ටිල්වින් සිල්වාට රුපියල් මිලියන මිලියන 10ක් ගෙවන්නැයි විමල් වීරවංශට අධිකරණය නියෝග කරයි

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ ලියකියවිලි පදනම් කරගෙන විමල් වීරවංශ විසින් ප‍්‍රකාශයට පත්කරන ලද 'නැත්ත වෙනුවට ඇත්ත' කෘතියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගොනු කළ නඩුවෙහි තීන්දුව සිකුරාදා (ජනවාරි 11) කොළඹ වාණිජ මහාධිකරණයේදී ප‍්‍රකාශයට පත් කෙරිණි.

ටිල්වින් සිල්වා විසින් එම නඩුව ගොනු කරනු ලැබුවේ, 2008 වර්ෂයේ ජූලි මස 24 වන දාය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා විත්තිකරුට නියෝග කළේ, පැමිණිලිකරු ඉල්ලා සිටි සියලු සහන ලබා දීමට අධිකරණය තීන්දු කරන බවය.

ඒ අනුව, කෘතිය සඳහා පදනම් කරගත් ලිපි ලේඛන බුද්ධිමය දේපළ පනත යටතේ පැමිණිලිකරුට අයත් බවට අධිකරණය ප්‍රකාශ කළේය.

විමල් විරවංශ බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කර ඇති බැවින්, රුපියල් මිලියන 10ක වන්දියක් පැමිණිලිකරු වූ ටිල්වින් සිල්වාට ගෙවන ලෙසට අධිකරණය විත්තිකරුට නියම කළේය.

කෘතිය මුද්‍රණය කර අලෙවි කිරීමෙන් උපයන ලද මුදල ගණනය කර ව්‍යවස්ථාපිත අලාභ මුදලක් ගෙවන ලෙසත්, මුද්‍රණය කර ඇති සියලු ම කෘති විනාශ කරන ලෙසත්, නඩු ගාස්තු ගෙවන ලෙසත්, විත්තිකාර විමල් වීරවංශට අධිකරණය විසින් නියෝග කළේය.

මෙම නඩුවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම්වරයා වෙනුවෙන් නීතිඥ පෝල් රත්නායක ඇතුළු නීතීඥයින් කණ්ඩායමක් පෙනී සිටියහ.

Image copyright Facebook/Wimal_Weerawansa

වෙනත් චෝදනා

  • පසුගිය ආණ්ඩු සමයේ අමාත්‍යවරයෙකුව සිටියදී රජයේ වාහන අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා මත 2017 වසරේ දී විමල් විරවංශ අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඇප මත නිදහස් කෙරිණි. එම චෝදනාවට සිරගත කර සිටියදී විමල් වීරවංශ, සිරමැදිරිය තුළ ආහාර වර්ජනයක් ද ආරම්භ කළේය. දේශපාලන පළිගැනීමක් ලෙසින් මාස දෙකකට අධික කාලයක් තමන්ට ඇප ලබා නොදී රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට විරෝධය පළකිරීම සඳහා සිය පක්ෂයේ නායකයා මේ ආහාර වර්ජනය ආරම්භ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න එම අවස්ථාවේ බීබීසී සිංහල සේවයට පැවසීය.
  • මේ අතර ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් ළග තබා ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රී විමල් වීරවංශ 2015 වසරේ දී අත්අඩංගුවට ගනු ලැබිණි.
  • එසේම, අයථා ලෙස රුපියල් ලක්ෂ 750 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විමල් වීරවංශට එරහිව අධිචෝදනා පත්‍ර 2018 වසරේ ජනවාරි මාසයේදී කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ඉදිරියේදී භාර දෙනු ලැබිණි.

කියවන්න:

Image copyright Wimal Weerawansa/Facebook

විමල් වීරවංශ සිය ඥාතීන් සහ හිතවතුන්ට රජයෙන් වාහන ලබාදීම නිසා රජයට රුපියල් ලක්ෂ 916 ක පාඩුසිදුව ඇති බව එවක නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා 2017 වසරේ දී පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ පොලිසිය විසින් උසාවියට ඉදිරිපත් කරනු ලැබූ කරුණු අනුව, විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා වාහන 40 ක් සිය හිතවතුන්ට ලබාදී ඇති බවය.

මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ උද්ඝෝෂණ පවත්වා මාර්ග අවහිර කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල විය.

තමන් වෙත එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසන්නේ එවැනි චෝදනා පිටුපස ඇත්තේ 'දේශපාලන උවමනාවන්' බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර