බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාව ගැන කරුණු හතක්

Image copyright Getty Images
Image caption 1958 වසරේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ බ්‍රිතාන්‍යයේ දෙවෙනි එලිසබෙත් රැජින

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා 2019 පෙබරවාරි 04 වෙනි දිනට වසර 71 ගතව තිබේ. එතැන් සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථීක සහ සංස්කෘතික පසුබිම විශාල පරිවර්තනයකට ලක්ව ඇත. ශ්‍රී ලංකාවේ පැවැත්මට එකී වෙනස්කම් සාධනීය වශයෙන් මෙන් ම නිෂේධනීය අයුරින් ද බලපා ඇති බව දත්ත සහ සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී පෙනී යයි.

පහත දැක්වෙන්නේ ගෙවුණු 71 වසර තුළ ආර්ථික සහ සමාජීය වශයෙන් ශ්‍රී ලංකාවට බලපාන ක්ෂේත්‍ර කීපයක විකාශනය පිළිබඳ බීබීසී සිංහල සේවය කළ කෙටි පසුවිපරමකි.

01. ශ්‍රී ලංකාවේ ජනගහනය

ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 1946 මාර්තු 19 වෙනි දින වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය වාර්තා වී ඇත්තේ 6,657,339 ක් (හැටහය ලක්ෂ පනස් හත්දහස් තුන්සිය තිස් නවයක්)ලෙසය. 2017 වසරේ ඇස්තමේන්තුගත මාධ්‍ය වාර්ෂික ජනගහනය දෙකෝටි දාහතර ලක්ෂයකි (මිලියන 21.4).

එම සංඛ්‍යාවෙන් 48.4% ක් පුරුෂයන් වන අතර කාන්තාවන්ගේ ප්‍රතිශතය 51.6% ක් වේ.

1871 සිට 1981 වසර දක්වා ශ්‍රී ලංකාවේ පවත් වන ලද සෑම ජන සංගනනයකදීම පුරුෂයන්ගේ ප්‍රතිශතය වැඩි අගයක් ගෙන තිබුණි. එහෙත් මෑත කාලයේ දක්නට ලැබුණු ප්‍රවණතාව වන්නේ පිරිමින්ගේ ප්‍රතිශතය අභිබවා කාන්තාවන්ගේ ප්‍රතිශතය ඉහළ යාමය. ශ්‍රී ලංකාව නිදහස ලබන විට කාන්තාවන්ගේ ප්‍රතිශතය 46.9% ක් වූ අතර 2012 වන විට එම ප්‍රතිශතය 51.6% දක්වා වන කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාව නිදහස ලබන කාලය වන විට වාර්ෂික ජනගහන වර්ධන අනුපාතය 1.7% ක් වූ අතර එය මේ වන විට 0.7% දක්වා පහත වැටී තිබේ.

1981 වසරේදී මුළු ජනගහනයෙන් 6.6% ක් වූ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන්ගේ ප්‍රතිශතය වර්තමානයේදී 12.4% ක් දක්වා වැඩි වී ඇති අතර එම තත්ත්වය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු වී ඇති ප්‍රබල කරුණකි. ජනගහන වර්ධනය අඩු මට්ටමක පැවතිම සහ ආයු අපේක්ෂාව සාපේක්ෂව ඉහළ යාම වයස්ගත ජනගහනයේ ප්‍රතිශතය වැඩි වීමට හේතු වී ඇත. එකී තත්ත්වය රටේ සමාජ හා ආර්ථීක ක්ෂේත්‍රයන්ට සෘජු ලෙස බලපානු ලැබේ. මෙවැනි ජනගහන ප්‍රවණතා හේතුවෙන් ශ්‍රම බලකා සහභාගීත්වය අඩුවීම, යැපුම් අනුපාතය වැඩිවීම, ඵලදායීතාව අඩුවීම, ඉතුරුම් අනුපාතික අඩුවීම සහ සමාජ සුබ සාධන සඳහා රජයේ මුදල් වැඩි විශයෙන් වියදම් වීම වැනි කරුණු ආර්ථිකයට සෘජුව බලපා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

2012 වසරේ ජන සංගනනයට අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 74.9% ක් වූ බහුතරය සිංහල ප්‍රජාවට අයත්ය. වේ. දෙමළ ප්‍රජාව 15.1% ක් ද මුස්ලිම් ප්‍රජාව 9% ක් ද වන අතර 0.5% වෙනත් ප්‍රජාවන්ට අයත්ය.

02. වන ගහනය

නිල වාර්තාවලට අනුව 1948 වසරේ නිදහස ලබන විට ශ්‍රී ලංකාවේ වන ගහනය 66% කි. එහෙත් අද වන විට එම ප්‍රමාණය 29% දක්වා අඩුවී තිබේ. ගෙවුණු 71 වසර තුළ ලංකාවේ වැඩිම තර්ජන එල්ලවී ඇත්තේ බස්නාහිර පළාත තුළ ඇති වනාන්තර පරිසර පද්ධති වෙතය. කොළඹ මුල් කර ගනිමින්ශ්‍රී ලංකාවේ ආර්ථීක කේන්ද්‍රස්ථානය නිර්මාණය වීම තුළ කොළඹ හා ඒ අවට ජන ඝනත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. 2012 ජන හා නිවාස සංගණනයට අනුව කොළඹ ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 3,578 කි. ශ්‍රී ලංකාවේ වැඩිම ජන ඝනත්වයක් පිහිටි සෙසු දිස්ත්‍රික්ක දෙක වන ගම්පහ සහ කලූතර දිස්ත්‍රික්ක අයත් වන්නේ ද බස්නාහිර පළාතට බැවින් එහි වාසස්ථාන, කර්මාන්තශාල හා සෙසු ඉදිකිරීම් සඳහා විශාල වනාන්තර ප්‍රමාණයක් එළි කර තිබේ.

නිදහසින් පසුව රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවූ සමාජයේ වැඩිම කතාබහකට ලක්වූ වන විනාශය වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක පාලන සමයේ දී සිංහරාජ වනයේ ගස් කැපීමය. මීට අමතරව පසුගිය වසර කීපය තුළ විල්පත්තු ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වන විනාශයක් සිදුවන බවට විශාල වශයෙන් චෝදනා එල්ල විය.

මහවැලිය ඇතුලූ ගංගා ආශ්‍රිතව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ද ලංකාවේ වන විනාශයට ප්‍රධාන හේතුවක් වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහ පෙන්වා දෙයි. වනාන්තර අනවසරයෙන් අත්පත් කර ගැනීම මෙන්ම වනාන්තරවල වටිනාකම ගැන ජනතාව තුළ නිසි අවබෝධයක් හා උනන්දුවක් නොමැති වීම ද නිදහසින් පසු මේ තත්ත්වය උදා වන්නට හේතු වූ බව මහාචාර්යවරිය කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"මහවැලි ව්‍යාපෘතිය කෘෂිකර්මාන්තයට හිතකර වුවත් එමගින් විශාල වන විනාශයක් සිදු වුනා, ශ්‍රී ලංකාව තුළ වනාන්තර සුරැකීම සඳහා ප්‍රමාණවත් නීති පැවතියත් ඒවා ක්‍රියාත්මක නොවීම ගැටලුවක් "

03. ඇ. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය

ශ්‍රී ලංකා මහා බැංකු වර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ භාවිත වූ ප්‍රථම ව්‍යවහාර මුදල් ඒකකය "කපාන" ලෙස හඳුන්වා තිබෙන අතර එය භාවිතයට ගෙන තිබෙන්නේ අනුරාධපුර යුගයේදීය. එතැන් පටන් අද භාවිත කරන රුපියල දක්වා ශ්‍රී ලංකාව තුළ විවිධ ව්‍යවහාර මුදල් ඒකක භාවිතයට ගෙන තිබේ.

බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාව පාලනය කරන විට වෙනත් රටවල් සමග ගනුදෙනු කෙරුණේ බ්‍රිතාන්‍ය හරහා බැවින් ජාත්‍යන්තර ගනුදෙනු සඳහා එවක ස්ටලිං පවුම් සහ ඉන්දීය රුපියල භාවිත කෙරුණි. එහෙත් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ශ්‍රී ලංකාව වෙනත් රටවල් සමග සෘජු ගනුදෙනු ආරම්භ කිරිමේදි ජාත්‍යන්තර මුදල් ඒකකය (විදේශ විනිමය) තීරණය කිරීමට සිදු විය. එහිදී ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇත්තේ ඇමෙරිකානු ඩොලරයයි. එබැවින් ඩොලරයේ අගය අද ශ්‍රී ලංකාවේ ආර්ථීකය පිළිබඳ ඉතා වැදගත්ම සාධකයකි.

නිල වාර්තාවලට අනුව 1976 වසර වන විට ඩොලරයේ අගය පැවතියේ රුපියල් 8.80ක් ලෙසය. 1977 වසරේ ජේ.ආර් ජයවර්ධන රජය අපනයන සඳහා රට යොමු කිරිමේ උත්සාහය හේතුවෙන් ඩොලරයේ අගය 15.5 දක්වා වැඩි වූ බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ඉන්ද්‍රජිත් අපෝන්සු පැවසීය. එම පසුබිම මත 1978 වන විට 16% පැවති උද්ධමනය 80 දශකය ආරම්භ වන විට 33% දක්වා ඉහළ ගිය බව කී ඔහු 81 වැඩවර්ජනයට ද එය හේතු වූ බව කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. රටේ ආදායම පිළිබඳ නිසි අවධානයකින් තොරව සුබ සාධන කටයුතු ඉහළ නැංවීම, මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භය, ණය ඉහළ යෑම සහ නාස්තිය, දූෂණය වැනි හේතු මුල් කර ගනිමින් ඩොලරයේ අගය වැඩිවීමේ ගැටලුව ශ්‍රී ලංකාවේ ආර්ථීකයට තදින් දැනෙන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුණි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ ඉහළම අගය පසුගිය ජනවාරී මාසයේ වාර්තා විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල නිල වාර්තා පෙන්වා දෙන පරිදි 2018 පෙබරවාරි 06 වෙනිදා ඩොලරයේ අගය රුපියල් 154 කි. 2018 අගෝස්තු 10 වෙනිදා එම අගය රුපියල් 160.00 ඉක්මවා ගිය අතර 2018 ඔක්තෝම්බර් 05 වෙනිදා එහි අගය වාර්තා වූයේ රුපියල් 170.00 ලෙසය. 2018 දෙසැම්බර් 19 වෙනිදා පළමු වරට රුපියල් 180.00 ඉක්මවු ඩොලරයේ අගය 2019 ජනවාරි 04 වෙනිදා 182.82 (රුපියල් 183.00) දක්වා ඉහළ ගියේ ය. එහෙත් මේ වන විට ඩොලරයේ අගය රුපියල් 177.00 ක් පමණ වේ.

04. දුම්රිය සේවය

Image copyright Getty Images

1948 නිදහස ලබන විට ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ දුම්රිය භාවිත කෙරණේ භාණ්ඩ ප්‍රවාහනය සඳහාය. එහෙත් ගෙවුණු 71 වසර තුළ දුම්රිය ප්‍රවාහන සේවයේ ප්‍රධාන අරමුණ භාණ්ඩ ප්‍රවාහනයේ සිට මගී ප්‍රවාහනය දක්වා පරිවර්තනය වී ඇත.

නිදහසින් පසු දුම්රිය මාර්ග තුනක් අලූතින් ඉදි කර ඇති අතර තවත් මාර්ග දෙකක ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත.

නිදහසින් පසු පළමුව දුම්රිය ගමන් අත්හිටුවනු ලැබුවේ නානුඔය සිට නුවරඑළිය හරහා රාගල දක්වා වැටී තිබු උඩුපුස්වැල්ලාව දුම්රිය මාර්ගයේය. ඉන් අනතුරුව 70 දශකයේ දී කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හා ඕපනායක අතර දුම්රිය ධාවනය අත්හිටුවන ලදී. පාඩු ලැබීම පදනම් කරගෙන එම දුම්රිය මාර්ග දෙක භාවිතයෙන් ඉවත් කෙරුනු බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන පරිදි එලෙස පාඩු ලැබීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ලොරි හා අනෙකුත් වාහන ලංකාවට ගෙන්වීම නිසා වැවිලිකරුවන් සිය නිෂ්පාදන කොළඹට රැගෙන ඒම සඳහා එකී ප්‍රවාහන ක්‍රමවලට යොමු වීමය.

නිදහසින් පසු ශ්‍රී ලංකාව හැටේ දශකයේදී පුත්තලම හා අරුවක්කාලූ අතර දුම්රිය ධාවනය ආරම්භ කළේය. පුත්තලමේ ස්ථාපිත කෙරුණු සිමෙන්ති කම්හලට අවශ්‍ය හුණුගල් ප්‍රවාහනය සඳහා එම දුම්රිය මාර්ගය ඉදි කෙරිණි. 90 දශකයේ මුල් භාගයේ දී අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා ද දුම්රිය සේවය දීර්ඝ කෙරුණි. නිදහසින් පසු දුමිරිය මාර්ග පද්ධතිය පුළුල් කරමින් ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කළ සුවිශේෂ අවස්ථාව වන්නේ මාතර සිට ඛෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමය.

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ අප්‍රකට තොරතුරු පිළිබඳ කෘති රචනා කළ දුම්රිය ස්ථානාධිපතිවරයෙකු වන නලීන් අබේසිංහ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ 1920 වන විට මුහුදුබඩ දුම්රිය මාර්ගය මාතරට සීමා වුවද වෙනත් වාහන වලින් දකුණේ භාණ්ඩ එක් රැස්කර මාතර සිට දුම්රියෙන් කොළඹට ප්‍රවාහනය කිරීමේ ක්‍රමයක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබූ බවය. කූරියර් ක්‍රමයට මෙන් ප්‍රවාහනය සඳහා භාණ්ඩ එක් රැස් කරන දුම්රිය දෙපාර්තමේන්තුවේ මධ්‍යස්ථාන එවක දික්වැල්ල, රන්න, ඛෙලිඅත්ත හා තිස්සමහාරාමය වැනි ප්‍රදේශවල පිහිටා තිබූ බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක පොදු ප්‍රවාහන මාධ්‍ය සැලකීමේදී දුම්රිය සේවයට ප්‍රධාන ස්ථානයක් හිමිවන අතර නියමිත වේලාවට දුම්රිය ධාවනය නොවීම, දුම්රිය අවලංගුවීම් හා ප්‍රමාණවත් පසසුකම් නොමැතිකම දුම්රිය මගීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු අතර වේ.

05. කාන්තා අයිතිවාසිකම්

නිදහසට පෙර සිටම ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඡන්ද අයිතිය හිමි ව තිබුණි. එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් ප්‍රභූ පවුල්වල කාන්තාවෝ ක්‍රියාකාරී දේශපලනයට පිවිසියහ. එහෙත් ජනගහනයට සාපේක්ෂව ගෙවුණු කාලය තුළ ශ්‍රී ලාංකේය දේශපාන ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය ගැන කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව පෙනී යයි.

සිරිමාවෝ බණ්ඩාරනායක ලොව පළමු අගමැතිනිය ලෙස පත් වූයේ 1959 වසරේදීය. ඉන් අනතුරුව චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග 1994 ජනාධිපති ධුරයට පත් විය.

කෙසේ නමුත් පළාත් පාලන ආයතන සඳහා මහජන නියෝජිතයන් පත් කර ගැනීමේදී කාන්තා නියෝජනය 25% ක් කරමින් 2018 වසරේ කෝටාවක් හඳුන්වා දුන් අතර පළාත් සභා සහ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ඉතාමත් අඩු මට්ටමක පවතී.

මේ අතර විවිධ ක්ෂේත්‍ර තුළ කාන්තාවන්ගේ ශ්‍රමය බොහෝ විට සූරා කෑමකට ලක්වන බවට චෝදනා එල්ල වේ. විශේෂයෙන් වතු සහ ඇඟලුම් ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියාවල නිරත කාන්තාවන් එම තත්ත්වයට වැඩි වශයෙන් මුහුණ දි ඇත.

06. මැද පෙරදිග ශ්‍රමිකයන්

Image copyright SLBFE

නිදහස ලබන සමය වන විට ද ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියාවල නිරතව සිටි නමුත් මැද පෙරදිග රටවල ගෘහ සේවය සඳහා පිටත්ව යෑමේ ප්‍රවණතාවක් දක්නට නොලැබුණි. එහෙත් 70 දශකය වන විට සෞදි අරාබිය, ලෙබනන්, ඕමාන්, ජෝර්දාන්,බහරේන්, කටාර්, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුලූ රටවලට ගෘහ සේවයේ රැකියා සඳහා පිටත්ව යෑමේ සමාජ ප්‍රවණතාවක් රට තුළ දක්නට ලැබේ.ඒ තුළින් රටට විදේශ විනිමය ගලා ඒමේ නව මාර්ගයක් විවෘත විය.

2012 ජන සංගණනයට අනුව 306,368 ක් රැකියා සඳහා විදේශ ගතවී ඇත. ඉන් වැඩිම ප්‍රතිශතය වූ 19.7% රැකියාවට ගොස් තිඛෙන්නේ සෞදි අරාබිය වෙතය. ජෝර්දානය හා කාටාර් රාජ්‍යයයන් දෙවන හා තුන්වන තැනට පත්ව තිබේ.

විදේශගත වන්නන්ගෙන් බහුතරය ග්‍රාමීය ජනතාව බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. අතීතයේදී නුපුහුණු ශ්‍රමිකයන් විදේශගත වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබුනද දැන් එම තත්ත්වය ක්‍රමයෙන් පාලනය වි ඇත.

පසුකාලීනව මැද පෙරදිග රැකියාවන් සඳහා කාන්තාවන් විදෙස් ගත වීම නිසා දරුවන්ට රැකවරණය අහිමි වීම, අධ්‍යාපනය කඩාකප්පල් විම, මානසික පීඩාකාරී තත්වයන් මෙන්ම ලිංගික හිංසනයට ලක්වන අවස්ථා ද වැඩිපුර වාර්තා විය.

රාජ්‍ය අනුග්‍රහය මත පුහුණු ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමේ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක වේ. විශේෂයෙන් මේ තත්ත්වය පාලනය සඳහා රජය ඇතැම් අවස්ථාවලදී නව නීති පවා හඳුන්වා දුන්නේය. කුඩා දරුවන් සිටින මව්වරුන්ට විදේශගත වීමට අවසර නොදීම ඒ සඳහා එක් උදාහරණයකි.

07. ජන අරගල

Image copyright Getty Images

1948 සිට මේ දක්වා දේශපාලන සහ සමාජීය අයිතිවාසිකම් මුල් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ජන අරගල නිර්මාණය වී ඇත. 1956 හර්තාලය, දකුණේ තරුණ පිබිදීම සහ සිවිල් යුද්ධය ඒ අතරින් සුවිශේෂිය.

1956 වසරේ සිංහල ජාතිකවාදී ව්‍යාපාරය ඔස්සේ අගමැති ධුරයට පත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කළ අතර සිංහල බෞද්ධ මතවාදය ශක්තිමත් කිරීම සඳහා නව නීති හඳුන්වා දුන්නේය. ඊට එරෙහිව මතු වූ විරෝධතා හමුවේ දෙමළ ජාතිකයන් සියයකට අධික පිරිසක් මරුමුවට පත් විය.

1958 වසරේ හටගත් දෙමළ විරෝධී කෝලාහල හමුවේ දෙසීයකට අධික පිරිසක් මරණයට පත් වූ අතර දෙමළ ජාතිකයන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි විය.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ නායකත්වයෙන් 1971 දී දකුණේ කැරැල්ලක් නිර්මාණය විය. රැසියාවේ අධ්‍යාපනය ලැබූ විජේවීර ධනේෂ්වර සමාජ ක්‍රමයට එරෙහිව කැරලි ගැසුවේය. රැකියා විරහිත උපාධිධාරීන් ඇතුළු තරුණ කොටස් කැරැල්ලට එක්වූහ. තරුණයන් 1,500 ක් පමණ එහිදී ඝාතනයට ලක් වූහ.

1972 වසරේදී ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස නම් කරන ලද අතර රටේ ආගම් අතරින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් හිමි විය.

දෙමළ බහුතරය වෙසෙන උතුරු සහ නැගෙනහිර පැවති අවිනිශ්චිත වාතාවරණය ඉහළ යාමත් සමග 1976 වසරේදී එල්ටීටීඊ සංවිධානය බිහි විය.

Image copyright Chandraguptha Amarasinghe

1977 වසරේදී බෙදුම්වාදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) දෙමළ බහුතරය වෙසෙන පලාත්වල සියලු ආසන දිනාගත් අතර දෙමළ විරෝධී කෝලාහල හමුවේ සිය දෙනෙකුට අධික පිරිසක් මරණයට පත් විය.

1983 වසරේදී එල්ටීටීඊ සංවිධානය විසින් යාපනයේදී හමුදා භටයන් දහතුන් දෙනෙකු ඝාතනය කරනු ලැබීමත් සමග "කළු ජුලිය" ඇතුළු දෙමළ විරෝධී කෝලාහල හටගැනිණි.

ජනතා විමික්ති පෙරමුණේ දෙවන කැරැල්ල 1988-1989 කාලයේදී වඩාත් සක්‍රීය විය. රාජ්‍ය දේපලවලට දැඩි හානි සිදු වූ අතර කොපමණ ජීවිත සංඛ්‍යාවක් අහිමි වුවාද යන්න පිළිබඳ නිල සංඛ්‍යා ලේඛන නොමැත. කෙසේ නමුත් හැටදහසක් පමණ මරණයට පත්ව ඇති බව විශ්වාස කෙරේ.

ශ්‍රී ලංකා රජයේ හමුදා සහ එල්ටීටීඊ සංවිධානය අතර පැවති සිවිල් යුද්ධය අතරතුර දකුණේ දේශපාලනඥයන් රැසක් ඝාතනයට ලක් විය.

වසර තිහකට ආසන්න කාලයක් පැවති ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය 2009 වසරේ අවසන් වූ අතර එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්විණි. එකී කාලය තුළ උතුරේ සහ දකුණේ ජීවිත ලක්ෂයක් පමණ අහිමි විය.

යුද්ධයේ අවසාන අදියරයේ යුද අපරාධවල යෙදුනු බවට දෙපාර්ශවයටම චෝදනා එල්ල වන අතර ශ්‍රී ලංකා ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර