ජනපති මෛත්‍රීපාල සහ ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය: විමල්, ශෂී සහ නාමල්ගෙන් ප්‍රකාශ ගැනීමේ සූදානමක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළ බව පැවසෙන කුමන්ත්රණයේ පරීක්ෂණවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ඔහුගේ බිරිඳ ශෂී වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් මෙම සතිය තුළ ප්‍රකාශ සටහන් කර ගැනීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳුදා (ජන. 21) අධිකරණයට දැන්වීය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ, සැලසුම් කළ බව පැවසෙන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින ඉන්දියානු ජාතිකයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ඔහුගේ බිරිඳ ශෂී වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන අය හමුවීමට ගොස් ඇතැයි පරීක්ෂණවලදී ප්‍රකාශයක් කර ඇති බවය.
ඒ අනුව අදාළ තිදෙනාගෙන් ප්‍රකාශ සටන් කර ගැනීමට තීරණය කර ඇති බවත්, ඔවුන් මෙම සතිය තුළ එම ප්‍රකාශ දෙන බවට දැනුම් දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට කොළඹ ජාතික රෝහලේ දී ප්‍රතිකාර ලබාදෙන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඔහුගේ නීතිඥවරු මීට පෙර අධිකරණය වෙත ඉල්ලීම් කළහ. නමුත්, බන්ධනාගාර රෝහල සඳුදා අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පහසුකම් තම රෝහල සතුව තිබෙන බවය.
අවශ්‍යතාවක් මතු වුවහොත් භෞත චිකිත්සක කටයුතු සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමේ හැකියාව පවතින බව ද බන්ධනාගාර රෝහල අධිකරණයට වාර්තා කර තිබේ.