"විපක්‍ෂ නායකවරයා මහින්ද රාජපක්‍ෂ" බව කතානායක පාර්ලිමේන්තුවට නැවත දැනුම් දෙයි

Image copyright Getty Images

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා ලෙසින් පිළිගන්නා බව කතානායක කරු ජයසූරිය අඟහරුවාදා (ජනවාරි 08) පාර්ලිමේන්තුවට නැවත දැනුම් දුන්නේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්ව විරුද්ධ පක්ෂයේ අසුන් ගැනීමෙන් පාර්ලිමේන්තුවේ සිදුවූ බල තුලනයත් සමග එතෙක් විපක්ෂනායක ධුරය දැරූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර් සම්බන්ධන් වෙනුවට විපක්ෂයේ බහුතර මන්ත්‍රී කණ්ඩායම වන එක්සත් ජනතා නිදහස් සන්ධානය යෝජනා කළ මහින්ද රාජපක්ෂ පත්කිරීමට කතානායක කරු ජයසූරිය තීරණය කළේය.

එම තීරණයට දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ කළ අතර ඔවුන් පැවසුවේ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන මාසයකට වැඩි කලක් ගත වී ඇති බැවින් ඔහු තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන බවය.

තවදුරටත් කියවන්න:

Image copyright Facebook/MR

එක්සත් ජනතා නිදහස් සන්ධානය එය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ මහින්ද රාජපක්ෂ තම සන්ධානයේ සාමාජිකයෙකු බැවින් ඒ ගැන ගැටළුවක් පැන නොනගින බවය.

කෙසේ නමුත් (දෙසැම්බර් 19) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා තමන් තවදුරටත් විපක්ෂනායක පදවිය දරන බව පැවසූ අතර ඒ සමගම රට තුළ විපක්ෂනායකවරුන් දෙදෙනෙකු සිටින තත්වයක් ඇති විය.

මේ ගැන අඟහරුවාදා (ජනවාරි 08) දින පාර්ලිමේන්තුවේ විශේෂ නිවේදනයක් කරමින් කතානායකවරයා පැවසුවේ මහින්ද රාජපක්ෂ විපක්ෂනායකවරයා ලෙස තමන් පිළිගන්නා බවය.

කතානායකවරයාගේ තීරණය නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය හා එම මන්ත්‍රී ධුරය දැරීම වැනි කරුණු නිශ්චය කිරීම අධිකරණය සතු කරුණක් බව ද කතානායකවරයා සිය තීරණය ප්‍රකාශ කරමින් පවසා තිබේ.

එසේම මෙම කාරණය සොයාබැලීමට තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් කළ ඉල්ලීම ද කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

"පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර මන්ත්‍රී කණ්ඩායම විසින් එහි සුළුතරය නියෝජනය කරන කණ්ඩායමක අභ්‍යන්තර කටයුතු පරික්ෂා කිරීම සඳහා වන යෝජනාවක් පිළිගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදායටත්, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලටත් එකඟ නොවන සහ පටහැනිවේ," යනුවෙන් කතානායකවරයා ඊට හේතු දක්වා තිබුණි.

කතානායකවරයාගේ මෙම තීරණය ගැන ට්විටර් පණිවුඩයක් මාර්ගයෙන් ප්‍රතිචාර දක්වන දෙමළ ජාතික සන්ධානය පවසන්නේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ නායකයා වන අතරම ඔහු එක්සත් ජනතා නිදහස් සංධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ද වන බැවින් ඔහුගේ පක්ෂයේම සාමාජිකයෙකු බව පැවසෙන මහින්ද රාජපක්ෂ විපක්ෂනායක පදවියට පත්කරමින් ජනාධිපතිවරයා එකවර ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකත්වය දරන්නේ කෙසේ දැයි පාර්ලිමේන්තුව ප්‍රශ්න කළ යුතු බවය.

කෙසේ වුවත් 2002 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනිය රනිල් වික්‍රමසිංහ අගමැති පදවිය දැරූ ආණ්ඩුවේ නායකත්වය දරන අතරවාරයේ, ඇයගේම පක්ෂය නියෝජනය කළ මහින්ද රාජපක්ෂ විපක්ෂනායක පදවිය දැරූ බව ට්විටර් ග්‍රාහකයෙක් එයට ප්‍රතිචාර වශයෙන් පෙන්වා දී තිබුණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ සතිය තුළ විපක්ෂනායක කාර්යාලය තුළ සිය රාජකාරි ආරම්භ කිරීමට නියමිත බව එම පාර්ශවය පවසයි.

මේ අතර ආණ්ඩුකාර තනතුරකට පත්වීම නිසා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් හිස්බුල්ලා වෙනුවට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර