වැලිසර නාවික හමුදා 'චරිත ශෝධනාගාරය': "වාර්තාව අනුව පියවර ගන්නවා" - ආරක්ෂක ලේකම්

වැලිසර ගැමුණු නාවික හමුදා කඳවුරේ පවත්වාගෙන යන සිර කඳවුරක් පිළිබඳ බීබීසී සිංහල සේවය ජනවාරි 08 වන දා හෙළිදරව් කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන් එම සිර කඳවුර මෙන් ම ශ්‍රී ලංකාවේ තවත් ස්ථානවල ඇති එවැනි ම හෝ ඊට වඩා "කනගාටුදායක මට්ටමේ" සිර කඳවුරු පිළිබඳ තොරතුරු බීබීසී වෙත වාර්තා විය.

කෙසේ වුව ද, ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පවසන පරිදි වැලිසර පිහිටුවා ඇත්තේ 'චරිත ශෝධනාගාරයකි'. විනය ඇතුළු විවිධ හේතු නිසා නාවික හමුදා කොන්දේසි කඩ කළ පුද්ගලයන් 70 ක් පමණ එහි රඳවා ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එසේම, නාවික හමුදා අණපනත්වලට අනුව මෙම රැඳවුම් මධ්‍යස්ථානය පවත්වාගෙන යන බව ඔහු බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

මේ අතර, බීබීසී සිංහල සේවය කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, නාවික හමුදාපතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවට ජනවාරි 10 වන දින මාධ්‍ය වාර්තා පළ විය.

ඒ බව බීබීසී සිංහල සේවයට තහවුරු කළ ආරක්‍ෂක ලේකම්වරයා, කඳවුර තුළ "අවශ්‍ය පහසුකම්" සපයා ඇති බව පැවසීය. අදාළ වාර්තාව අපේක්‍ෂාවෙන් සිටින අතර ඒ අනුව සුදුසු පියවර ගන්නා බව ද ඔහු පැවසීය.

කියවන්න:

කෙසේ වුව ද, බීබීසී සිංහල සේවය හෙළි කළ පුවතට ප්‍රතිචාර දක්වමින්, බීබීසී සිංහල ෆේස්බුක් අඩවියේ අදහස් දැක්වූ තැනැත්තෙක්;

"වැලිසර නාවික හමුදා කදවුරේ මේ කතාව ඇත්ත. මොක ද මගෙ අයිය හිටිය ඔය කියන සිර මැදිරියෙ. එළියට එද්දි ආවේ සමේ රෝගයකුත් හදාගෙන. රෑට වැසිකිළි පහසුකමක්වත් නෑ. කූඩුවෙන් එළියට බටයක් දාල තියනව ලු මුත්‍රා කරන්න...." යනුවෙන් සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය නැවත ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වෙතින් විමසන ලද අතර, එම තොරතුරු "දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරනවා" යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූ ලුතිනන් කමාන්ඩර් සුරියබණ්ඩාර, "වැලිසර රැඳවුම් කඳවුරේ රැඳවියන්ට අවශ්‍ය තරම් වැසිකිළි සහ ස්නානය කිරීමේ පහසුකම් නාවික හමුදාව ලබා දී ඇත," යනුවෙන් සඳහන් කළේය.

"ලොකු පුටු දන්නෑ ඇතුත මොකද වෙන්නෙ කියල"

"සිර කදවුරේ සිටින සිරකරුවන්ගේ නීතිමය කටයුතු කරන්නේ ඉතාමත් මන්දගාමීව. මගෙ අයිය වැලිකඩ හිර ගෙදරට යැවීමට කටයුතු කළා ඔය නාවික හමුදාව. ඒ මිනී මරල හොරකම් කරල කාන්තාවන් දූෂණය කරල නෙවෙයි. සේවයට නොයෑම නිසා. නාවික හමුදාවට වරදක් කියන් නෑ. ඒත් එහි නීති, එහි ඉන්න සමහරක් නිලධාරීන් වෙනස් වෙන්න ඕන," යනුවෙන් බීබීසී සිංහල ෆේස්බුක් අඩවියේ අපගේ මුල් පුවතට අදහස් දැක්වූ තවත් පුද්ගලයෙකු පවසා තිබිණි.

තවත් පුවත්:

"පමාවෙන" නීති කටයුතු

නාවික හමුදාවේ සේවය කරමින් සිටියදී නොදන්වා සේවය හැර ගිය සම්පත් ප්‍රදීප් නම් තැනැත්තෙක් බීබීසී සිංහල සේවය අමතන ලද අතර, තමන් මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බවත්, වරදක් කළ බැවින් එසේ සිර කර තැබීම පිළිබඳව චෝදනා නොකරන නමුත්, වැලිකඩ රක්‍ෂිත බන්ධනාගාරය වෙත යවනු ලැබීම කිරීම පිළිබඳව චෝදනාත්මක මුඛයෙන් අදහස් පළ කළේය.

"ඇබ්සන්ට් වෙලා හිටිය වසරකට මාසයක් බැගින්, මාස තුනකට මාව අච්චු කළා."

තමන් නාවික හමුදා නීතිය කඩ කිරීම හැර වෙනත් කිසිදු "අපරාධ වරදක්" සිදු කර නොමැති තත්ත්වයකදී වැලිකඩ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම, තමන්ට කළ අසාධාරණයක් බව සම්පත් ප්‍රදීප් ප්‍රකාශ කළේය.

තමන් මාස 5 කට පසුව නිදහස ලබා සමාජයට එන විට "සියල්ල" අහිමි වී තිබූ බවත්, සොරකම් නොකළේ ලැජ්ජාව නිසා බවත් ඔහු පවසයි.

හමුදා නීතියට අනුව වරද කළ පුද්ගලයන් සමාජයට මුදා හැරීමේදී ඔවුන් ඉන් අනතුරුව ජීවිතය ගොඩ නගා ගැනීම සඳහා යමක් කළ යුතුව ඇති බව නාවික හමුදාව "නොසලකා හරින" බව මෙම පුවත මුලින්ම බීබීසී සිංහල සේවයට අනාවරණය කළ (නම හෙළි කිරීමට අකමැති) තැනැත්තා පැවසීය.

නාවික ඉංජිනේරු පාඨමාලාව තමන්ට සුදුසු අංශය නොවන බැවින් අතරමගදී අත්හැරීම තමන් කළ එක ම වරද බවත්, ඉන් අනතුරුව පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරමින් සිටි තමන්ව අත්අඩංගුවට ගෙන සිරගත කිරීම හේතුවෙන් තමන්ට සියල්ල අහිමි වූ බවත්, අවම වශයෙන් වන්දි මුදල ගෙවීම සඳහා රැකියාවට යාමට අවස්ථාව ලබා නොදුන් බවත් ප්‍රකාශ කළේය.

Image caption අදාළ පුවත පළ කිරීම සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් බීබීසී වෙත ද චෝදනා කර තිබිණි

බීබීසී ෆේස්බුක් පිටුවේ අදහස් පළ කළ තවත් පුද්ගලයෙක්; "මං කියන්නෑ බබාලන්තෙ තියන්න කියල. හමුදාවක් තුළ වරදක් කළා ම දඬුවමක් දෙන්න. ඒ දඬුවම මගින් මිනිසෙක් යහපත් මිනිසෙක් කරන්න. නැතුව ඒ මිනිහට මුළුමහත් සමාජය පිළිබඳව වෛරයක් ඇති කරන් නැතුව," යනුවෙන් පවසයි.

"අනික legal department එකෙන් වෙන නීතිමය කටයුතු කඩිනම් වෙන්න ඕනි. මොකද සෙල් 1 ඇතුළේ තියන බෝධීන්වහන්සේට වැඳලා සාධාරණය ඉල්ලන්නෙ නැතුව, කූඩුවෙ කම්බි ළඟට ඇවිත් මගෙ warrant 1 ආව ද කිය කිය එතන ඉන්න හැම එකාගෙන් ම අහ අහ දුක් විඳිනවට වඩා, නීතිමය කටයුතු ඉක්මන් වෙන්න ඕනි."

මෙම ගවේෂණය සිදුවෙමින් පැවති පසුගිය දෙසැම්බර් මාසයේදී, අදාළ කඳවුරේ රඳවා සිටි රැඳවියෙකුගේ දෙමාපියන් සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි වූ අතර, නාවික ඉංජිනේරු පාඨමාලාවක් අතරමග අත්හැර පැමිණි හේතුව මත තමන්ගේ දරුවා අත්අඩංගුවට ගෙන මාසයක් ඉක්මවා ඇති බවත්, ඒ වෙනුවෙන් රුපියල් 1,322,000 ක් ගෙවන ලෙස නියම කර ඇති බවත් ඔවුහු පැවසූහ.

"ගේ උකස් කරලා සල්ලි හොයා ගත්තා. දැනුත් ඒකට අපි කොළඹ ඇවිත් ඉන්නේ. ෆයිල් එක තාම ඇවිල්ල නෑ කියනවා," යනුවෙන් රැඳවියාගේ මව පැවසුවාය.

"දරුවෙක් මෙහෙම දුක් විඳිනවා බලන් ඉන්නේ කොහොම ද මහත්තයෝ?," ඇය ප්‍රශ්න කළාය.

තම දරුවා පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් සිටි බවත්, අදාළ මුදල ගෙවීමට පහසු ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නේ නම් තමන්ගේ නිවස උකසට තබන්නට සිදු නොවන බව රැඳවියාගේ පියා පැවසීය.

Image copyright Facebook
Image caption ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සහ නීතීඥ අචලා සෙනෙවිරත්න

කෙසේ වෙතත්, බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර වෙතින් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී, හමුදා අධිකරණ ක්‍රියාවලිය, දඬුවම් සහ සිරගත කිරීමේ ක්‍රියාවලිය නාවික හමුදා පනතට අනුව ක්‍රියාත්මක කරන බව පමණක් ප්‍රකාශ කර තිබේ.

නමුත්, තමන්ගේ හෝ තම ඥාතියාගේ මානව හිමිකම් කඩවන්නේයැයි යමෙක් විශ්වාස කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්‍රී ලංකාව තුළ ආයතන රාශියක් ඇති බව මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට මිට පෙර අවස්ථාවේදී අදහස් දක්වමින් නීතීඥ අචලා සෙනෙවිරත්න පැවසුවාය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර