වැලිකඩ ඝාතන: "නියොමාල් රංගජීවගෙන් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලට තර්ජන"

වැලිකඩ බන්ධනාගාර සිරකරුවන් ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව එම නඩුවේ සාක්ෂිකරුවෙකු වන මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල වෙත තර්ජන එල්ල කර ඇති බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ පැමිණිල්ල අඟහරුවාදා (ජනවාරි 08) කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් ඉහත කී කරුණු වාර්තා කිරීම සිදු කරනු ලැබිණි.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ දී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කෙරිණි.

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල වැලිකඩ සිරකරුවන් ඝාතන නඩුවේ සාක්ෂිකරුවකු අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගවේෂණාත්මක වාර්තා ගණනාවක් ලියා පළ කළ මාධ්‍යවේදියකු බව ද නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදා හැර සිටින ප්‍රධාන සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මාධ්‍යවේදී පුස්සෙවෙල බියගන්වන ආකාරයේ ප්‍රකාශ ගණනාවක් සිය ෆේස් බුක් පිටුව ඔස්සේ පළ කර ඇති බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා අධිකරණය හමුවේ කියා සිටියේය.

"සැකකාර නියොමාල් රංගජීව තම ෆේස්බුක් පිටුවේ මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල ගේ ඡායාරූප පළ කරමින් තර්ජනාත්මක විය හැකි ප්‍රකාශ ගණනාවක් පළ කර තිබෙනවා. කසුන් පුස්සෙවෙල NGO කාරයෙකු ලෙස ඔහු එහිදී හඳුන්වා දී තිබෙනවා. අදාල මාධ්‍යවේදියා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ මුදල් ලබාගෙන ලියන පුද්ගලයෙකු වශයෙනුත් එම ෆේස්බුක් පිටුවේ ප්‍රකාශ පළ කර තිබෙනවා," යනුවෙන් ඔහු සඳහන් කළේය.

නියොමාල් රංගජීව අදාළ මාධ්‍යවේදියා හා සම්බන්ධ එවැනි ප්‍රකාශ කීපවතාවක් ම පළ කර ඇතැයි සඳහන් කළ නීතිඥ සේනක පෙරේරා ඒ තුළින් සාක්ෂිකරුවෙකු වශයෙන් අදාළ මාධ්‍යවේදියාට තර්ජනයක් එල්ල වී තිබෙන බව අධිකරණය හමුවේ කියා සිටියේය.

තවදුරටත් කියවන්න:

Image copyright Getty/ ISHARA S.KODIKARA

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල ඒ සම්බන්ධයෙන් රහස් පොලිසියට මෙන්ම වින්දිතයන් සුරැකීමේ පොලිස් කොට්ඨාසයට ද පැමිණිලි කර ඇති බව නීතිඥවරයා සඳහන් කළේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර රහස් පොලිසියට නියම කර සිටියේ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබේ නම් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වා අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙසය.

සිරකරුවන් ඝාතනය පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරමින් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවය.

පරීක්ෂණයට අදාලව රහස් පොලිසිය භාරයට ගෙන රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇති ගිනිඅවි සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව ද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සිරකරුවන් ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ලමාහේවා ජනවාරි 22 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරයා විසින් රහස් පොලීසියට නියෝග කරනු ලැබීය.

පැවති ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව යටතේ පත් කරන ලද කමිටු විසින් රැඳවියන්ගේ මරණ සම්බන්ධයෙන් ලබා දෙන ලද වාර්තා ප්‍රසිද්ධියට පත් කරන්නැයි නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල, 2016 වසරේදී ජාතික මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ද ඉදිරිපත් කර තිබිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර