රජයට අයත් උතුරේ තවත් ඉඩම් "නිදහස් කිරීමට පියවර", මුලතිව් විරෝධතාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් පරිදි හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙන උතුරු පළාතේ ඉඩම් අක්කර 1099 ක් නිදහස් කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසන අතරවාරයේ, මුලතිව් ආරක්ෂක අංශ සතුව පවතින සිය මුල් ඉඩම් නිදහස් නොකිරීමට විරුද්ධව මුලතිව් කේප්පාපිලව් ජනතාව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිරිපස විරෝධතාවක නිරතව සිටියහ.

යුද හමුදාව කියා සිටියේ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගනු ලබන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 1099 ක් එසේ නිදහස් කරන බවය.

යුද හමුදාව විසින් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පරිහරණය කරනු ලබන රජයේ සහ පුද්ගලික ඉඩම් ජාතික ආරක්‍ෂාවට කිසිදු හානියක් ඇති නොවන අයුරින් නිදහස් කිරීමේ ක්‍රියාවලියට අමතරව ඉහත කී ඉඩම් ද නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අදාළ ඉඩම් 2019 ජනවාරි මස දෙවැනි සතිය තුළ නිදහස් කිරීමට නියමිත බව ද නිවේදනයේ සඳහන් වේ.

මේ අතර විරෝධතාවට එක්ව සිටි මුලතිව් ජනතාව පැවසුවේ දෙසැම්බර් 31 වැනිදාට පෙර ආරක්ෂක අංශ සතුව පවතින නිදහස් කරන බවට රජය පොරොන්දු වුවත් අදාළ පොරොන්දු මේ දක්වා ඉටු නොවීම හේතුවෙන් උද්ඝෝෂණය සංවිධානය කළ බවය.

උතුරු පළාතේ ආරක්ෂක අංශ සතුව පවතින නිදහස් කළ හැකි ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මුලතිව්, කිලිනොච්චිය, යාපනය, වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රදේශ භාර ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජා කිහිපයක්ම පැවැත්වූහ.

අදාළ සාකච්ජාවන්ට එක් වූ උතුරු පළාත් දිස්ත්‍රික් ලේකම්වරුන් හා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැවසූවේ දෙසැම්බර් 31 වැනිදාට පෙර ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කිරීමට හැකි බවය.

එහෙත් අදාළ පොරොන්දු අනුව උතුරු පළාත තුළ සැළකිය යුතු ප්‍රමාණයක්වත් ඉඩම් නිදහස් නොකර ඇති බව විරෝධතාකරුවෝ පවසති.

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය ප්‍රධාන ගේට්ටුව අවහිර වන ආකාරයට විරෝධතාවය පැවති අතර, තත්වය පාලනය කිරීමට මුලතිව් පොලිස් නිළධාරීන් ද කැඳවනු ලැබිණ.

එහිදී විරෝධතාකරුවන් හමුවීමට පැමිණි මුලතිව් අති‍රේක දිස්ත්‍රික් ලේකම් කේ ධනබාලසුන්දරම්, මුලතිව් ආරක්ෂක අංශ සමග සාකච්ජා කොට විරෝධතාකරුවන් වෙත පොරොන්දු වූයේ ජනවාරි 25 වැනිදාට පෙර ආරක්ෂක අංශ සතුව පවතින මුලතිව් කේප්පාපිලව් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමට සූදානම් කරන බවය.

එසේ ජනවාරි 25 වැනිදාට පෙර සිය ඉඩම් නිදහස් නොකළහොත් බලහත්කාරයෙන් තමන්ගේ මුල් ඉඩම්වල පදිංචි වන බව විරෝධතාකරුවෝ කියා සිටියහ.

කේප්පාපිලව් ඉඩම් නිදහස් කරන ලෙසට කේප්පාපිලව් ජනතාව මේ වන විට දින 671 ක නිහඬ විරෝධතාවයක ද නිරත වී සිටිති.

නිදහස් කිරීමට යෝජිත ඉඩම්

Image copyright Getty Images

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනකරී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඉඩම් අක්කර 194 ක් සහ 285 ක් නිදහස් කිරීමට නියමිත බව යුද හමුදාව නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉඩම් අක්කර 120 ක් ද නිදහස් කිරීමට නියමිත ඉඩම් අතර තිබේ.

එමෙන්ම වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අක්කර 600 ක ඉඩමකින් අක්කර 500 ක් නිදහස් කිරීමට නියමිත බව ද ශ්‍රී ලංකා යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

යුද හමුදාව යටතේ පවතින සිය මුල් ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා උතුරේ වැසියෝ අවස්ථා කීපයකදී උපවාස කළහ.

ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාදාමයෙහිලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව ප්‍රබල ප්‍රගතියක් දක්වා තිබෙන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවක මහලේකම් බැන් කි මූන් 2016 වසරේදී පැවසීය.

යුද සමයේ උතුරු නැගෙනහිර ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් ආපසු ලබාදීම වේගවත් කරන ලෙස ද ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබිණි.

ආරක්ෂක හමුදාව විසින් උතුරේ කිසිදු ප්‍රදේශයක අලුතෙන් ඉඩම් අත්පත් කර නොගන්නා බව එවක ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි 2016 වසරේදී පැවසීය.