බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි බ්‍රිතාන්‍ය වරෙන්තුව: "විශාල ජයග්‍රහණයක්" - පැමිණිල්ල, "නීතිඥවරයෙක් ඉදිරිපත් කළ යුතුව තිබුණා" - නීතිවේදීන්

Brigadier Priyanka Fernando Image copyright Getty Images
Image caption ලන්ඩන් වෙස්ට්මින්ස්ටර් අධිකරණ සංකීර්ණය

ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව ලන්ඩන් නුවර මහේස්ත්‍රාත් අධිකරණයක් දුන් තීන්දුව "විශාල ජයග්‍රහණයක්" බව පැමිණිල්ල පවසන අතරවාරයේ, ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකු ඉදිරිපත් කළේ නම් තීන්දුව වෙනස් විය හැකිව තිබූ බව ඇතැම් නීතිවේදීහු පවසති.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව එක්සත් රාජධානියේ අධිකරණයක නඩු පැවරිය නොහැකි බව මේ අතර ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය වී තිබේ.

බ්‍රිතාන්‍ය සමාජයේ නීතිය සහ සාමය රැකීමට අදාළ පනත යටතේ, තර්ජනාත්මක අභිනය පෑම සහ පුද්ගලයන් බිය වැද්දීම යන චෝදනාවලට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වැරදිකරු බව ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය සඳුදා (ජනවාරි 21) තීන්දු කළේය.

එමෙන් ම, බ්‍රිගේඩියර්වරයා එක්සත් රාජධානියට පැමිණි විගස අත්අඩංගුවට ගන්නා මෙන් මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

නීතිවේදීන්ගේ අදහස්

නඩු තීන්දුව ගැන බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික නීතිවේදිනියක වන අප්සරා විජයලත්, "බ්‍රිතාන්‍ය සමාජයේ නීතිය සහ සාමය රැකීමට අදාළ පනතෙහි (1986) 4 (a) සහ 5 (1), (6) යන වගන්ති අනුව අන් අයට පෙනෙන හෝ ඇසෙන මානයේ සිට තර්ජනාත්මක ස්වරූපයෙන් හැසිරීම හෝ එවන් වදන් පැවසීම හෝ බිය ගැන්වෙන ආකාරයේ සංඥා කිරීම් හේතුවෙන් එම පුද්ගලයන්ට අඩන්තේට්ටම් සිදු කිරීම, පීඩාවට පත් කිරීම යන චෝදනාවලට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වැරදිකරු බව අධිකරණය තීන්දුවේ සඳහන් වෙනවා," යනුවෙන් විස්තර කළාය.

"වරෙන්තු නිකුත් කර තිබෙන නිසා බ්‍රිගේඩියර්වරයා නැවත එක්සත් රාජධානියට පැමිණෙන ඕනෑ ම අවස්ථාවක පොලිසියට ඔහු අත්අඩංගුවට ගන්න පුළුවන්."

කෙසේ වුවත්, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වෙනුවෙන් නීතිඥවරයෙකු ඉදිරිපත් වී කරුණු ඉදිරිපත් කළේ නම් මෙම තීන්දුව වෙනස් වන්නට ඉඩ තිබුණු බව නීතිඥ අප්සරා විජයලත් තවදුරටත් පැවසුවාය.

පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි Public Interest Law Centre නම් නීති ආධාර ලබාදෙන ආයතනයේ නීතිඥවරියක වන හෙලන් මොවට් (Helen Mowatt) බීබීසී සිංහල සේවයට පැවසුවේ මෙම නඩු තීන්දුව ඔවුන් ලැබූ විශාල ජයග්‍රහණයක් මෙන් ම, ශ්‍රී ලංකාවේ නිලධාරීන් බලය අයුතු ලෙස භාවිත කිරීමට එරෙහි වීමක් බවය.

Image copyright Twitter
Image caption බ්‍රිගේඩියර්වරයා එම උද්ඝෝෂකයින් වෙත පෑ 'ගෙල සිඳින' ආකාරයේ යැයි පැවසෙන අභිනයක් පිළිබඳ ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ජාල හරහා හුවමාරු විය

"බ්‍රිගේඩියර්වරයාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව සියලු පොලිස් ස්ථානවලට යවා තිබෙනවා. ඒ කියන්නේ, ඔහු නැවතත් එක්සත් රාජධානියට පා තැබුව විගස අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනවා" යනුවෙන් ද හෙලන් මොවට් සඳහන් කළාය.

බ්‍රිතාන්‍යයේ වෙසෙන නීතිවේදී එච් එන් පෙරේරා බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින්, "තානාපති මුක්තිය ගැන සහ අනෙකුත් කරුණු ගැන අධිකරණය දැනුවත් කරන්න ඕනේ. ඒ සඳහා බ්‍රිගේඩියර්වරයා හෝ ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකු ඉදිරිපත් කරන්න තිබුණා. ඔහු වෙනුවෙන් පෙනී සිටීමක් සිදු නොවුණා ම අධිකරණය මග හැරියා හා සමානව සලකා වරෙන්තු නිකුත් කරනවා," යනුවෙන් කියා සිටියේය.

එමෙන් ම, අධිකරණයට පැමිණිය නොහැකි නම් හෝ නීතිඥ පෙනී සිටීමක් සිදු නොවන්නේ නම්, ඒ ගැන ලිඛිතව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගත යුතුව තිබූ බව ද ඔහු පැවසුවේය.

"විත්තිකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් නොවූ නිසා, පැමිණිල්ල සලකා බලා බ්‍රිතාන්‍ය නීතියට අනුකූලව මෙම තීරණය ලබා දී තිබෙනවා."

බ්‍රිගේඩියර්වරයා සම්බන්ධයෙන් මින් පසු ගත හැකි ක්‍රියා මාර්ගය ගැන බීබීසී සිංහල සේවය මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නීතිවේදී පෙරේරා පැවසුවේ, "ඔහුට පුළුවන් නීතිඥවරයෙකු හරහා අධිකරණයට පෙනී නොසිටීම ගැන කරුණු දක්වමින් භාරවෙන්න. මෙය සිදු කළ යුත්තේ, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයත් සම්බන්ධ කරගෙන," යනුවෙනි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රතිචාරය

එක් පැමිණිලිකරුවෙකු විසින් ගොනු කරන ලද මෙම නඩුවට සාක්ෂිකරුවන් ලෙස දෙදෙනෙක් ඉදිරිපත් වී සිටිති. ඔවුහු එක්සත් රාජධානියේ දිවි ගෙවන පුද්ගලයන් වෙති.

නඩු තීන්දුව ගැන ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, පෞද්ගලික පැමිණිල්ලක් අනුව ගොනු කළ මෙම නඩුව ඒකපාක්ෂිකව විභාගයට ගෙන ඇති බව සඳහන් කර තිබිණි.

Image copyright Getty Images
Image caption "විත්තිකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් නොවූ නිසා, පැමිණිල්ල සලකා බලා බ්‍රිතාන්‍ය නීතියට අනුකූලව මෙම තීරණය ලබා දී තිබෙනවා."

එක්සත් රාජධානියේ විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලය හරහා ශ්‍රී ලංකා රජය මෙම නඩුවට පහත දැක්වෙන කරුණු ඉදිරිපත් කළ බව ද එම නිවේදනයේ සඳහන් වේ:

  1. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු තවදුරටත් පදිංචි වී සිටින්නේ එක්සත් රාජධානියේ නොවේ.
  2. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එම අවස්ථාවේ එක්සත් රාජධානියට පැමිණ සිටියේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස රාජකාරියේ නියැලීමටය. වියානා සම්මුතියට අනුව ඔහුට තානාපති මුක්තිය සහ අනෙකුත් වරප්‍රසාද හිමි වේ.
  3. ඒ අනුව, බ්‍රිගේඩියර්වරයාට එරෙහිව එක්සත් රාජධානියේ අධිකරණයක නඩු පැවරිය නොහැක.

කෙසේ වෙතත්, බ්‍රිගේඩියර්වරයා හෝ ඔහු නියෝජනය කරමින් නීතීඥවරයෙකු මෙම නඩුවට ඉදිරිපත් නොවීය.

මේ තොරතුරුද දැනගන්න:

"බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු තානාපති මුක්තිය හිමි නිලධාරියෙකු බැවින් ඔහුට එරෙහිව නඩු පැවරීමක් සිදු කළ නොහැකියි යන්න ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ මතය" බව අමාත්‍යංශයේ ප්‍රකාශිකා සරෝජා සිරිසේන ද නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමට ප්‍රථම බීබීසි සිංහල සේවය කළ විමසුමකදී පැවසීය.

මේ සම්බන්ධයෙන් අදාළ තානාපති අංශ දැනුවත් කර ඇති බව ද ඇය සඳහන් කළාය.

මේ අතර, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව ලන්ඩන් නුවර අධිකරණයක නඩු පැවරූ බවට ඔහුට හෝ ශ්‍රී ලංකා යුද හමුදාවට කිසිදු නිල දැනුම් දීමක් සිදු කර නොමැති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු බීබීසි සිංහල සේවයට පැවසුවේ විදේශ අමාත්‍යංශය හෝ තානාපති අංශ විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට හෝ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එවන් දැනුම් දීමක් කර නොතිබූ බවකි.

"තර්ජනාත්මක අභිනය"

2018 වසරේ පෙබරවාරි 4 වන දා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ නිදහස් දින සමරුව පැවැත්වෙද්දී එම පරිශ්‍රය අසලට රැස්වූ දෙමළ ජාතිකයන් ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.

එහිදී අදාළ බ්‍රිගේඩියර්වරයා එම උද්ඝෝෂකයින් වෙත පෑ 'ගෙළ සිඳින' ආකාරයේ යැයි පැවසෙන අභිනයක් පිළිබඳ ඡායාරූප මෙන් ම වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ජාල හරහා හුවමාරු වූ අතර ඒ පිළිබඳ අවධානය යොමු කරමින් පෙබරවාරි 6 වන දා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ එම නිලධාරියාගේ සේවය වහා ම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලද බවය.

Image caption අදාළ සිදුවීමෙන් දින කීපයකට පසු බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂ මන්ත්‍රීවරියන් දෙදෙනෙක් එවක විදේශ ලේකම්ව සිටි බොරිස් ජොන්සන් වෙත ලිපියක් යැවුහ.

නමුත්, ඊට පසු දා (පෙබරවාරි 7) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝගය පරිදි ඔහුව යළි සේවයේ පිහිටුවනු ලැබීය.

කෙසේ වුව ද, 2018 පෙබරවාරි මස අවසානයේදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු යෙදිණි.

එම කැඳවීමෙන් පසු එවක පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ යුද හමුදාපති මහේෂ් සේනානයක පැවසුවේ, අදාළ නිලධාරියාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු නැවත කැඳවා ගත් බවය.

තවත් තොරතුරු: