මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ "හින්දු කෝවිලක් ඉදිකිරීමේ තැතක්"

සංහිඳියාව සහ එහි ඇති අගය වචනයකට පමණක් සීමා වී ඇති බවට චෝදනා එල්ලවන අවධියක එය ක්‍රියාවෙන් පෙන්නුම් කළ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පාසලක් පිළිබඳව බීබීසී සිංහල සේවය සඳුදා වාර්තා කළේය.

සංහිඳියාව පිළිබඳ කැබිතිගොල්ලෑවෙන් එසේ කටයුතු සිදුවෙද්දී ඊට වෙනස් ආකාරයක පුවතක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වේ.

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියේ කෝවිලක් ඉදිකිරීමේ උත්සාහයක නිරත වන බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට චෝදනා එල්ල වේ.

චාර්ල්ස් නිර්මලනාදන්, ශාන්ති ස්කන්ධරාජා සහ එස් ශිවමෝහන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සඳුදා (ජනවාරි 14) සිය විහාරස්ථානයට පැමිණ ඒ සඳහා කටයුතු කළ බව මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමි පැවසූහ.

"සඳුදා උදේ ට්‍රැක්ටර් දෙකක බඩු මුට්ටු පටවාගෙන පිරිසක් ආවා. මගෙන් අවසරයක්වත් ගන්නේ නැතුව එකවරම විහාර සීම‍වට ඇවිල්ලා පොඩි ටකරන් මඩුවක් ඇටෙව්වා. මම ඇහැව්වා ඇයි කියලා. එතකොට එයාලා කිව්වා අපේ කෝවිලක් පන්සල ඇතුළේ තියෙනවා ඒකේ තෛපොංගල් සමරන්න ආවා කියලා," යනුවෙන් උන්වහන්සේ කියා සිටියහ.

විහාරස්ථානය තුළ තෛපොංගල් සැමරීමට ඉඩ ලබාදිය නොහැකි බව තමන්වහන්සේ ප්‍රකාශ කළ බවත් ඉන් අනතුරුව එහි පැමිණි පුද්ගලයන්ගේ දැනුම්දීම මත මන්ත්‍රීවරු පිරිසක් පැමිණ "මහා ගාල ගෝට්ටියක් කළ" බව මේධාලංකාරකිත්ති හිමි වැඩිදුරටත් සඳහන් කළහ.

කියවන්න:

විහාරස්ථානයේ කොඩිවැල් කඩා ඉවත් කළ එම පිරිස මඩුවක් ඉදිකර කිරිබත් පිසූ බව කී උන්වහන්සේ "මම ‍මොකවත් කිව්වේ නෑ. පොලිසියේ මහත්වරුත් බලාගෙන හිටියා." යනුවෙන් පැවසූහ.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් කියා සිටියේ "දැනට නයාරු විහාරය තියෙන ස්ථානයේ අපේ ජනතාවගේ කෝවිලක් තියෙනවා," යනුවෙනි.

එය පාරම්පරික කෝවිලක් බව කී මන්ත්‍රීවරයා තමුන් එතැනට ගියේ චාරිත්‍ර ඉටු කිරීම සඳහා බව පැවසීය.

යුද්ධය අවසන් වීමෙන් අනතුරුව හමුදාව එම ස්ථානයේ පන්සලක් ඉදිකළ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විහාරස්ථානය පිහිටි ස්ථානයට දළදාව වැඩමවා ඇති බවත් බුද්ධ වර්ෂ 244 සමයේ සිට සටහන් විහාරස්ථානයේ පවතින බවත් මේධාලංකාරකිත්ති හිමියෝ පවසති.

2013 අගෝස්තු 16 වෙනිදා නිකුත් කළ 1823/73 ගැසට් නිවේදනය අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අක්කර 93 ක භූමියක් විහාරස්ථානයට වෙන් කරනු ලැබ ඇතැයි විහාරාධිපති හිමියෝ පැවසූහ.

නමුත් පසුගිය යුද සමයේ පන්සල ඉදිරිපිට තාවකාලික කෝවිලක් ඉදිකර හමුදා සාමාජිකයන් මෙන්ම සාමාන්‍ය ජනයාත් පුද පුජා පවත්වා ඇති බව ද මේධාලංකාරකිත්ති හිමියෝ ප්‍රකාශ කළහ.

"ඒත් එව්වා හොයලා බලන්නේ නැතුව දැන් මේ පිරිසක් ප්‍රශ්නයක් හදන්න උත්සහ කරනවා." යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර