ශ්‍රී ලංකාවේ ජනාධිපති සමාව: "අපකීර්තිමත් ඉතිහාසයක් - දේශපාලන අවියක්"

Image copyright Getty Images/BBC

එළැඹෙන නිදහස් දිනයේදී ජනාධිපති සමාව ලබන සිරකරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ එම ලැයිස්තුවට ආන්දෝලනාත්මක චරිත දෙකක් ඇතුළත් විය හැකි බවට පැතිර යන රාවයත් සමඟය.

මරණ දඬුවමට නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා පෙබරවාරි 04 නිදහස් දිනයේ දී ජනාධිපතිවරයාගේ සමාව ලබා නිදහස් වනු ඇති බවට පැතිර ගිය රාවයට ප්‍රතිචාර දක්වමින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පසුගියදා පාර්ලිමේන්තුවේ දී ඊට එරෙහිව අදහස් දැක්වූවාය.

දැනට සිරගතකර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව හිමි වීමට ඉඩ ඇති බවට ද අදහසක් සමාජගත වීමත් සමඟ ඊට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.

එමෙන්ම, ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා නොදිය යුතු බව 'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ' සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ.

කෙසේ නමුත් ජනාධිපති සමාව සම්බන්ධයෙන් පැතිර යන රාවයන් පිළිබඳ ජනපති මෛත්‍රිපාල සිරිසේන පාර්ශ්වයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

ඒ අතරතුර, ඕනෑම සිරකරුවෙකුට සමාව දීමට ජනාධිපතිවරයා සතු බලය පිළිබඳව ද විවිධ මත පළවෙමින් පවතී.

"රසවත් ඉතිහාසය"

මේ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී, ප්‍රවීණ නීතිවේදියෙකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා කියා සිටියේ ජනාධිපති පොදු සමාව "බොහෝ අවස්ථාවන්හි දී දේශපාලන අවියක්" ලෙස භාවිත වන බවය.

Image caption අචාර්ය ප්‍රතිභා මහානාමහේවා

"මේකේ රසවත් ඉතිහාසයක් තියෙනවා. ඉස්සෙල්ලම තිබුණේ ජනාධිපතිගේ සමාවක් නෙවෙයි. රැජිනගේ සමාව. ඊට පස්සේ ආණ්ඩුකාරයාගේ සමාව." යැයි ඔහු පැහැදිලි කරන්නට යෙදුණි.

"ඉස්සර ඩොනමෝර් හෝ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුකාරයාගේ සමාව තිබුණට, නිසි පරිදි නඩු අහල දඬුවම් ලබපු අයව නිදහස් කළේ නැහැ. බණ්ඩාරනායක ඝාතනයට හසු වූ සෝමාරාම නිදහස් කරන්න කියල ඉල්ලීමක් ඉදිරිපත් වුනා. ඒත් නිදහස් කළේ නැහැ."

"78දී ජනාධිපතිවරයාට මේ බලය දාල ලියා ගත්ත. ඒක අධිකරණයට කරන බලපෑමක්." ආචාර්ය මහානාමහේවා තවදුරටත් පැවසීය.

'ජනාධිපතිකම හෑල්ලු කිරීම'

මෙම ව්‍යවස්ථාපිත බලයට "අපකීර්තිමත් ඉතිහාසයක්" ඇති බව පවසන ආචාර්ය මහානාමහේවා "එදා ගෝනවල සුනිල් ඇතුළු මැරවර පිරිස හිරේට දාල හිටියේ. ඒ කට්ටියව එළියට ගන්න ඕන වෙලා හිටියේ. ඒ අයව විතරක් ගන්න බැරි නිසා විජේවීර ඇතුළු පිරිසකුත් එක්ක මැරවරයෝ ටිකත් එළියට ගත්ත." යනුවෙන් ප්‍රකාශ කළේය.

"ඒ විතරක් නෙවෙයි, එක්තරා හිටපු ඇමතිවරයෙකුගේ බිරිඳ ඉතාලි යවන කෙනෙක්ව මරල දැම්ම. හිරේට ගියා. එයත් එළියට ආව."

මේ තත්ත්වය 'ජනාධිපතිකම හෑල්ලු කිරීමක්' බව පෙන්වා දෙන ආචාර්‍ය ප්‍රතිභා මහානාමහේවා, එම වගන්තිය කිසිදු ව්‍යවස්ථා සංශෝධනයකදී ඉවත් කර නැති බව ද කියා සිටියේය.

Image copyright FACEBOOK
Image caption ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද්‍රි සපරමාදු

ජනාධිපති වෙත මෙවැනි බලයක් පැවරී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වෙනි වගන්තියෙනි.

"ලංකාවේ ඕනෑම උසාවියකින් ඕනෑම වරදකට දඬුවම් ලබපු කෙනෙකුව කොන්දේසි විරහිතව නිදහස් කිරීමේ බලය ඔහුට තියෙනවා."යැයි එම බලය පැහැදිලි කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විශේෂඥ මාණ්ඩලික සාමාජිකාවක් වන නීතීඥ චමින්ද්‍රි සපරමාදු පැවසුවාය.

"නමුත් මරණ දඬුවමට නියම වූ කෙනෙක් නිදහස් කරනවනම් එය සිදු වෙන්නේ ඒ නඩුව අහපු නඩුකාරවරයාගෙන් වාර්තාවක් කැඳවල, එය නීතිපතිට යොමු කරල නිර්දේශ ලබාගෙන, අධිකරණ ඇමතිවරයාගෙනුත් වාර්තාවක් ලබාගෙනයි." යැයි ඇය තවදුරටත් පැහැදිලි කළාය.

බලතල සංශෝධනය

කෙසේ නමුත් ව්‍යවස්ථා සභා මණ්ඩලය විසින් සකස් කරන ලද වාර්තාවක් ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුව තුළ සභාගත කෙරුණු බවත් සිරකරුවන් නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයා සතු බලතල සංශෝධනය විය යුතු බවට එහිදී යෝජනා කෙරුණු බවත් නීතීඥවරිය හෙළිදරව් කළාය.

"එකේ යෝජනා කරල තිබුණ ජනාධිපති සමාව දිය යුත්තේ යම්කිසි කමිටුවක් හරහා සිදුවන සාකච්ඡාවකින් පස්සේ කියල. විධායක බලතල අඩු කර පාර්ලිමේන්තු ක්‍රමයකට යෑමේ දී අගමැතිවරයා විසින් එය ක්‍රියාත්මක වන ආකාරයකට තමයි මේ යෝජනාව ඉදිරිපත් වෙන්නේ."

"හැබැයි මේ යෝජනා ගැන තවම පාර්ලිමේන්තුවේ විවාදයක් වත් තිබිල නැහැ." නීතීඥ චමින්ද්‍රි සපරමාදු පැවසුවාය.

සම්මත නිර්ණායක

Image copyright FACEBOOK
Image caption ජ්‍යෙෂ්ඨ නීතීඥ ශානිකා අතපත්තු රාජපක්‍ෂ

මේ පිළිබඳව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතීඥවරියක වන ශානිකා අතපත්තු රාජපක්‍ෂ බීබීසී සිංහල සේවයට කියා සිටියේ ඇතැම් සිරකරුවන්ට සමාව දීම සිදුවිය යුත්තක් වන නමුත් ඕනෑම වරදක් කළ සිරකරුවෙකු නිදහස් කිරීමේ අසීමිත බලය තනි පුද්ගලයෙකු සතුව තිබීම භයානක බවය.

"යම්කිසි නිර්ණායකයන් අනුගමනය කරල ඒක කරනවනම් හොඳයි. නැතිව හිතුමතේට තමන්ට දේශපාලන වාසි ලබාගන්න කරනවනම් ඒක යුතු නැහැ. දේශපාලන වාසි තකා පාතාලේ අයව නිදහස් කරගත්ත අවස්ථා පවා ඉතිහාසයේ තියෙනවා." ඇය ප්‍රකාශ කළාය.

නිදහස් කිරීම සඳහා සිරකරුවන් තෝරාගැනීම සඳහා සම්මත කරගන්නා නිර්ණායක ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කළ යුතු අතර එය ජනාධිපති තනි කැමැත්තට නොවැ කමිටු නිර්දේශයක් හරහා විය යුතු බව ද ඇය පෙන්වා දෙන්නීය.

නිදහස් දිනය හෝ ජනාධිපති පදවි ප්‍රාප්තියක් උදා වෙද්දී මෙන්ම වෙසක් පොහෝ දිනය සහ ඇතැම්විට නත්තල් දිනයේදී සිරකරුවන් නිදහස් කිරීම සම්මත සම්ප්‍රදායකි.

Image copyright FACEBOOK
Image caption බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය

ජනාධිපතිවරයාගේ සමාව හිමිවිය යුතු සිරකරුවන් තෝරා ගැනීමේදී කිසිදු නිර්ණායකයක් සලකා නොබලන්නේ දැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් අපි විමසීමක් කළෙමු.

ඊට පිළිතුරු දෙමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය කියා සිටියේ එවැනි සම්මත නිර්ණායක මාලාවක් නොපවතින නමුත් අධිකරණ අමාත්‍යංශය මගින් ඒ ඒ අවස්ථාවන් හි නිර්ණායක ඉදිරිපත් කරන බවය.

දේශපාලන ඉතිහාසය

"සම්මත නිර්ණායකයක් කියල කියන්න බැහැ. මේ වන තෙක් තිබෙන අත්දැකීම් අනුව කියන්න පුළුවන් බොහෝ වෙලාවට බරපතළ නොවන වැරදි වලට සිටින අය තමයි නිදහස් කරන්නේ."

"යම් කෙනෙක් නිදහස් වීමට අදාළ පසුබිම අපට අදාළ නැහැ. ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කරනවා. සමහරවිට අමාත්‍යංශය හරහා නිර්දේශ වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්." ඔහු පැවසීය.

"නිදහස් කරන්නේ කොයි වගේ අයද කියල තීරණය කෙරෙන නිර්ණායක නිර්දේශ වෙන්නේ අධිකරණ අමාත්‍යංශයෙන්. ඒ නිර්ණායක පවා වෙනස් කරල තීන්දු ගැනීමේ බලතල ජනාධිපතිවරයාට තියෙනවා."

"ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව බලනවා ලබා දී තිබෙන නිර්ණායකවලට ඇතුළත් වෙන්නේ කොයි සිරකරුවන් ද කියල." බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය බීබීසීයට ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ, හිටපු ඇතැම් ජනාධිපතිවරුන්ගේ සමාව යටතේ නිදහස ලැබූ සිරකරුවන් කිහිප දෙනෙකු පිළිබඳව නීතිවේදී ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මෙසේ සිහිපත් කළේය.

  • "විජේවීර ජනාධිපති සමාවෙන් නිදහස ලැබුවා."
  • "විජය කුමාරතුංග නැක්සලයිට්වලට හිරේ ගියා. පස්සේ ජනාධිපති සමාව ලැබුණා."
  • "වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් බදු මුදල් විශාල ප්‍රමාණයක් වංචා කරල හිරේ ගියා. එයාව එළියට ගත්ත."
  • "හිටපු ඇමතිවරයෙකුගේ බිරිඳ අමු අමුවේ කෙනෙක්ව මරල දැම්ම. මහ අධිකරණයෙන් පවා මරණ දඬුවම දුන්න. එයාවත් එළියට ගත්ත."
  • "පාතාලේ චන්ඩි, ගෝනවල සුනිල්, දෙමටගොඩ සනා. සමහර අය ජීවතුන් අතර ඉන්න නිසා නම කියන්න බැහැ. මට මරණ තර්ජන එන්න පුළුවන්."
  • "මෑත කාලයේ නම් එස් බී දිසානායක, සරත් ෆොන්සේකා ජනාධිපති සමාවෙන් එළියට ආව."

"රුපියල් සීයේ දඩය"

ඔහු තවදුරටත් කියා සිටියේ "සමාව දෙන්න ඕන අය ඉන්නවා. දරුවන්ට කන්න දෙන්න කොස් ගෙඩියක්, පොල් ගෙඩියක් කඩා ගත්ත දහස් ගානක් ඉන්නවා" යනුවෙනි.

"රුපියල් සීයේ දඩය ගෙවාගන්න බැරි අය ඉන්නවා. ඒ වුනාට මිලියන ගානක් බදු මුදල් වංචා කළ අය නිදහස්. සමහර අය ඉන්නවා, ඇප දෙන්න කෙනෙක් නැතුව තාම ඇතුළේ. එක සිරකරුවෙක් නඩත්තු කරන්න දවසකට රුපියල් 600ක් යනවා. සමහර අය වංචා කරල තියෙන්නේ රුපියල් සීයයි." ඔහු පැවසීය.

"දුක් විඳින පුංචි දරුවන්"

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ක්‍රියාකාරිනිය වන ශමිලා ලියනආරච්චි බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ සියලුම සිරකරුවන් පිළිබඳව සමාලෝචනයක් කළ යුතු බවය.

"මීට අවුරුදු දෙකකට විතර කලින් ඉඳල අපි උද්ඝෝෂණ මාලාවක් දියත් කළා, මේ සිරකරුවන් ගැන සමාලෝචනයක් කරන්න කියල. ඒ සමාලෝචන ක්‍රියාත්මක වුනේ නැහැ." ඇය කතාවට මුල පිරුවාය.

"සල්ලි තියෙන කෙනා වියදම් කරල කොහොම හරි නිදහස් වෙයි. නැති මිනිහා හැමදාම අච්චුවේ. අනිත් එක අධිකරණය තීන්දුව දෙන්නෙත් ඒ ගොල්ලන්ට ඉදිරිපත් කරන තොරතුරු අනුවනේ. බොහෝ විට ඒ තොරතුරු ඉදිරිපත් කරන්නේ පොලිසියනේ."

Image copyright FACEBOOK
Image caption සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ශමිලා ලියනආරච්චි

"මේ විදියට ඇතුළට ගිය කී දෙනෙක් ඇත්ද? ඒ වගේ අය අවුරුදු තිහ හතළිහ තාම ඉන්නවා. ඒ අයට සමාව දෙන්න කවුරුත් නැහැ. තමන්ට අවශ්‍ය අයව එළියට ගන්නවා."

"අපි නිතරම යනවා මේ සිරකරුවෝ බලන්න. පෞද්ගලික පලිගැනීම් සඳහා කුඩු අතින් දාලා ජීවිතාන්තය දක්වා හිරේට දාපු කී දෙනෙක් ඇත්ද? මිනිහා හිරේ නිසා අතරමං වෙච්ච අඹු දරුවෝ කොච්චර ඉන්නවද? අම්ම හිරේ නිසා දුක් විඳින පුංචි දරුවන්ට යන කළ දසාව? ඇයි මේවා ගැන සමාලෝචනයක් කරල තීරණයක් ගන්න බැරි." ඇය ප්‍රශ්න කළාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර