවම සම්බන්ධ වී ඇති බව සංවිධානයේ සභාපති නීතීඥ සේනක පෙරේරා බීබීසී සිංහල සේවය සමග පැවසීය.

රැඳවියන්ගේ පරිභෝජනය පිණිස බන්ධනාගාරයේ ඇති සහල් තොග විශාල ප්‍රමාණවලින් වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගොස් තැරැව්කරුවන්ට විකුණන අතර, අත්‍යවශය ද්‍රව්‍ය රැගෙන එන බව දන්වමින් පරිශ්‍රය ඇතුළට පැමිණෙන හිස් ලොරිවල පටවා සහල් පිටතට රැගෙන යන බව ද නීතීඥවරයා කියා සිටියේය.

වැලිකඩ ප්‍රධාන වශයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන සැකකරුවන් රඳවා තබන බන්ධනාගාරයක් වන අතර, ඔවුන්ට දිනපතා අමුත්තන් හමුවීමට කාලයක් වෙන් වී ඇත. ඒ අනුව, රැඳවියන්ට නිතර සිය ඥාතීන් හෝ මිතුරන්ගෙන් ආහාර පාන ආදිය ලැබේ.

එබැවින් බන්ධනාගාරයෙන් ආහාර ලබා දිය යුත්තේ සාපේක්ෂව අඩු පිරිසකට බව ද අපරාධ විමර්ශන අංශයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ දැක්වේ.

"කොළඹ බන්ධනාගාර ගබඩා අංශය සහ වියළි සහ අමු සලාක අංශයෙන් ලැබෙන ඇණවුම් අනුව පෞද්ගලික ආයතනයකින් මෙම සහල් බන්ධනාගාරයට ලබා ගන්නවා," යැයි එම පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ.

මේ තොරතුරුද කියවන්න:

කෙසේවෙතත්, විශාල රැඳවියන් පිරිසකට දිනපතා ආහාර ලබා දෙන බව වාර්තා පොත්වල ව්‍යාජ සටහන් යොදා, අවශ්‍ය පිරිසට පමණක් ආහාර පිස ඉතිරිවන සහල් සඟවා තබන බව පැමිණිල්ලේ සඳහන් වන්නේය.

පසුව, පෞද්ගලික ආයතනයක් සමග එකතු වී මෙම වංචාවේ යෙදී ඇති අතර, තොග වාර්තාවලට වැරදි දත්ත ඇතුළු කිරීමට මෙයට සම්බන්ධ නිලධාරීන් කටයුතු කර ඇති බවත් නීතිඥ සේනක පෙරේරා පැවසීය.

පැමිණිල්ලේ සඳහන් වන පරිදි, 2018 නොවැම්බර් මස 21 වෙනි දින සහල් කිලෝග්‍රෑම් 2,500ක් බන්ධනාගාරය වෙත සපයා ඇතැයි තොග වාර්තාවල සඳහන් වී තිබේ. නමුත්, එම දිනය තුළ සහල් පටවාගත් කිසිදු ලොරියක් බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී නැත.

බන්ධනාගාරයට ඇතුළු වන භාණ්ඩ රැගත් ලොරි පිළිබඳ සටහන් එහි ගේට්ටුවේ සිටින බන්ධනාගාර පොලිසියට අනුයුක්ත ස්වාධීන නිලධාරීන් වාර්තා කරගන්නා නමුත්, පෙර කී දිනය තුළ කිසිදු ලොරියක් ඇතුළු වී ඇති බවට සටහනක් නොමැත.

තවත් තොරතුරු:

දෙසැම්බර් 18 වෙනි දින සහල් ගබඩා වටලා පරීක්ෂණ පැවැත්වීමට බන්ධනාගාර පොලිසිය සැලසුම් කර තිබිණි. මේ අතර, දෙසැම්බර් 17 වෙනි දින වාර්තා පොත් වෙනස් කරමින්, පෙර සඳහන් පෞද්ගලික ආයතනය නාඩු සහල් කිලෝ 5,000ක් සහ රතු කැකුළු කිලෝ 100ක් බන්ධනාගාර පරිශ්‍රය තුළට රැගෙන ආ බව සඳහන් කර ඇතැයි ශ්‍රී ලංකාවේ සිරකරුවන්ගේ අයිතීන් සුරකින සංවිධානය ඉදිරිපත් කළ පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ.

මේ පිළිබඳව බන්ධනාගාර ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී පැවසුවේ, මෙම පැමිණිල්ල ගැන බන්ධනාගාර මූලස්ථානය මෙතෙක් දැනුවත් වී නොමැති බවය.

"මේ පැමිණිල්ලේ පිටපතක් හෝ අපට ලැබිලා නැහැ. මේ වගේ දෙයක් ගැන පැමිණිල්ලක් කරන්න බන්ධනාගාර මූලස්ථානය, බන්ධනාගාර පොලිසිය වගේම අදාළ දෙපාර්තමේන්තු රාශියක් තියෙනවා. ඒවාට පැමිණිලි නොකර මේ අය වෙනත් මාර්ගයක් ගෙන තිබෙනවා," යැයි තුෂාර උපුල්දෙණිය වැඩිදුරටත් පැවසීය.