ශ්‍රී ලංකාවේ "කළු මාධ්‍ය": මාධ්‍ය අයිතිකරුවන්, දේශපාලනය, මාධ්‍යවේදීන්, පුරවැසි විරෝධතා සහ ආචාරධර්ම

Image caption "ඇත්ත කතා කරන්න දේශපාලන පක්ෂයක් අවශ්‍ය නැහැ."

"කාලෙක ඉඳලා රූපවාහිනී ප්‍රවෘත්ති මේ රටේ සෑම අංශයකම ඇති පිරිහීම ප්‍රකට කරවනවා. කිසිදු දේශපාලන කණ්නාඩියක් නැතිව මා කියන දේ ගැන හිතා බලන්න. ඉස්සර රූපවාහිනී නැති කාලේ සිරිල් රාජපක්ෂලා, ඩී එස් දයාරත්නලා, බර්ටි ගලහිටියාවලා ප්‍රවෘත්ති කියන කාලේ ප්‍රවෘත්ති කියන්නෙත් යම් අධ්‍යාපනික විවරණයක් !

ලංකාවෙ, ලෝකෙ සිද්ධ වෙන වැදගත්, කාලීන දේ බුද්ධිමත්, හරවත් විදියට ස්වාධීනව ඉදිරිපත් වුණා !

ඉරිදා සංග්‍රහය, සඳැල්ල, යෞවන සමාජය, සිතිජය, බටහිර වෛද්‍ය සාකච්ඡාව, ගීයක රස, ගුවන් විදුලි රඟමඬල, විශ්ව සාහිත්‍යයෙන්, විද්‍යා දර්ශන, ගුරු කුලය, කණිටු සරසවිය .....! මොන තරමක් තව වැඩ සටහන් වලින් අප ජීවිත අර්ථවත් උනාද?

රුපවාහිනී ප්‍රවෘත්ති පටන් ගත්ත වෙලාවෙ ඉඳල ඔබ බලන්න පෙන්නන්නෙ මොනවද කියල?

මන්තරේ ජප කරන්න වගේ දේශපාලනඥයන්ගෙන් එකම ප්‍රශ්නෙ? බොහෝ විට ගමේ වහරින් "අග්ගිස්සවන්න"

විපක්ෂයෙන් ආ අයට ඇමතිකම් නොදුන්නම ඒ අයට අප්සෙට්ද ?

කැබිනට් ඇමැතිකම නැතිවීම ගැන ?

අරයා මෙහෙම කියා තියෙනව, ඔයා ඒකට දෙන උත්තරේ ?

පක්ෂෙ ඇතුලෙ ඝට්ටන නේද ?

මේ කිසිම ප්‍රශ්නයක් අපේ රටේ බහුතරයට අදාළ නොවේ. මේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ ටික හැමදාම මස්තබාල්දුවන් සමගය. ප්‍රවෘත්ති බලා ඉවර වූ විට ලියුකීමියා තත්ත්වයට ලේ වතුර වේ.

ඊනියා දේශපාලකයන් වීරයන් කරමින්, සාර ධර්ම සෝදා පාලුවකට යවමින් නිර්දය ලෙස නාලිකා කරන මේ ඕපාදූප ප්‍රවෘත්ති වලට එරෙහිව හඬක් නැගිය යුතුය .

සැබවින්ම මට හිතෙන දේ සහ කිවයුතු දෙයින් අල්ප ප්‍රමාණයකි මේ රෑ ඇමිණුවේ. අපේ දරුවන් ගැන ඇතිවන ශෝකය , ඔවුන්ට ආදර්ශයට ලැබෙන කරුමක්කාර දේශපාලන වහුකුණු, ලජ්ජා භය නිල වශයෙන් උගුල්ලා දැමීමේ අවස්ථා ආදී දේ විස්සෝපී වේ.

මුළු රටේම පිරිහීම ප්‍රවෘත්තිවලින් නියෝජන වේ."

ඉහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ගේය පද රචක සහ කලා විචාරක බන්ධුල නානායක්කාරවසම් පසුගිය දිනක සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පුවත්පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනී පුවත් විකාශයන්හි වැඩි ඉඩක් හිමි වන්නේ දේශපාලනඥයන් සඳහාය.

කියවන්න:

Image caption ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව ඉදිරිපිට විරෝධතාව පැවති අවස්තාව

රජයට සහ පෞද්ගලික අංශයට අයත් මාධ්‍ය ආයතන දේශපාලනඥයන්ගේ හෝ ඒවායේ අයිතිකරුවන්ගේ දේශපාලන සහ ව්‍යාපාරික උවමනා මත මාධ්‍ය හසුරුවන බවට චෝදනා එල්ල වෙමින් තිබේ.

එමෙන්ම, සිය දේශපාලන මතවාදය ජනගත කරනු වස් මාධ්‍ය ආචාරධර්ම (Media Ethics) කඩ කරමින් ජාතිවාදය වපුරුවන පුවත් වාර්තා කරන බවට ඇතැම් මාධ්‍යවේදීන් ද චෝදනාවට ලක්වේ.

සිවිල් සංවිධාන ගණනාවක සහභාගිත්වයෙන් රජයේ සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ගණනාවක් ඉදිරිපිට බ්‍රහස්පතින්දා (ජනවාරි 10) විරෝධතා පැවැත්වුනේ මෙවැනි වටපිටාවකදීය.

පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා සිට දින 51 ක කාලයක් පැවති අර්බුදකාරී දේශපාලන වාතාවරණය හමුවේ ජනමාධ්‍යවල හැසිරීම ඉහත කී විරෝධතාව සඳහා හේතු වූ බව ඊට එක්වූ සිවිල් සංවිධාන පවසති.

විශේෂයෙන් ම "ජනතා දේපලක් වන විද්‍යුත් සංඛ්‍යාත භුක්ති විඳිමින් සහ ඒ ඔස්සේ ලාභ ලබමින් අවිචාරී මාධ්‍ය භාවිතයක යෙදෙන" බවට විරෝධතාවට එක් වූ සිවිල් සංවිධාන මාධ්‍ය ආයතන හිමිකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට චෝදනා කරති.

ඊට එක් වූ අලුත් පියාපත්, අලුත් පරපුර, මාරුතයේ හඬ, දිදුලන හදවත, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, සාධු ජනරාව, නැගී සිටිමු ශ්‍රී ලංකා, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥවරු ඇතුළු සිවිල් සංවිධාන මාධ්‍ය ආයතන වෙත ලිපියක් භාර දුන්හ.

"සෑම කතාවකටම දෙපැත්තක්"

"මාධ්‍ය මුදලාලිකරණය වීම හරහා එළිබසින, ඔබලාගේ දේශපාලන හා ආර්ථික අභිලාශයන් පිහිටා ඇත්තේ, 'ජනමාධ්‍ය ස්වාධීන විය යුතුය' යන මහජන අපේක්ෂාවට එපිටින් බව රහසක් නොවේ. එහෙත් එම අභිලාශ ඔබගේ මෙන්ම තවත් කීප දෙනෙකුගේ පටු අභිලාශයන් මිස සමස්ත මහජනතාවගේ කැමැත්ත හෝ අවශ්‍යතාවය නොවන බව මතක් කිරීමට කැමැත්තෙමු. සෑම කතාවකටම අවම වශයෙන් දෙපැත්තක් ඇත. මෙම දෙපැත්තටම අදාළ කරුණු සන්නිවේදනය කිරීමට නොහැකි වුවද, අපක්ෂපාතී හා සාධාරණ ලෙස එම කතාවට අදාළ සන්දර්භය එළි කිරීම ඔබගේ වගකීමකි.

විවිධ ආණ්ඩු මගින් ක්‍රියාත්මක කරන ලද වර්ගවාදී සහ ජාතිවාදී ක්‍රියාකලාපවල ප්‍රතිඵලයක් ලෙස, රටට අත්පත් කර දුන් තිස් වසරක සිවිල් යුද්ධයෙන් අප සැවොම හෙම්බත්ව ඇත. එම ක්‍රියාවලිය විසින් හා දේශපාලන ක්‍රියාවල අත්තනෝමතිකත්වය විසින් ජාතිවාදය වපුරා ඇති බිමක, තවදුරටත් මේ රට එම දිශාවට රැගෙන නොයාමට ඔබට විශාල වගකීමක් ඇත," යනුවෙන් එම ලිපියේ දැක්වේ.

තවත් පුවත්:

"වගකීම් විරහිත මාධ්‍යකරණය" ශ්‍රී ලංකාවේ කලක පටන් සිදුවුව ද "පසුගිය මාස කීපය තුළ එය ඉතාමත් විවෘතව සිදුවන ආකාරය" දැකගත හැකි වූ බව තරුණ කලාකාරිනියක වන සමනලී ෆොන්සේකා සඳහන් කළාය.

"එකී තත්ත්වය අනුමත නොකරන ජනතාව සමග එක්වෙමින්" ඊට එරෙහිව හඬ නැගීම සිය අරමුණ බව ඇය කියා සිටී.

විරෝධතාවට එක්වන අතරතුර බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ ඇය වැඩිදුරටත් සඳහන් කළේ, "ශ්‍රී ලංකාවේ බහුතර මාධ්‍ය ආයතන මුදලට විකිණෙන," බවය.

සිය ආයතන ඉදිරිපිට පැවති විරෝධතා, රූපවාහිනී සහ සමාජ ජාල ඔස්සේ විකාශය කළ ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන මෙම තත්ත්වය "මාධ්‍ය මර්දනයේ පළමු පියවර විය හැකි," බවට අනතුරු ඇඟවීය.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන සමනලී ෆොන්සේකා ඉහත කී විරෝධතා මගින් "කිසිදු ආකාරයේ බලහත්කාරකමක් හෝ බලපෑමක් සිදු වුනේ නැහැ. පුවත් මවන්න අවශ්‍ය නැහැ. මේ විරෝධය පිළිගන්න. ලිපියක් භාර දීම පමණයි සිදු වුණේ," යනුවෙන් කියා සිටියාය.

විරෝධතාවට එක්වූ ප්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනී සෙනවිරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් ඇතුළු පිරිස මෙවැනි පියවරකට යොමු වූයේ "සමාජ අසාධාරණයට එරෙහිව මිස කිසිදු දේශපාලන පක්ෂයක උවමනාවට නොවන," බවය.

"ඇත්ත කතා කරන්න දේශපාලන පක්ෂයක් අවශ්‍ය නැහැ. අපිට, අපේ දරුවන්ට වෙන අසාධාරණය, මේ චැනල් මේ කරන විනාශය, රටක් වශයෙන් සිදුවන මෝඩ බොළඳ මිත්‍යා දෘෂ්ටික සමාජයක් බිහිවෙන එක වළක්වන්න, මේ වෙනුවන් බිඳක් හරි උදව් කරන්නයි අපි ඉදිරිපත් වුනේ," ඇය කියා සිටියාය.

"මේ මොහොතේත් ඔවුන් ඔබලා අන්දවනවා. අපි මේ කරන දේ වැරදි විදිහට ප්‍රචාරය කරලා ඔවුන් ඔබව අන්දනවා, රැවටෙන්න එපා."

තවත් පුවත්:

පුරවැසි අයිතිය

රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා විකාශනය කෙරෙන විද්‍යුත් සංඛ්‍යාත රජයේ දේපලකි. මහජනතාව සහ රටේ උන්නතිය උදෙසා එය කළමනාකරණය කිරීමේ වගකීම පැවරෙන්නේ පවතින ආණ්ඩුවටය.

නමුත් අදාළ නිර්ණායක සම්පූර්ණ කරන තාක්ෂණික සහ මූල්‍ය සම්පත් ඇති සියලු දෙනාටම සංඛ්‍යාත නොලැබෙන බව සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසයි.

"විවිධ දේශපාලන හිතවත්කම් මත සංඛ්‍යාත නිකුත් කර ඒ මත පවත්වාගෙන යන එෆ්එම් රේඩියෝ නාලිකා තියෙනවා පනහකට වැඩිය. 2017 වනවිට රජයේ ගුවන් විදුලිය ඇතුළුව රේඩියෝ ආයතන හිමි සමාගම් 16 ක් තිබුණා," යනුවෙන් ඔහු බීබීසී සිංහල සේවය සමග විස්තර කළේය.

"ඒ වගේම සාමාන්‍ය ඇන්ටනාවකින් නොමිලේ හසුකර ගත හැකි රූපවාහිනී නාලිකා 18 ක් පමණ තිබෙනවා. රූපවාහිනී සංස්ථාව සහ අයිටීඑන් ශ්‍රී ලංකා ඇතුළුව සමාගම් දොළහක් තිබුනා."

"මේ සියල්ල පවත්වාගෙන යන්නේ මහජන දේපලක් වන විද්‍යුත් සංඛ්‍යාත භාවිත කරමින්."

ඉහත කී රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා විසින් "අමු අමුවේ පක්ෂග්‍රාහී පුවත් බෙදන බව," මහජනයාගෙන් යම් කොටසකට තේරුම් ගොස් ඇති බව ඔහුගේ අදහසය.

Image copyright facebook
Image caption සමනලී ෆොන්සේකා, බන්ධුල නානායක්කාරවසම්, ආචාර්ය රංග කලන්සූරිය සහ නාලක ගුණවර්ධන

නමුත් විකාශ සහ ගුවන් කාලය සම්බන්ධයෙන් පුරවැසියාට යම්කිසි අයිතියක් ඇති බව ශ්‍රී ලංකාවේ බහුතරයකට අවබෝධ වී නැති බව සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පෙන්වා දුන්නේ උදාහරණයක් ගෙනහැර දක්වමිනි.

"අපි හිතමු පුරවැසියෙක් මහපාරට බැහැලා බස් නැවතුමක ඉන්නවා. එතකොට මුලින්ම එනවා රජයට අයත් ලංගම බස් රථයක්. පුරවැසියා ඊට ගොඩවෙන්න හදනකොට කොන්දොස්තර කියනවා 'අපි ගෙනියන්නේ ආණ්ඩුවට පක්ෂ අය විතරයි කියලා. මේකෙන් පුරවැසියා වික්ෂිප්ත වෙලා බසයට නගින්නේ නැතිව බලා ඉන්නවා,"

"ඊළඟට එකින් එක එන්නේ පෞද්ගලික බස්. හැබැයි ඒවට හැමෝම නග්ගගන්නේ නැහැ. එක බස් එකකින් කියනවා 'අපි ගන්නේ අහවල් පක්ෂයේ සපෝටර්ස්ලා කියලා', තව බස් එකක් එනවා ඒක කියනවා අපි ගනුදෙනු කරන්නේ 'අහවල් කුලේ උදවිය' එක්ක විතරයි කියලා."

"පුරවැසියා මේ වෙනකොට හොඳටම හෙම්බත් වෙලා. එයා අහනවා එහෙම කොහොමද කියලා. එතකොට කොන්දොස්තර කියනවා 'මේවා අපේ වාහන, මේවා අපේ ඩීසල් අපි ගෙනියන්නේ අපිට කැමති උදවිය විතරයි,' කියලා."

ඉහත කී තත්ත්වයට සමාන තත්ත්වයක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සම්බන්ධයෙන් පවතින බව සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධනගේ අදහසය.

"සංඛ්‍යාත කියන්නේ මහජන දේපලක්. හරියට මහාමාර්ග වගේ. රජයෙන් නඩත්තු කරන මහා මාර්ගවල රජයෙන් බලපත්‍ර ලබා ගෙන ගමන් කරන බස් හිමියන්ට බැහැ තමන් තෝරා ගත් පිරිසකට විතරක් සේවය සපයන්න. එසේ කළොත් එය නීති විරෝධීයි."

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හැරුණු කොට 'ප්‍රජාතන්ත්‍රවාදයේ මුරපල්ලා' ලෙස හැඳින්වෙන මාධ්‍ය ඇත්ත වශයෙන්ම පිරිහීමකට ලක්ව තිබේද?

දේශපාලන සහ ව්‍යාපාරික අවශ්‍යතා මත ක්‍රියාත්මක වන බවට චෝදනා ලබන මාධ්‍ය ආයතනවල සේවයේ නිරත මාධ්‍යවේදීන් ආචාරධර්ම සම්බන්ධයෙන් දැනුවත් නැතිද?

මාධ්‍යවේදියකුගේ ඇසින්

බීබීසී සිංහල සේවය ඒ සම්බන්ධයෙන් තරුණ මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් කීප දෙනෙකුගෙන් විමසීමක් කළ අතර ඔවුන් සියලු දෙනාගේම මතය වූයේ, තමන් ආචාරධර්ම සම්බන්ධයෙන් දැනුවත් වුවත් ආයතනයේ අවශ්‍යතාව අනුව තමන්ට කටයුතු කිරීමට බලකෙරෙන බවය.

"වැඩ කරන කොට ඒ ආයතනයේ තිබෙන න්‍යාය පත්‍රයට තමයි වැඩ කරන්න වෙන්නේ. බොහෝ විට තමන් විශ්වාස කරන ආචාරධර්මවලට අනුව වැඩ කරන්න බැහැ. සීමා ඇතුලේ රැකියාව කරන්න සිද්ධ වෙනවා," යනුවෙන් පෞද්ගලික රූපවාහිනී ආයතනයක ප්‍රවෘත්ති මැදිරියේ සේවයේ නිරත මාධ්‍යවේදියෙකු බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

"පළමුවර මාධ්‍ය ආයතනයක වැඩට එන, ආචාරධර්ම සහ ජනමාධ්‍ය ගැන අධ්‍යාපනයක් සහිත මාධ්‍යවේදියෙකුට ඒ පීඩනය දැනෙනවා. නමුත් කාලයක් යද්දී ඒ සමාජ ක්‍රමය සහ ක්ෂේත්‍රය විසින් මේ පවතින ක්‍රමයට අනුගත වී වැඩ කරන්න ඒ මාධ්‍යවේදියා හුරු කරවනවා. කලක් ගත වෙද්දී ඒක සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා," නම හෙළි කිරීමට අකමැති වූ මාධ්‍යවේදියා සඳහන් කළේය.

පවතින ක්‍රමයට විරුද්ධව යම් අයෙකු නැගී සිටින්නේ නම්, "ඔහුට හෝ ඇයට මාධ්‍ය හැර වෙනත් රැකියාවක් සොයා ගැනීම එකම විකල්පය," බව කී ඔහු යුක්තිය, සාධාරණය වෙනුවෙන් පෙනී සිටින බව පවසන පෞද්ගලික නාලිකා වෘත්තීය සමිතිවල සාමාජිකත්වය ලබා ගැනීම මාධ්‍යවේදීන්ට අහුරා ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය පුවත්පත් හා සම්බන්ධ ආචාරධර්ම පිළිබඳව කටයුතු කරති.

නමුත්, ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් තොරතුරු ලබා ගන්නා රූපවාහිනිය සහ ගුවන් විදුලිය යන විකාශන මාධ්‍ය සඳහා අදටත් ආචාරධර්ම පද්ධතියක් සකස් වී නොමැත.

90 දශකය ආරම්භයේ පෞද්ගලික නාලිකා වෙත විකාශන අයිතිය ලබා දෙන අවස්ථාවේ ආචාරධර්ම පද්ධතියක් හෝ ඒ සඳහා ක්‍රමවේදයක් සකසා නොතිබූ බව අන්තර් ජාතික මාධ්‍ය සහයෝගීතාවේ ආසියා කලාපීය උපදේශක මෙන්ම රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකු ද වන ආචාර්ය රංග කලංසූරිය පවසයි.

"මා දන්නා තරමින් ලොව කිසිදු රටක පෞද්ගලික අංශයට සංඛ්‍යාත විවෘත කරන්නේ නැහැ එවැනි ක්‍රමවේදයක් හදන්නේ නැතිව. නමුත් ලංකාවේ ගජ මිතුරන්ට දෙන්න පටන් ගත්තා කිසිම ක්‍රමවේදයක් නැතිව. එහි ප්‍රතිඵලය තමයි අද මේ තිබෙන්නේ," යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"ඉතින් අවුරුදු විසිපහක්, විසියයක් මේ ක්‍රියාදාමය කරගෙන එනකොට, ඒ කියන්නේ පරම්පරාවක කාලයක්. ඒ නිසා අද පවතින තත්ත්වය උදාවීම අහම්බයක් නොවෙයි."

ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව රාජ්‍ය මාධ්‍යයටත් පෞද්ගලික මාධ්‍යයටත් එකසේ බලපාන බව ආචාර්ය රංග කලංසූරියගේ අදහසය.

නියාමනය

ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වෙන කාලසීමාවලදී පමණක් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් ආචාරධර්ම හඳුන්වා දෙන නමුත් ඒවා කඩකළ විට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ බලධාරීන් ද වික්ෂිප්ත භාවෙන් පසුවන බව ඔහු පෙන්වා දෙයි.

පවතින තත්ත්වය වෙනස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විකාශන මාධ්‍ය සඳහා නියාමනයක් අවශ්‍ය බව කී ආචාර්ය රංග කලංසූරිය, "නියාමනයක් කියන්නේ පාලනයක් නොවෙයි. නියාමනය කියන්නේ හරියට අපි මේ වැඩේ කරන්නේ කොහොමද කියන දේ. ඒක ඉන්දියාවේ, පකිස්තානයේ, ඉන්දුනීසියාවේ සහ ලෝකේ කොයි රටක ගත්තත් තිබෙනවා. මාධ්‍ය පාලනය කියන එකයි වැරදි," යනුවෙන් සඳහන් කළේය.

"මියන්මාරයේ අවුරුදු පනහකට පස්සේ හමුදා පාලනයෙන් පස්සේ ඒ අය මාධ්‍යත් නිදහස් කළා. හැබැයි නියාමන ක්‍රමයක් හදනකම් ඔවුන් මාධ්‍ය නිදහස් කළේ නැහැ. හැබැයි අපි කළේ අනෙක් පැත්ත. මාධ්‍ය විවෘත කරලා අවුරුදු විසිහයකට පස්සේ හදනවා නියාමන ක්‍රමයක් හදන්න."

මාධ්‍ය නියාමනය කළ යුත්තේ කෙලෙසද යන්න 'රාජ්‍ය මැදිහත් වී පාර්ලිමේන්තු පනතක් මගින්' නීතිගත කළ යුතු බව ඔහු කියා සිටී.

"එය කරන්නේ ස්වාධීනව ද නැද්ද කියන දේත් ඒ පනතේ කියන්න ඕනි. එහෙම නැති වුනාම තමයි මිනිස්සු මේ වගේ මාධ්‍ය ආයතන ඉදිරියට යන්නේ."

මාධ්‍ය ආයතන හිමිකරුවන් නියෝජනය කරන විකාශන සංසදයක් (Broadcasters Guilt) මේ වනවිට පිහිටුවා ඇති බවත් එහි පළමු සම්මන්ත්‍රණය ජනවාරි 31 පැවැත්වීමට නියමිත බවත් ආචාර්ය රංග කලංසූරිය පැවසීය.

"වරදට දඬුවම්"

"මේක සාධනීය තත්ත්වයක් ලෙස මම දකින්නේ. සමාජ මෙහෙවරක් සඳහා මාධ්‍ය පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔවුන් එහිදී කතා කරනවා. ආචාරධර්ම පද්ධතියක් එක්ක අපි නියාමනයකට යමු කියලා ඒ අය දැන් කතා වෙනවා. ඒක ආණ්ඩුව විසින් කරන නියාමනයක් නොවෙයි."

වෛද්‍යවරුන් සහ නීතිඥවරුන් ඔවුන් විසින්ම නියාමනයකට ලක් කරනු ලැබ ඇති බව කී ඔහු එම ක්‍රමවේදය පනතක් වශයෙන් සම්මත කර ආණ්ඩුව විසින් පිළිගනු ලැබ ඇති බව පැවසීය.

එලෙස මාධ්‍ය ද නියාමනයකට ලක් කළ විට, පුවතක අන්තර්ගතය සමබර විය යුතු බව කී ආචාර්ය රංග කලංසූරිය "එහෙම නොවුනොත් ඒකට බලපෑම් කරන අයට දඬුවම් ලැබෙනවා. ඒක ඇමැතිවරයාද, අමාත්‍යංශ ලේකම් ද ව්‍යාපාරයේ අයිතිකරුද කියලා නැහැ," යනුවෙන් සඳහන් කළේය.

"ඒක රාජ්‍ය මාධ්‍යයටත්, පෞද්ගලික මාධ්‍යයටත් දෙකටම පොදුයි. දොස්තර කෙනෙක් ආචාරධර්ම කඩ කළොත් ඔවුන්ට දඬුවම් විඳින්න වෙනවා. නීතිඥවරුන්ටත් එහෙමයි. රජයේ දොස්තර ද පෞද්ගලික අංශයේ දොස්තර ද කියලා නැහැ. මාධ්‍යයත් එසේ විය යුතුයි. ආචාරධර්ම කඩ කළොත් රජයේ ද පෞද්ගලික අංශයේ ද කියලා නැහැ, දඬුවම් විඳිය යුතුයි."

නියාමන ක්‍රමවේදයක් ස්ථාපනය කළ විට මාධ්‍යවේදීන් ආචාරධර්ම ආරක්ෂා කිරීමට බැඳී සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

"ආචාරධර්ම ආරක්ෂා කිරීමට මාධ්‍යවේදියා බැඳී සිටී නම් ඔහු අනිවාර්යයෙන් ආචාරධර්ම ගැන දැනුමක් තිබිය යුතු කෙනෙක් විය යුතුයි. එහෙම දැනුමක් තිබෙන කෙනෙක් වෙන්න නම් ඒ සඳහා පුහුණුවක් ලබා ගත යුතු වෙනවා. ඇතැම් රටවල ඒ පුහුණුව නැතිව මාධ්‍ය හැඳුනුම්පත දෙන්නෙත් නැහැ."

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර