මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ මතභේදය: "සංහිඳියාවට තර්ජනයක් විය හැකියි"

Image caption විහාරස්ථානය ඉදිරිපස සකස් කරමින් පැවති බුද්ධ ප්‍රතිමාව

"මුලතිව් නයාරු ගුරුකන්ද පන්සලේ, පන්සලයි කෝවිලයි දෙකම එකට තියෙන එක කොච්චර හොඳ දෙයක්ද.‍ බෞද්ධ ජනතාවට පන්සලට ගිහිල්ලා කෝවිලත් එකම තැනකින් වන්දනා කරගෙන එන්න පුළුවන්. හින්දු ජනතාවට කෝවිලට ගිහිල්ලා පන්සලේ බුදු හාමුදුරුවන්ගේ පිළිමයට මල් තියලා වැඳලා එන්න පුළුවන්. ඒත් ඇතැම් දේශපාලනඥයන්ගේ වුවමනාව මත මේ පන්සල හා කෝවිල අල්ලගෙන නැති ප්‍රශ්නයක් ඇති කරන්න හොඳ නැහැ."

ඉහත දැක්වෙන්නේ මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමිය සම්බන්ධයෙන් මතුව තිබෙන මතභේදය සම්බන්ධයෙන් වවුනියාව ඕමන්ත ශ්‍රී නාගපූසනි අම්මාන් කෝවිලේ රත්නම් ධර්මු පූජකතුමන් පළ කළ අදහසය.

"එකම අහසක් යට ජීවත්වන සියලුම මනුෂ්‍යයන් එක්ව ජීවත් විය යුතු," බව ද පූජකතුමන් කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"මේ පන්සලේ කෝවිලක් තියෙනවා කියන එක අල්ලගෙන නැති ප්‍රශ්න හදාගෙන දේශපාලන වාසි ගන්න පිරිසක් කටයුතු කරනවා. ඇතිවෙලා තිබෙන සංහිඳියාව නැවත නැති කරන්න ඇතැම් පිරිස් කටයුතු කරගෙන යනවා. එවැනි දේට අහුවෙන්නේ නැතුව මිනිසත්කම අනුව හැම ආගමකටම කියවෙන විදිහට සමගියෙන් ජිවත්විය යුතුයි."

Image caption වවුනියාව ඕමන්ත ශ්‍රී නාගපූසනි අම්මාන් කෝවිලේ රත්නම් ධර්මු පූජකතුමන්

ජාතික සාම මණ්ඩලය විසින් සෙනසුරාදා (ජනවාරි 26) කැබිතිගොල්ලෑවේ සාම මණ්ඩලයේ පැවැත්වීමට නියමිත රැස්වීමකට තමන්ට ද ආරාධනා කර ඇති බව කී රත්නම් ධර්මු පූජකතුමන් "ආගමික නායකයෝ හැමෝම අනෙක් අයට ගරු කරගෙන ජිවත්වෙන්න ඕනේ. එතකොට තමයි සංහිඳියා ඇති වෙන්නේ," යනුවෙන් සඳහන් කළහ.

"මම හින්දු පූජකතුමෙක් වුණාට මම සිංහල හොඳට කතා කරනවා. ලියන්නත් පුළුවන්. මම වෙද මහත්තයෙක් විදියටත් ඉන්නවා. මම බුදු හාමුදුරුවෝ කියලා දුන්න බුදු දහමත් ‍හොඳට දන්නවා. හින්දු ආගමේ ඉගැන්වීමුත් දන්නවා.

"ඒක හින්දා මම දන්නවා ආගම් දෙකේම තියෙන්නේ එකම දර්ශනයක්. ඒත් සාමාන්‍ය මිනිස්සු රවටාගෙන ඡන්දය ගන්න උත්සහ කරන පිරිස ඒ ගැන දන්නේ නැහැ. එයාලා බලය වෙනුවෙන් මිනිස්සු කුලප්පු කරනවා. නයාරු පන්සලේ ක්‍රියාවත් එහෙම තමයි," පූජකතුමා පැවසූහ.

"ඒත් මම මිනිස්සුන්ට කියනවා දේශපාලන නායකයන්ගේ වුවමනා අනුව කටයුතු කරන්නේ නැතුම සෑම ආගමකටම ගරු කරන්න උත්සහ කරන්න කියලා. එතකොට මේ කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. මිනිස්සු විදියට අපි, අපිට ලැබිලා තියෙන ජිවිතය තුළ ගැටුම් ඇති කරගන්නේ නැතුව ජිවත්වෙලා මැරිලා යන්න ඕනේ."

මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ පසුගිය 14 වෙනිදා ඇති වු අර්බුදයක් සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය ගොනු කළ නඩු විභාගය පළමු දිනට බ්‍රහස්පතින්දා (ජනවාරි 24) කැඳවූ අවස්ථාවේ දෙපාර්ශවයේ එකඟතාව මත එළැඹෙන නඩු වාර දිනයේදී විහාරස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්ත‍මේන්තුව නිකුත් කරන ලද ගැසට් නිවේදන ඇතුළත් වාර්තාවක් පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හරහා අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එමෙන්ම විහාර භූමියේ සියලු ම ඉදිකිරීම් පෙබරවාරි 12 වෙනිදා දක්වා අත්හිටුවන ලෙස ද ම‍හේස්ත්‍රාත් එස් ලෙනින්කුමාර් විසින් නියෝග කරනු ලැබීය.

තෛපොංගල් සැමරීමට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පැමිණ නයාරු ගුරුකන්ද පුරාණ රජ මහා විහාර භූමියේ කෝවිලක් ඉදිකිරීමේ උත්සහයක නිරත වූ බවට ජනවාරි 14 වෙනිදා චෝදනා එල්ල විය.

විහාරස්ථානය පිහිටි ස්ථානයට දළදාව වැඩමවා ඇති බවත් බුද්ධ වර්ෂ 244 සමයේ සිට සටහන් විහාරස්ථානයේ පවතින බවත් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියෝ පවසති.

Image caption තෛපොංගල් උත්සවය සැමරීම සඳහා විහාර භූමිය තුළට පිරිසක් අවසරයකින් තොරව ඇතුළු වූ බවට චෝදනා එල්ල වේ

2013 අගෝස්තු 16 වන දා නිකුත් කළ 1823/73 ගැසට් නිවේදනය අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අක්කර 93 ක භූමියක් විහාරස්ථානයට වෙන් කරනු ලැබ ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් කියා සිටියේ, විහාරය පිහිටි ස්ථානයේ හින්දු ජනතාවගේ වන්දනාමානයට ලක් වූ පාරම්පරික කෝවිලක් පිහිටි බවය.

"යුද්දෙන් පස්සේ හමුදාව තමයි ඔය පන්සල හදලා තියෙන්නේ. එහෙම කියලා අපේ ජනතාවගේ කෝවිලේ ‍පොංගල් හදන්න දෙන්නේ නැතුව ඉන්න බැහැ .පස්සේ ඒ ගැන මම තේරුම් කරලා දුන්නා. එහෙම කරලා අපේ කට්ටිය පොංගල් කිරිබත් හදලා ඉවර වෙලා එතැනින් ඇවිල්ලා තිබුණා," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාව උතුරු පළාතේ බෞද්ධ ප්‍රජාව නොමැති ප්‍රදේශවල විහාරස්ථාන ඉදිකිරීමට කටයුතු කරන බව පවසමින් දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මීට ඉහතදීත් විරෝධය පළ කර තිබේ.

තවත් කියවන්න: