ශ්‍රී ලංකාවේ සංහිඳියාව ප්‍රවර්ධනය කරනු වස් බෞද්ධ විහාරස්ථානයක නත්තල් උත්සවයක්

ආගමික සංහිඳියාවේ වැදගත්කම ලොවට කියනුවස් නත්තල් උළෙලක් සංවිධානය කළ බෞද්ධ විහාරස්ථානයක් පිළිබඳ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

ඉහත කී නත්තල් උත්සවය පැවැත්වුනේ ගාල්ල පහල ඩික්සන් පාර ගුණරත්න මුදලින්දාරාම විහාරස්ථානයේදීය.

ඒ සඳහා බෞද්ධ, හින්දු, කිතුනු සහ ඉස්ලාම් යන ආගම්වලට අයත් ප්‍රදේශයේ ආගමික නායකයෝ ද එක්ව සිටියහ.

"ආගමික නායකයන් එක්ව පන්සලක නත්තල සැමරීම රටේ සියලු දෙනාටම ආදර්ශයක් බව විහාරාධිපති හිමි ශාස්ත්‍රපති රිදියගම විසුද්ධි හිමි එහිදී පැවසූහ.

බෞද්ධ විහාරස්ථානයක නත්තල් උත්සවයක් පැවැත්වීමට කටයුතු යෙදීම විශිෂ්ඨ කාර්යක් ලෙස හැඳින්වූ උන්වහන්සේ ඉන් ආගමික සංහිඳියාව වර්ධනය කෙරෙන බව කියා සිටියහ.

පසුගිය සෙනසුරාදා (දෙසැ 29) පැවති උත්සවය සංවිධානය කර තිබුනේ මානව හිමිකම් පුරවැසි සභාවේ ගාල්ල ශාඛාව විසිනි.

විහාරස්ථානයේ පැවති නත්තල් උත්සවයේ කැරෝල් ගීත ද ගායනා කරනු ලැබු අතර ආර්ථික අපහසුතා ඇති දරුවන්ට පොත්පත් ප්‍රදානයක් ද සිදුවිය.

උත්සවයට විහාරාධිපති හිමි ශාස්ත්‍රපති රිදියගම විසුද්ධි හිමි, ක්‍රිෂෝ පීරිස් ,ඩේමියන් අර්සකුලරත්න යන පියතුමන්ලා ද විග්නේෂ් ෂර්මා, ෆර්හාන් මවුලවි යන පූජකතුමන්ලා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

ඊට එක්ව සිටි දකුණු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නිතිඥ මාර්ෂල් පෙරේරා සහ මානව හිමිකම් පුරවැසි සභාවේ ගාල්ල ශාඛාවේ සභාපති ටෙරන්ස් සේරසිංහ එහිදී අදහස් දක්වමින් ඉදිරියටත් ජාතීන් සහ ආගම් අතර සංහිඳියාව පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වා දුන්හ.