ජනපති "ඝාතන කුමන්ත්‍රණ" ගැන මාධ්‍ය සාකච්ඡා එපා! - අධිකරණයෙන් නාමල් කුමාරට නියෝග

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් පැවති බව පවසන නාමල් කුමාර නමැත්තාට එම සිද්ධිය පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් පලකිරීමෙන් වළකින ලෙස දන්වා අධිකරණය සිකුරාදා (ජනවාරි 04) තහනම් නියෝගයක් නිකුත් කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දන්වා සිටියේ නාමල් කුමාර නමැත්තා අදාළ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීම සිය විමර්ශනවලට බාධාවක් බවය.

අධිකරණය විසින් අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.

දූෂණ විරෝධී බලකාය නමැති සංවිධානයක් නියෝජනය කරන බව පවසන නාමල් කුමාර සැලසුම් කෙරුණු බව කියන ඝාතන කුමන්ත්‍රණ පිළිබඳ මුලින්ම හෙළිදරව් කළේ 2018 වසරේ සැප්තැම්බර් 12 වන දින මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමිනි.

ඉන් පසු විටින් විට නාමල් කුමාර නැමැත්තා මාධ්‍ය හමු පවත්වමින් අදාළ කරුණ පිළිබඳ විවිධ තොරතුරු මාධ්‍යයට ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් ඔහු ආරක්ෂක නිලධාරීන්ට සහ ඇතැම් දේශපාලනඥයන්ට ද චෝදනා එල්ල කළ අතර ඔහු අවසන්වරට මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණේ ජනවාරි 03 වෙනිදාය.

Image copyright The Hindu
Image caption මෙම පුවත ජාත්‍යන්තර ආන්දෝලනයක් ඇතිකළේ නාමල් කුමාරගේ හෙළිදරව්ව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළා යැයි කියන ප්‍රකාශයත් සමගය

මේ ගැනත් කියවන්න:

ජනවාරි 02 වෙනිදා අධිකරණයට කරුණු වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාමල් කුමාර 2009 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී පුහුණුව ලබන අතරවාරයේ පළා ගිය අයකු බවට කරුණු අනාවරණය වී ඇතැයි පැවසීය.

ඔහු නැවතත් 2011 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී පුහුණුව ලබන අතරවාරයේ පළා ගොස් තිබුණු බවට ද පරීක්ෂණවලදී අනාවරණය වී යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් දහයම සමත්ව ඇතැයි පවසමින් නාමල් කුමාර යුද හමුදාවට බැඳෙන අවස්ථාවේ ඉදිරිපත් කළ අධ්‍යාපන සහතිකය ව්‍යාජ එකක් බව පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇති අතර ඔහු සමත් වී ඇත්තේ විෂයයන් තුනක් පමණක් බවත් පොලීසිය එහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

නාමල් කුමාර නමැති පුද්ගලයා සහ ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ පරීක්ෂණයක් නොකරන්නේ ඇයි දැයි එහිදී මහේස්ත්‍රාත්වරයා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් පොලීසිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පවත්වන බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර