බුදු පිළිම හානි කිරීම සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය: සැකකරුවන් දෙදෙනෙක් සොයා මෙහෙයුම්

මාවනැල්ල ප්‍රදේශය ආශ්‍රිත බුදු පිළිමවලට හානි කිරීම සහ පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය හමුවීමට අදාළව අවශ්‍ය කර සිටින ප්‍රධාන සැකකරුවන් දෙදෙනා තවමත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිව තිබේ.

මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි මොහමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා සහ මොහමඩ් සාහිඩ් අබ්දුල්ලා යන දෙසොහොයුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දැනට මාසයකට ආසන්න කාලයක් පරීක්ෂණ පවත්වමින් සිටින බව පොලිසිය පවසයි.

මේ අතර, අඟහරුවාදා (ජනවාරි 22) මෙම සිදුවීමට අදාළව ඉහත කී දෙසොහොයුරන්ගේ පියා වන රාශිඩ් මොහමඩ් ඊබ්‍රාහිම් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම සිදුවීම්වලට ආධාර අනුබල දීමේ චෝදනාව මතය.

පැය 72ක රැඳවුම් නියෝග මත එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය බීබීසි සිංහල සේවයට පැවසීය.

බදාදා (ජනවාරි 23) පාර්ලිමේන්තුවේදී තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා, මෙය "බැරෑරුම් තත්ත්වයක්" බැවින් පොලිස් පරීක්ෂණවලදී සොයාගත් තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

එයට පිළිතුරු දුන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කියා සිටියේ, සිදුවීම සම්බන්ධ තොරතුරු මෙසේ අනාවරණය වන්නේ ආණ්ඩුව සිදුවීම "යට ගහන්නේ නැතිව" නිසි පරිදි පරීක්ෂණ පැවැත්වීම හේතුවෙන් බවය.

එහිදී අදහස් දැක්වූ නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ, සිදුවීම සම්බන්ධයෙන් "ජාතිවාදී හැඟීමකින්" කටයුතු නොකරන ලෙසය.

"මුස්ලිම් ගෙදරක ආයුධ හම්බ වුණත්, සිංහල ගෙදරක ආයුධ හම්බ වුණත්, ද්‍රවිඩ ගෙදරක හම්බ වුණත් ඒක වැරදියි. පොලිසියට, අධිකරණයට විසඳන්න දෙන්නේ නැතිව අපි පාරට බැහැලා දේශපාලන වුවමනාවන් ඉෂ්ඨ කරගන්න යන එක වැරදියි," යනුවෙන් ද නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මාවනැල්ල

පසුගිය දෙසැම්බර් 26 වන දා අලුයම යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනෙකු මාවනැල්ල ප්‍රදේශයේ මංසන්ධියක තිබූ බුදු පිළිමයකට හානි කිරීමට උත්සහ දැරූ අවස්ථාවේ ප්‍රදේශ වාසීන් ඔවුන්ගෙන් එක් අයෙකු සිය ග්‍රහණයට ගෙන පොලිසියට භාර දීමෙන් පසු පිළිම කැඩීමේ නිරත වූ බවට සැක කරන මෙම සංවිධානාත්මක පිරිස ගැන තොරතුරු හෙළි වී තිබේ.

ඒ අනුව බුදු පිළිම කැඩීමට සම්බන්ධ බවට සැකකෙරෙන තරුණයන් 7 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් මාවනැල්ල, ගම්පොළ සහ පොල්ගහවෙල අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මාවනැල්ල, ගම්පොළ සහ පොල්ගහවෙල යන ප්‍රදේශවල බුදු පිළිම හා හින්දු පිළිමවලට හානි කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

කෙසේ නමුත්, මෙම තරුණයන්ට නායකත්වය දුන් බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනා සිය පවුල් සමග ප්‍රදේශයෙන් පළා ගොස් තිබිණි.

පුත්තලම පුපුරණ ද්‍රව්‍ය

ඉන් අනතුරුව පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ අක්කර 60ක පමණ විශාලත්වයෙන් යුත් පොල්වත්තක වළ දමා තිබියදී පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක්, ඩෙටනේටර් 100ක්, ලීටර් 20 බැගින් වූ කෑන් 6ක බහා තිබූ නයිට්‍රේට් ඇසිඩ් ලීටර් 120ක්, පතොරම් තුවක්කුවක්, පතොරම් තොගයක්, වියළි ආහාර, කූඩාරම් දෙකක්, ලැප්ටොප් පරිගණක ඇතුළු විද්‍යුත් උපකරණ කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගනු ලැබුවේ ඔවුන් අත්අඩංගුවට ගැනීම පිණිස ක්‍රියාත්මක කළ පරීක්ෂණවලදීය.

ඒ සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් සිව් දෙනෙකු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ අවසරය පොලිසියට ලැබී තිබේ.

මෙම පුපුරන ද්‍රව්‍ය යොදා ගෙන සිදුකිරීමට බලාපොරොත්තු වූයේ කුමක්දැයි සොයා ගැනීම මෙම පරීක්ෂණ කණ්ඩායම්වල අරමුණවී තිබේ.

මේ අතර අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින සොයුරන් පදිංචිව සිටි මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පසුගිය 21 වන දා පොලිසිය විසින් පැය 8ක කාලයක් පරීක්ෂා කරනු ලැබිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, එහිදී එම නිවසේ තිබී වායු රයිෆලයක්, උණ්ඩ තොගයක්, පිහියක් හා යකඩ මිටියක්, මුහුණු ආවරණ හා අත්වැසුම් කිහිපයක්, ලැප්ටොප් ඇතුළු විද්‍යුත් උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගත් බවය.

මෙහිදී පොලිස් භාරයට ගනු ලැබූ, යම් බහාලුමක තිබූ සුදු පැහැති කුඩු වර්ගය පුපුරන ද්‍රව්‍ය දැයි සොයා බැලීමට පරීක්ෂණ පැවත්වෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය බීබීසි සිංහල සේවයට පැවසීය.

'අන්තවාදී දේශන'

දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන, ප්‍රධාන සැකකරුවන් ලෙස සැලකෙන සොයුරන්ගේ පියා වන රාශිඩ් මොහමඩ් ඊබ්‍රාහිම් මාවනැල්ල ප්‍රදේශයේ පූජකවරයෙකු ලෙස කටයුතු කර තිබේ. ඔහු ඇතුළු ඔහුගේ එක් පුත්‍රයෙකු ඔවුන්ගේ අන්තවාදී අදහස් හේතුවෙන් ප්‍රදේශයේ මුස්ලිම් සංවිධානවලින් පවා ඉවත් කර තිබූ බව බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ මාවනැල්ල ප්‍රදේශයේ මුස්ලිම් පූජකවරයෙක් පැවසීය.

Image copyright facebook

"මෙම සොයුරන් විසින් අන්තවාදී දේශන පවත්වල තමයි මේ තරුණ ළමයි මේ වැරදි වැඩවලට සම්බන්ධ කරලා තියෙන්නේ, නමුත් අපිට තාම හරි තොරතුරක් නැහැ මොකද වුණේ කියලා, ඊයේ අත්අඩංගුවට පත්වූ පියාගෙන් ඇහුව ම ඔහු කියනවා ඔහු දන්නේ නැහැ කියලා ඔහුගේ ළමයි දෙන්නා ඉන්න තැන," එම පූජකවරයා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

මේ අතර විපක්ෂය වෙනුවෙන් පසුගිය දා මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පැවසුවේ "මෙසේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය රැස් කළේ ඇයි? මේ මුස්ලිම් තරුණයන් මෙහෙයවූයේ කවුද? ඔවුන් ඉටු කරන්නේ කාගේ උවමනාවක් ද?" යන්න සොයා බැලීම අත්‍යවශ්‍ය බවය.

"ගලේවෙල උපන් මුස්ලිම් ජාතිකයෙකු අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදියෙකු ලෙස සිරියාවේදී මියයාම, අලුත්ගම, දිගන, අම්පාර ජාතිවාදී ගැටුම් ඇවිලවීම, මාවනැල්ලේ බුදු පිළිම කැඩීම හුදකලා සිදුවීම් නොවෙයි. මේ සියල්ල එක ම උවමනාව අනුව දියත් වන ඒවා. ඒ නිසා ජාතියක් ලෙස අපි මේ පිළිබඳව දැඩි සේ විමසිලිමත් විය යුතුයි," ඔහු කියා සිටියේය.

"කෑගල්ලේ පොලිස් ප්‍රධානියාට ඊබ්‍රාහිම් නැමැති බුදු පිළිම කැඩීමට සම්බන්ධ මුස්ලිම් තරුණයන් දෙදෙනා භාර දෙන බවට පොරොන්දු වූ බස්නාහිර පළාතේ ප්‍රබල දේශපාලනඥයා කවුදැයි පොලිස්පතිවරයා වහා ම සොයා බැලිය යුතුයි. ඔහුගෙන් ප්‍රශ්න කර ඊබ්‍රාහිම් සොයුරන් සොයාගත හැකියි. එවිට වනාතවිල්ලුව සිදුවීම පිටුපස සිටින අන්තවාදීන්, මූලධර්මවාදීන් හඳුනාගත හැකි වේවි," ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

ප්‍රජා නායකයෝ

මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ශ්‍රී වල්පොළ රාහුල පදනමේ ගල්කන්දේ ධම්මානන්ද හිමියන්, නීතිය ක්‍රියාවට නගනු විනා බෙදී, වෙන්වී ගැටුම් ඇති කර නොගන්නා මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කළහ.

"මොන ම හේතුවක් නිසාවත් අපි ජන කොටස් හැටියට බෙදෙන්න, වෛරී ප්‍රකාශ කරන එක, ඒ වගේ ම ගැටුම් ඇති වෙන විදියට වැඩ කරන එක මම හිතනවා ඉතා ම භයානක දෙයක්. ඒක නොවිය යුතුයි." යනුවෙන් ද කියා සිටියහ.

මෙම සිදුවීම්වලට සම්බන්ධ පිරිස්වලට දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කරන මෙන් පොලිසියට උපදෙස් දී තිබෙන බව බුදු පිළිම හානි කිරීම සම්බන්ධයෙන් තරුණයන් 7 දෙනෙකු අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් මාවනැල්ල ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ, "මේ ඉතා ම ම්ලේච්ඡ සිද්ධි සඳහා, ICCPR නීතිය යටතේ ද්වේශ සහගත අපරාධයක් ලෙස සලකා විශේෂයෙන් ම ඇප නොදෙන තරමේ උපරිම දඬුවම් දීම සඳහා කටයුතු කරන්න කියල උපදෙස් දීල තියෙනවා" යනුවෙනි.

කවර තත්ත්වයක් යටතේ හෝ නීතිය අතට නොගන්නා ලෙස ශ්‍රී ලංකාවේ සාමකාමී සිංහල ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා ද පසුගිය දෙසැම්බර් මාසයේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.

තවත් කියවන්න:

වෙනත් තොරතුරු: