ජනපතිගේ මානසික තත්ත්වය සම්බන්ධ පෙත්සමෙන් "ජනාධිපතිවරයා පාර්ශවකරුවෙක් නොකිරීම විශාල අඩුවක්" - අතිරේක සොලිසිටර් ජනරාල්

Image copyright Getty Images

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මානසික තත්ත්වය පිළිබඳව පරික්ෂා කිරීමේ නඩු කටයුත්තක් අරඹන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරිණි.

සඳුදා (ජනවාරි 07) අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළ අභියාචනාධිකරණය, පෙත්සම ගොනු කළ පෙත්සම්කාරිය විසින් රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් රජය වෙත ගෙවිය යුතු බවට ද නියම කළේය.

කොළඹ -12 ප්‍රදේශයේ පදිංචි තක්ෂිලා ලක්මාලි ජයවර්ධන නමැති කාන්තාවක විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුණ ඔබේසේකර යන යන විනිසුරු මඩුල්ල හමුවේ සඳුදා සිදුකෙරිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විරෝධතා මතු කරමින් සඳහන් කළේ, පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයට බලයක් නොමැති බවය.

මේ ලිපිත් කියවන්න:

Image copyright Getty Images

මානසික රෝගී ආඥා පනත යටතේ යම් මානසික අාබාධයකින් පෙළෙන පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු තිබේ නම් එය මුලින් ම පොලිසිය වෙත පැමිණිලි කළ යුතු බව පෙන්වා දුන් සොලිස්ටර් ජෙනරාල්වරයා ඉන් අනතුරුව පොලිසිය පියවරක් නොගන්නේ නම් පමණක් අධිකරණය හමුවට ආ හැකි බව පෙන්වා දුන්නේය.

එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති පෙත්සම්කාරිය ජනාධිපතිවරයාට අපකීර්තියක් කිරීමේ අරමුණින් මෙම ව්‍යාජ පෙත්සම අභියාචන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන්නේය.

මෙම පෙත්සමේ පාර්ශවකරුවෙකු ලෙස ජනාධිපතිවරයා නම් කර නොමැති වීම විශාල අඩුවක් බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ තුළින් ජනාධිපතිවරයාට තම පාර්ශවය වෙනුවෙන් කරුණු කීමට තිබෙන අවස්ථාව අහිමි කර ඇති බවට ද චෝදනා කර සිටියේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණය හමුවේ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව ද පෙන්වා දුන්නේය.

ඒ අනුව පෙත්සම විභාග කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කරන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තවත් පුවත්:

Image copyright Getty Images

එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාගෙන් විමසා සිටියේ, මෙම කරුණ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ ද යන්නය.

ඊට ප්‍රතිචාර දක්වමින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ එවැනි පැමිණිල්ලක් තම සේවාදායිකාව පොලිසිය වෙත ඉදිරිපත් කර නොමැති බවය.

මානසික රෝගී ආඥා පනත යටතේ යම් මානසික රෝගියෙකු පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව මුලින් ම පොලිසිය හෝ ග්‍රාම නිලධාරිවරයා වෙත යොමු කළ යුතු බව පෙන්වා දුන් විනිසුරුවරු එම ක්‍රියාමාර්ගය පෙත්සම්කාරිය විසින් අනුගමනය කර නොමැති බවට ද චෝදනා කළහ.

පෙත්සම්කාරිය මූලික වශයෙන් ඉටු කළ යුතු නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය නොකොට මේ ආකාරයෙන් අධිකරණය හමුවට පැමිණ සිටීම අසම්පූර්ණ තත්ත්වයක් බව විනිසුරුවරු මෙහිදී පෙන්වා දුන්හ.

කිසිදු පදනමක් නොමැතිව මෙම පෙත්සම අධිකරණය හමුවේ ගොනු කිරීම නිසා රාජ්‍ය නායකයාට මෙන් ම රටට ද විශාල අගතියක් සිදුවී ඇති බව පැවසූ විනිසුරුවරුන්, පෙත්සම්කාරිය අනුගමනය කර තිබෙන අධිකරණ ක්‍රියාදාමය තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බව පෙන්වා දුන්හ.

ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළ විනිසුරු මඩුල්ල මෙහිදී පෙත්සම්කාරිය විසින් රජයට රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් ගෙවිය යුතු බවට ද වැඩිදුරටත් නියෝග කළහ.

තවදුරටත් කියවන්න:

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නඩු කටයුත්තක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන මෙන් ඉල්ලා පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් වුයේ පසුගිය දෙසැම්බර් 10 වන දිනය.

ජනාධිපතිවරයාගේ මානසික සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ඉහත කී පෙත්සම ඉදිරිපත් කෙරුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කොට, ඉන් සති කිහිපයකට පසුව පාර්ලිමේන්තුව ද විසුරුවා හැරීමෙන් අනතුරුවය.

තක්ෂිලා ලක්මාලි ජයවර්ධන ඉදිරිපත් කළ අදාළ පෙත්සමෙන් කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ තිබිණි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වෙනි වගන්තිය යටතේ අභියාචනාධිකරණය වෙත මන්ඩමුස් රිට් ආඥා පෙත්සමක් ගොනු කළ බව පෙත්සම්කර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සිසිර සිරිවර්ධන දෙසැම්බර් 10 වන දා පෙත්සම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පැවසීය.

කෙසේ වුවද, එකසත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, පෙත්සම්කාරිය ගොනු කර ඇති අදාළ පෙත්සම පදනම් විරහිත බව පවසමින් ජනවාරි 03 වන දා අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළේය. ඇය සත්‍ය කරුණු වසන් කරමින් එය ඉදිරිපත් කර ඇති බවට ද ලේකම් වරයා එමගින් චෝදනා කර තිබිණි.

එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වන වගන්තිය යටතේ මෙවැනි පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව මහින්ද අමරවීර මන්ත්‍රීවරයා සිය පෙත්සමෙන් පෙන්වා දී තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර