චාල්ස්, ශිරාණි සහ දිල්රුක්ෂි : ශ්‍රී ලංකාවේ ඉහළ තනතුරු සහ කාන්තාවෝ

නිසි ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වූ බව පවසමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගිය සතියේ රේගු අධ්‍යක්ෂ ජනරාල් පීඑස්එම් චාල්ස් පදවියෙන් ඉවත් කරනු ලැබීම මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

විවිධ ජාවාරම්කරුවන් සහ ඇතැම් ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන්ගේ බලපෑම මත ඇය එසේ ඉවත් කරන ලද බව පවසමින් රේගු නිලධාරීන් සහ වෘත්තීය සමිති එයට දැඩි විරෝධය පළ කළහ.

රේගු ප්‍රකාශක සුනිල් ජයරත්න ඇය හඳුන්වා දුන්නේ, මෑත යුගය තුළ රේගුවේ පාලනය වෙනුවෙන් පත් කෙරුණු "ඉතාමත් ම දක්ෂ නිලධාරිනියක" ලෙසිනි.

විශේෂයෙන් ම රේගුවේ වෘත්තීය සමිති නියෝජිතයන් භාණ්ඩ නිශ්කාෂණයට සම්බන්ධ පිරිස්, බැංකු ක්ෂේත්‍රයේ සහ සිවිල් සේවකයන් ඇතුළු කණ්ඩායම මුණ ගැසුණු අවස්ථාවේ පී සරෝජිනී චාල්ස් අධ්‍යක්ෂ ජනරාල්වරියට සහය පළ කළ බවත් ඔහු සඳහන් කළේය.

"අවංක චරිතයක්. ඒ නිසා තමයි මේ කනගාටුව. නායකයෙක් විදියට නෙවෙයි වැඩ කරන තැනට බැහැල වැඩ කරපු, මිනිස්සුත් එක්ක ඉන්න නායිකාවක් හැටියට තමයි අපි දකින්නේ," ඔහු පැවසීය.

වසර 15 කට පසුව ප්‍රථම වතාවට රේගු නිලධාරීන් විශාල පිරිසකට එක් වර දඬුවම් පැමිණ වීමට ද අධ්‍යක්ෂ ජනරාල්වරිය කටයුතු කළ නමුත් කිසිවෙකුත් එයට එරෙහි නොවූ අතර, වෘත්තීය සමිති පවා ඇය ගත් පියවරට සහය දුන් බව රේගු ප්‍රකාශකවරයා කියා සිටියේය.

"අපිත් කැමතියි වංචා, දූෂණ නැති, අපරාධ නැති සමාජයක් දකින්න. නිලධාරීන්ට දූෂණවලට සම්බන්ධ වෙන්න ඕන නෑ, හොඳ ත්‍යාග මුදල් ක්‍රමයක් තියෙනවා. අවුරුදු 200ක රේගු ඉතිහාසයේ රේගු නීතිය බලසම්පන්නයි. නිලධාරීන්ට කොන්දක් ඇතුව ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්," යනුවෙන් ද සුනිල් ජයරත්න පැවසීය.

ඇය ඉවත් කිරීමට එරෙහිව අඟහරුවාදා (ජනවාරි 05) පිටකොටුවේ හර්තාලයක් ද පැවති අතර, මතු වූ බරපතළ විරෝධය හමුවේ ඇය නැවත පදවියේ පිහිටුවීමට මුදල් අමාත්‍යවරයා පියවර ගෙන තිබෙන නමුත්, ඒ සමග ම රටේ ඉහළ තනතුරුවලට පත් වන කාන්තාවන් මුහුණ දෙන අත්දැකීම පිළිබඳ සංවාදයක් මතු වී තිබේ.

මුල් පුටු හොබවන කාන්තාවෝ

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය පදවියෙන් ඉවත් කිරීම ගැන බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කාන්තා හිමිකම් ක්‍රියාකාරිනියක සහ ලේඛිකාවක වන කුමාරි කුමාරගමගේ කියා සිටියේ, ඇය කාන්තාවක වීම මෙන් ම දෙමළ කාන්තාවක වීම ද ඇය මුහුණ දුන් අත්දැකීමට ප්‍රධාන හේතුවක් වූයේ යයි තමන්ට හැඟී ගිය බවය.

"සිංහල කාන්තාවක් වුණත් ඔය ප්‍රශ්නේ ඔහොම ම තියෙයි තමයි, හැබැයි දෙමළ වීමත්, කාන්තාවක් වීමත් කියන එක මම හිතන්නේ ඔය වගේ දේකින් අයින් කරන්න, කපල දාන්න වඩා පහසු වෙන තැනක් වගේ."

ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ සමාජයීය හැඩ ගැසීම තුළ සාමාන්‍යයෙන් කාන්තාවට නිසි තැන නොලැබීම මෙන් ම ඉහළ පදවියකට පත් වූ පසුව වුවත් පහසුවෙන් ඉවත් කළ හැකි වීම ද යථාර්ථය බව ද ඇය පෙන්වා දෙන්නීය.

Image copyright Getty Images

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් අදහස් දක්වමින් කියා සිටියේ, කාන්තාවන් සාමාන්‍යයෙන් නීතියට ගරු කරමින් කටයුතු කරන බැවින් ඔවුන් වෙනත් අයෙකුගේ බලපෑම්වලට නතු කර ගැනීම දුෂ්කර බවය.

"පොදුවේ ගත්තහම මම හිතනවා, වැරදි දෙයක් කරන්න යම්කිසි බලපෑමක් තිබුණොත් පිරිමි අයට වඩා කාන්තාවක් ඒ බලපෑමට යටත් වීම අඩුයි. ඇය හැම වෙලාවෙ ම උත්සහ කරනවා තමන් කරන දේ නිවැරදිව කරන්න," යනුවෙන් ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

"ගොඩක් වෙලාවට යම් යම් බලපෑම් කරන පුද්ගලයෝ ලේසියෙන් කාන්තාවක් හරව ගන්න බැරි නිසා එයාල ඒ තනතුරුවලින් ඉවත් කරන්න, නැත්නම් මාරු කරන්න, නැත්නම් වෙනත් ආකාරයේ හිරිහැර කරන්න, එහෙම නැත්නම් තමන්ට ම එපා වෙලා මේක දාල යන තැනට වැඩ සලස්සන්න කරන දේවල් අපිට ඕන තරම් හඳුනගන්න පුළුවන්."

මේ පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කෞශල්‍යා හේරත් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව වෙනත් බොහෝ රටවල ද ඉහළ තනතුරකට පත්වීමට නම් "ඒ පුටුවට එන පිරිමියෙක්ට සාපේක්ෂව ඊට වඩා සෑහෙන ගුණයකින් දක්ෂ වෙන්න ඕනේ, ශක්තිමත් වෙන්න ඕනේ," බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය, "මොක ද එයා එතෙන්ට එන්නෙ ම ස්ටීරියෝටයිප්ස් ගොඩාක් බිඳගෙන. අනිත් එක තමයි මේ බලය ක්‍රියාත්මක වෙන අවකාශ ගොඩාක් "පිරිමි අවකාශ". ගොඩාක් කාන්තාවෝ ඉහළ පුටුවට ආවා ම "පිරිමි වගේ" හැසිරෙන්නේ ඒ සිස්ටම් එකෙන් ඉල්ලන්නේ පිරිමියෙක්. ඒ වගේ ම තමයි "පිරිමි වගේ" අයට තමයි ඒ සිස්ටම් එකේ රැඳෙන්නත් පුළුවන්," යනුවෙන් ද සඳහන් කළාය.

කෙසේ වුවත් "පිරිමි වගේ" යන්න සමාජය විසින් නිර්මාණය කරන ලද්දක් බව පවසන කථිකාචාර්ය කෞශල්‍යා හේරත් "වාසනාවකට හරි අවාසනාවකට හරි ඒක ඇතුළේ තමයි "බලය, සෘජු තීරණ ගැනීම, දැඩි බව, කලහකාරී බව, වංචා සහ දූෂණ යනාදී සේරම තියෙන්නේ. ඉහළ පුටුවලට යන කාන්තාවකට මුහුණ දෙන්න වෙන ලොකු ම ඩිලේමා එක තමයි මේ පිරිමි අවකාශවල බලය පාවිච්චි කරන එක, ගැහැණියෙක් විදියට ලේබල් වෙලා තියෙන අතරතුර ම," යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල කාන්තාවන් මුල් පුටුවලට පත්වීම සාමාන්‍ය සංසිද්ධියක් නොවේ.

පසුගිය ඔක්තෝබර් 26 වන දින ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහ කරනු ලැබීමට ප්‍රථම, එවක මාධ්‍ය අමාත්‍යවරයා වූ මංගල සමරවීර විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සහ ITN ස්වාධීන රූපවාහිනී ජාලයේ සභාපති තනතුරුවලට කාන්තාවන් පත් කිරීම කැපී පෙනිණ. චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද සහ ජේ.එම්. තිලකා ජයසුන්දර ඔවුන් දෙදෙනාය. ඒ සමග ම සැලසිනේ ආයතනයේ සභාපති ධූරයට උමා රාජමන්ත්‍රී පත් කරනු ලැබිණ.

එමෙන් ම කාන්තාවන්ට මත්පැන් මිල දී ගැනීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගනු ලැබුවේ ද මංගල සමරවීර අමාත්‍යවරයාය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගය මත පසුව එම තහනම යළි බලගන්වනු ලැබිණ.

Image copyright Dilrukshi Dias/ Facebook
Image caption දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ දූෂණ විරෝධී ව්‍යාපාරයක

එලෙස කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටි අමාත්‍යවරයා ම තමන් විසින් ම රේගු අධ්‍යක්ෂ පදවියට පත් කරන ලද කාන්තාව තාවකාලිකව හෝ ඉවත් කිරීම ලාංකීය සමාජය තුළ යුක්තිය සහ සාධාරණය වෙනුවෙන් පෙනී සිටින කාන්තාව මුහුණ දෙන සැබෑ ඉරණම පිළිබිඹු කරන්නක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෑත යුගයේදී දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ශිරාණි බණ්ඩාරනායක මුහුණ දුන් අත්දැකීම් ඒ සඳහා උදාහරණ කිහිපයකි.

කියවන්න:

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ

2016 ඔක්තෝබර් මාසයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසම සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කිරීමෙන් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සිය පදවියෙන් ඉල්ලා අස් වූවාය.

"හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාවේ නාවික හමුදාපතිවරු තුන් දෙනෙක් උසාවියට අරගෙන ගියා. මම සම්පූර්ණයෙන් මගේ අප්‍රසාදය පළ කරනවා යුද්ධය කරපු නාවික හමුදාපතිවරු තුන් දෙනෙක් උසාවියට දක්කාගෙන යාම පිළිබඳව," යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසීය.

ඒ පිළිබඳව පසුගිය දා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ඇවන්ට්ගාඩ් සමාගම මාර්ගයෙන් රාජ්‍යයට රුපියල් කෝටි 1140 ක් පාඩු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ නාවික හමුදාපතිවරුන් තිදෙනෙකුට එරෙහිව නඩු පැවරීම ඇය පදවියෙන් ඉවත් කිරීමට හේතුව බවට චෝදනා කළේය.

එම නඩුව පැවරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එතරම් කෝපයට පත්වූයේ මන්දැයි ප්‍රශ්න කළ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා, දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට අනිසි චෝදනා එල්ල කිරීම ගැන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා ද දැඩි විවේචනයට ලක් කළේය.

ඇයගේ ඉල්ලා අස්වීම වසර දෙකක 'යහපාලන ආණ්ඩුවේ' බරපතළ ම කළු ලපයක් බව ඒ අවස්ථාවේ බීබීසී සිංහල සේවය සමග කියා සිටි පුරවැසි බලය සංවිධානයේ ගාමිණී වියන්ගොඩ, වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මගින් 'කොන්ද නොනමා වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට' නිදහසේ වැඩ කිරීමේ පරිසරය අසුරා දමා ඇති බවය.

2015 පෙබරවාරි මාසයේ නව පදවියේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දූෂණ අපචාරවලින් තොර ආයතනයක් හැටියට පවත්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළාය.

කවර මට්ටමක හෝ බලවත් පුද්ගලයෙකුට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි යට නොගසන බව ද ඇය එහිදී කියා සිටියාය.

කියවන්න:

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
නාවික හමුදාපතිවරුන් උසාවි ගෙන යාම: ජනපති අප්‍රසාදය

ශිරාණි බණ්ඩාරනායක

මහින්ද රාජපක්ෂ පාලනය සමයේ එවක අගවිනිසුරු පදවිය හෙබවූ ශිරාණි බණ්ඩාරනායක මතභේදයට තුඩු දුන් දෝෂාභියෝග ක්‍රියාදාමයක් මගින් පදවියෙන් පහ කරනු ලැබීම දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි විවේචනයට ලක්විය.

සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමය නීති විරෝධී බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය ඇතුළු බොහෝ ජාත්‍යන්තර සංවිධානවල ස්ථාවරය වූ අතර, එංගලන්තය සහ වේල්සයේ නීතිවේදීන්ගේ සංගමය විසින් පවත්වන ලද පරීක්ෂණයක නිගමණය වූයේ, ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග චෝදනා සියල්ලට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක නිවැරදිකාරිය බවය.

අගවිනිසුරුවරිය පදවියෙන් පහ කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළේ දිවි නැගුම පණත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල නොවන බවට ඇගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඬුල්ලක් දුන් තීන්දුව සම්බන්ධයෙන් පළිගැනීමේ අරමුණින් බව ද එම පරීක්ෂණ වාර්තාව සඳහන් කර තිබිණි.

දෝෂාභියෝග චෝදනා විශේෂ යෝජනාවක් මගින් පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු නමුත් එය නිසි ආකාරයෙන් සම්මත වී නැති බවට ලැබුණු නීති උපදෙස් මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2015 ජනවාරි 28 වෙනි දින ශිරාණි බණ්ඩාරනායක යළිත් වරක් අගවිනිසුරු පදවියට පත් කරනු ලැබීය. ඉන් දිනකට පසුව පදවියෙන් ඇය විශ්‍රාම ගත්තේ විශ්‍රාම විය එළඹීමට ප්‍රථම විශ්‍රාම යවනු ලැබූ එක ම අගවිනිසුරුවරයා ලෙසිනි.

54 හැවිරිදි හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මේ වන විට විශ්‍රාම සුවයෙන් කල් ගෙවමින් සිටින්නීය.

Image copyright Getty Images
Image copyright Getty Images

'ලෝකය ගොඩනැගීමේ' කාන්තාවගේ භූමිකාව

සමස්ත ලෝක ඉතිහාසය තුළ කාන්තාවගේ භූමිකාව ගොඩ නැගී තිබෙන්නේ ලොවට 'යහපතක් කිරීමේ' අභිලාසය, සාධනීය ලෙසින් ලොව වෙනස් කිරීමේ අපේක්ෂාව සහ නීති ගරුක වීමේ අධිෂ්ඨානය මත බව කුමාරි කුමාරගමගේ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් පෙන්වා දෙති.

"ඔවුන්ට තියෙන්නේ ගොඩනැගීමේ වුවමනාවක්, නැති කිරීමේ වුවමනාවක් නෙවෙයි; ඔක්කොම කාලා, කාලා තමන්ගේ මඩිය තර කර ගැනීමේ වුවමනාවක් නෙවෙයි. ඉතින් ඒක දරාගන්න බැහැ මම හිතන්නේ මේ බොහෝ දෙනාට," කුමාරි කුමාරගමගේ බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

එබැවින් කාන්තාව තුළ පවතින එම 'ගොඩනැගීමේ වුවමනාව' සමග බොහෝ පාලකයන්ට එක්ව ගමනක් යා නොහැකි බව ඇයගේ අදහසය.

"හරි වැඩක් කරන කාන්තාවකට ඉන්න දෙන්නේ නෑ. කොහොම හරි එයාව විනාශ කරලා, පාගල දානවා."

Image copyright Getty Images
Image caption ලෝකයේ පළමු අගමැතිනිය - සිරිමාවෝ බණ්ඩාරනායක

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් පෙන්වා දෙන පරිදි පුරුෂාධිපත්‍යය හෝ කාන්තාවකට තීරණ ගැනීමේ හැකියාවක් නැතැයි පවතින සාම්ප්‍රදායික මතවාද හේතුවෙන් කාන්තාවන්ට ඉහළ තනතුරු ලබා දීමට සමාජය මැලිකමක් දැක්වීම තවත් ගැටලුවකි.

"මම අත්දැකීමෙන් දන්න දේ තමයි අපි මේසෙකට වාඩි වෙලා තීරණයක් ගන්න හදන කොට ඉස්සෙල්ල ම බොහෝ වෙලාවට ඇස් යන්නේ පිරිමි අයගෙන් මොනව ද එන්නේ කියලා. කාන්තාවක් දෙයක් කිවුවත් ඒක පිළිගන්න පොඩි මැලිකමක් තියෙනවා."

කිසියම් රටක ඉදිරි ගමන සඳහා එවැනි හැසිරීම් සහ ආකල්ප "ඉතාමත් ම අහිතකර" බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය පෙන්වා දෙන්නීය.

ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් මැද පෙරදිග සේවය සඳහා පිටත්කොට යවා කාන්තාව 'සූරා කමින්' ඔවුන් ලබා දෙන විදේශ විනිමයෙන් යැපෙන රටක්, සිය දැනුම සහ දක්ෂතාව මත අසීරුවෙන් හෝ නායකත්වයට පත්වෙන කාන්තාව මෙසේ 'පාගා දැමීම' ඉතා කනගාටුදායක බව කුමාරි කුමාරගමගේ මේ අතර පවසන්නීය.

"ලෝකෙට පෙන්නන්න කාන්තාවන්ට අවස්ථාව දෙනවා. හැබැයි එහෙම අවස්ථාව දුන්නට ඒක හැම තිස්සෙ ම තමන්ට යටත් තැනක තියා ගන්න උත්සාහ කරන්නේ. ඒක බැරිවෙච්ච ගමන් කරන්නේ අයින් කරලා දාන එක."

එබැවින් එක් අතෙකින් කාන්තාව ජව ගැන්වීම පිණිස පියවර ගන්නා බවක් පෙන්වමින්, අනෙක් අතින් තවදුරටත් කාන්තාව යටපත් කරමින් කාන්තාවන්ට හිමි විය යුතු අවස්ථා අහිමි කරමින් සිටින බවට කාන්තා හිමිකම් ක්‍රියාකාරිනියෝ ශ්‍රී ලංකාවේ පාලකයන්ට චෝදනා කරති.

"ඒ වගේ හිරිහැර සහ ඒ වගේ බාධක නැත්නම් කාන්තාවකට යන්න පුළුවන් දුර කොච්චර ද කියන එක ලංකාව සහ ලෝකය ඔප්පු කරලා පෙන්නල තියෙනව."

තවත් කියවන්න: