"මත්ද්‍රව්‍ය කියන්නේ පඹයෙක්"- මතින් මිදී මතට ගොදුරු වූවන් 'මුදා ගන්නා' ශ්‍රී ලාංකිකයා

Image copyright Manjula Prasad
Image caption මංජුල ප්‍රසාද්

දශක ගණනාවක යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම සමාජයීය ගැටලු අතරින් එකක් ලෙස මත් උවදුර හැඳින්විය හැකිය.

මත්ද්‍රව්‍ය "රකුසෙකු" බව ඇතැමෙකු පවසන අතර තවත් පිරිසක් එය හඳුන්වන්නේ "පඹයෙකු" ලෙසිනි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකුට ඉන් මිදීම අතිශයින් දුෂ්කර කාර්යයක් බව සාමාන්‍ය පිළිගැනීම වී තිබේ.

"මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන්ගේ මොළයේ සෛල විනාශ වීමේ අවදානම ඉතා ඉහළ," බව මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය එන් කුමානායක බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ අතර මත්ද්‍රව්‍ය නමැති "රකුසාට" ගොදුරු වී, එසේත් නැතිනම් මත්ද්‍රව්‍ය නමැති "පඹයාට" රැවටී දැඩි සටනක් කර ඉන් අත්මිදී සමාජය ද ඉහළට ඔසවා තැබීමට වෙර දරන පුද්ගලයෙකු පිළිබඳ බීබීසී සිංහල සේවයට වාර්තා විය.

43 හැවිරිදි ඔහු, නමින් මංජුල ප්‍රසාද්.

ඔහුගේ ඇති සුවිශේෂීත්වය වන්නේ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ තමන් වැනි වෙනත් පුද්ගලයන් ද ඉන් මුදා ගැනීමට කටයුතු කිරීමය.

Image copyright AFP/Getty Images
Image caption 2016 වසර තුළ ලොව පුද්ගලයන් මිලියන 275 එක් වරක් හෝ නීති විරෝධී මත් ද්‍රව්‍ය භාවිත කර ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

පාසල් වියේදී තමන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනු බව කී මංජුල ප්‍රසාද් එවක තමන් මුහුණ දුන් අත්දැකීමක් සිහිපත් කරමින් කතාවට මුල පිරුවේය.

"මට අවුරුදු දහතුන වගේ කාලේ, මගේ තාත්තා වෙනත් කාන්තාවක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා මට ආරංචි වුණා. ඒ නිසා ගෙදර නිතර අඬදබර ඇති වුණා. මට ඒක දරා ගන්න බැරි තරම් බරක් වුණා. ඊට පස්සේ මම ඒකට රියැක්ට් කළේ, තාත්තා කියන දේ අහන්න ඕන නෑ කියන මානසිකත්වය ඇති කරගෙනයි."

වයස අවුරුදු 14 වන විට මංජුල දුම් පානයට ඇබ්බැහි වී තිබේ. නිවසේ පැවති ගැටුම් හේතුවෙන් මිතුරන් සමග "කාලය කා දැමුවද" අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වීමට තරම් තමන් දක්ෂයෙකු වූ බව ඔහු පැවසීය.

"උසස් පෙළට වාණිජ්‍යය විෂය ධාරාව තෝර ගත්තා. ඒත් මට ඉගෙන ගන්න වුවමනාවක් තිබුණේ නැහැ. මට හිතුණා ඉගෙන ගන්න එක, ක්‍රිකට් ගහන එක ඔක්කොම නතර කරන්න ඕන කියලා. මට ඒවායින් වැඩක් නෑ කියලා හිතුණා. ගෙදර ප්‍රශ්න වැඩි වෙනවාත් එක්ක ම තාත්තත් බීමට ඇබ්බැහි වුණා. මට ඒ ප්‍රශ්න අමතක කරන්න ඕන වුණා," මංජුල අතීතය ආවර්ජනය කරයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි මිතුරෙකු තමන්ට සිටි බව ඔහු සඳහන් කරයි.

"ඒ කාලේ මට අවුරුදු 17ක් 18ක් විතර ඇති. ඉස්සර මම යාළුවාට අවවාද දුන්නා මත්ද්‍රව්‍ය ගන්න එපා කියලා. ඒත්, දවසක් මම මගේ යාළුවාගෙන් මත්ද්‍රව්‍ය ඉල්ලුවා. එයා කොහොමටවත් කැමති වුණේ නැහැ මට දෙන්න. ඒත් මම බලෙන් ම වගේ අරන් පාවිච්චි කළා", මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට යොමු වූ දිනය ඔහු සිහිපත් කළේ එලෙසය.

එතැන් පටන් වයස අවුරුදු 24 වන තෙක් මංජුල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටියේය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් පසු ඔහුගේ අධ්‍යාපන කටයුතු බිඳ වැටිණි. එහෙත්, ඔහු උසස් පෙළ විභාගයට පෙනී සිටියේය.

"විභාගේ ඉවර වෙලා මම යාළුවෙක් එක්ක මත්ද්‍රව්‍ය අරන් එන අතරේ බොරැල්ල පොලිසියටත් අහු වෙන්න ගියා. එදා බොහොම අමාරුවෙන් බේරිලා ආවේ."

Image copyright AFP/Getty Images
Image caption ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සහ භාවිතය විශාල ගැටලුවක් බවට පත්ව ඇත

පසු කලෙක ඔහුට මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වීමට අවශ්‍ය විය. එහෙත්, ඇබ්බැහි වීම ඉතා පහසු කාර්යයක් වුවත්, ඇබ්බැහිකමින් මිදීම අතිශය දුෂ්කර කාර්යයක් වූ බව ඔහු පවසයි.

කොළඹ අතහැර දුර පළාත්වල ගොස් රැඳී සිට ඇති මංජුල විවිධ ඖෂධ වර්ග භාවිත කර ඉන් මිදීමට උත්සහ දරා ඇත. ඔහු මානසික වෛද්‍යවරුන්ගේ සහය ද පැතීය. ඒ වන විට ඔහුගේ පියා (1998) ජීවතුන් අතර නොසිටි නමුත් ඔහුගේ මව සහ පවුලේ සාමාජිකයින්ගේ සහය ඔහුට ලැබී තිබේ.

හැරවුම් ලක්ෂය

"1999දී මම මේ දැන් වැඩ කරන ගාල්ල, රූමස්සල තියෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ආවා. මෙහෙදී මට ලොකු සෙනෙහසක් ලැබුණා. මගේ අහිමි වී තිබුණ ජීවිතය මට ලැබුණා වගේ දැනුණා. මට ක්‍රිස්තියානි පියතුමන්ලා කිහිප දෙනෙකුගේ මග පෙන්වීමත් ලැබුණා. ආගමික කරුණුවලට වඩා මානසිකව මම නිදහසක් ලැබුවා."

මංජුල ප්‍රසාද් පවසන පරිදි 2000 වසරේදී එනම් 25 වෙනි වියේදී ඔහු සම්පූර්ණයෙන් මත්ද්‍රව්‍යවලින් නිදහස් මිනිසෙකු බවට පත් වී තිබේ.

"මත්ද්‍රව්‍යවලින් නිදහස් වුණත් මගේ හිතේ ලොකු බරක් තිබුණා. මම ගොඩක් කල් කල්පනා කළා ඒ ඇයි කියලා. පස්සේ මට උපදේශකයෙක් කිව්වා මගේ තාත්තා ගැන මගේ හිතේ තරහක් තියෙනවා කියලා."

"ඇත්තට ම මට එතකොට තේරුණා මගේ ජීවිතය අවුල් වුණ එකට තාත්තා වග කියන්න ඕන කියන හැඟීම මගේ හිතේ තියෙනවා කියලා. තාත්තා එතකොට ජීවතුන් අතර හිටියේ නැහැ. ඒත් 2002 අවුරුද්දේ විතර මම ඒ බරින් නිදහස් වෙලා හිතින් මම තාත්තාට සමාව දුන්නා. එතනින් පස්සේ මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුණා."

පියවරක් ඉදිරියට

ඉන් නොනැවතී තමන් මෙන් ම විවිධ හේතු නිසා ජීවිතයේ හැලහැප්පීම්වලට මුහුණ දුන් පුද්ගලයින්ට උපකාර කිරීමට මංජුල තීරණය කර තිබේ. ඔහු බන්ධනාගාර රැඳවියන් හමුවී ඔවුන්ට කරුණු පහදා දී ඇත.

"මත්ද්‍රව්‍ය කියන්නේ රාක්ෂයෙක් නෙවෙයි. නිකම් ම නිකම් පඹයෙක්. ඉතින් ඒ පඹයාගේ රැවටිල්ලෙන් මට මිදෙන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මිදෙන්න උවමනාව තියෙනවා නම් ඕන ම කෙනෙකුට ඒකෙන් මිදෙන්න පුළුවන්. ඒක මම ඔප්පු කරලා තියෙනවා. මම ඒ අනුව තවත් අය මුදා ගන්න උත්සහ කරනවා."

2007 වසරේදී ඔහු විවාහ දිවියට ඇතුළත් වී ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක සමගය.

මේ වන විට ඔහු 11 හැවිරිදි දියණියකගේ සහ 6 හැවිරිදි පුතෙකුගේ සෙනෙහෙබර පියෙකි.

තමන් මතින් මුදා ගනු ලැබූ ගාල්ල, රූමස්සල නව ජීවන මධ්‍යස්ථානයේ භාරකරු ලෙස ද ඔහු කටයුතු කරයි.

මංජුල පවසන පරිදි එම මධ්‍යස්ථානය බන්ධනාගාරය තුළදී "ජීවිතය අවබෝධ කර ගත්" 'රාජා' නමැති පුද්ගලයෙකු විසින් 1990 වසරේදී ආරම්භ කරන ලද්දකි. එහි මේ වන විට මතට ඇබ්බැහි වූවන් 80 දෙනෙක් පමණ පුනරුත්ථාපනය වෙමින් සිටිති.

ඇබ්බැහි වන්නේ කෙසේ ද?

Image copyright Getty Images
Image caption "තමන්ගේ පවුල් පසුබිමේ යම් තුවාලයක් තියෙන අය වැඩි වශයෙන් මේවාට ගොදුරු වෙනවා"

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බොහෝ විට දෙමාපිය රැකවරණය සහ සෙනෙහස අහිමි වූවන් බව මංජුල ප්‍රසාද් පවසයි. ඔහු පෙන්වා දුන්නේ, මව්වරුන් විදෙස් රටවල රැකියාවලට යාම, දෙමව්පියන් දරුවන් අතහැර යාම, දෙමව්පියන් මිය යාම හෝ දෙමව්පියන් දරුවන් වෙනුවෙන් කාලය වෙන් නොකිරීම මෙම අර්බුදයට සෘජුව බලපාන බවය.

"තමන්ගේ පවුල් පසුබිමේ යම් තුවාලයක් තියෙන අය වැඩි වශයෙන් මේවාට ගොදුරු වෙනවා. ඒ නිසා වැඩිහිටියන් තේරුම් ගන්න ඕන දරුවන් වෙනුවෙන් කාලය ගත කරන්න. දරුවන් රැක බලා ගන්න. ඒ වගේ ම දෙමාපියන් නැති දරුවන් ඉන්නවා නම් ඔවුන්ට ඥාතීන්ගේ හෝ රැකවරණය ලබා දෙන්න කාරුණික වෙන්න ඕන."

"අනිවාර්යයෙන් ම මිදෙන්න පුළුවන්"

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගැනීම ඉතා අසීරු නමුත් යම් පුද්ගලයෙකුට ඉන් මිදීමට අවශ්‍යතාවක් ඇත්නම් එය අනිවාර්යයෙන් කළ හැකි බව මංජුල අවධාරණය කරයි.

"මම ඔප්පු කරලා තියෙනවා ඒක කරන්න පුළුවන් කියලා. ඒකට අවශ්‍ය හිතේ ධෛර්යයයි, ආත්ම ශක්තියයි විතරයි. මත්ද්‍රව්‍ය කියන්නේ ලොකු රැවටීමක්. ඒක ලොකු ඇස්බැන්දුමක්. පෞරුෂය කඩා වැටුණු අය හිතනවා මත්ද්‍රව්‍යවලින් ඒක වහ ගන්න පුළුවන් කියලා. මටත් වුණේ ඒකයි. ඒත් ඒක කිසි ම තේරුමක් නැති වැඩක්. තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන දැනුම් තේරුම් ඇති කෙනෙක් එක්ක කතා කළ යුතුයි."

"මට මේකෙන් ලැබෙන වැටුපෙන් සාමාන්‍ය ජීවිතයක් ගෙන යනවා. මම සතුටක් ලැබෙන්නේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ජීවිතය වරද්දා ගත්ත මිනිස්සු දවසින් දවස නිවැරදි මාර්ගයට යොමු වෙන හැටි දකින එකෙන් තමයි."