සමේ ලප ගැන දෙවරක් සිතන්න: ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන්ගෙන් 10%ක් ළමුන්

Image copyright Getty Images
Image caption සංරක්‍ෂිත ඡායාරූපයකි

පසුගිය වසර තුළදී දිවයින පුරා වාර්තා වූ රෝගීන් අතර 10%ක පමණ ප්‍රතිශතයක් වයස අවුරුදු 15ට අඩු ළමුන් සිටීම පිළිබඳව ලාදුරු මර්දන ව්‍යාපාරයේ බරපතළ අවධානයට ලක් වී තිබේ.

මෙතෙක් හඳුනා නොගත් රෝගීන්ගෙන් ලාදුරු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව එමගින් පිළිබිඹු වනු ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

ඔවුන් නිකුත් කර ඇති අලුත් ම නිවේදනයට අනුව පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ලාදුරු රෝගීන් සංඛ්‍යාව 1683කි.

මින් වැඩි ම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, බස්නාහිර පළාතෙනි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල අලුතින් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 41%ක් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 691කි.

දිස්ත්‍රික්ක වශයෙන් වෙන් කිරීමේදී, 2018 වර්ෂයේදී වැඩි ම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

Image copyright Getty Images
Image caption සංරක්‍ෂිත ඡායාරූපයකි

ලාදුරු රෝගය වැළඳුණු ළමුන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලිනි.

කෙසේ නමුත්, ලාදුරු රෝගීන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 26න් ම වාර්තා වීම විශේෂ සිද්ධියකි.

"කොන් කරන්න එපා"

රෝග ලක්ෂණ මතු වී මාස 6කට වඩා ප්‍රමාද වී ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන සංඛ්‍යාව 30% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ලාදුරු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුපුන් විජේසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.

"මේකට බය වෙන්න ඕන නැහැ. ලාදුරු රෝගීන් කොන් කිරීමක් හෝ වෙන් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රතිකාරවලින් නිට්ටාවට ම සුව වෙනවා. හැඟීම් දැනීම නොදැනෙන, හමේ පාටට වඩා අඩු පාටින් යුත් ලප තමයි බොහෝ විට ඇති වන්නේ. ඇස් දෙක වහගෙන පෑන් තුඩකින් අනිනකොට තමන්ට දැනෙන්නේ නැත්නම් ප්‍රතිකාර පතන්න," ඔහු පැවසීය.

මේ ගැනත් කියවන්න:

Image copyright Getty Images
Image caption සංරක්‍ෂිත ඡායාරූපයකි

මේ පිළිබඳව කළ විමසීමකදී විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන කියා සිටියේ, නහරයක ඝන වීමක් හෝ දිගු කලක් තිස්සේ සුව නොවන තුවාලයක් වේ නම් එය ද වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර බැලීම සුදුසු බවය.

"ලාදුරු රෝගයට පමා නොවී ප්‍රතිකාර ලබා ගන්නේ නම් එය තවත් කෙනෙකුට බෝවීමත් වළක්වා ගන්න පුළුවන්." ඇය පැවසුවාය.

ලාදුරු යනු කුමක්ද?

  • ලාදුරු යනු Mycobacterium leprae නමැති බැක්ටීරියාව මගින් බෝවන, නිදන්ගත රෝගයක් වන අතර එය සම සහ පර්යන්ත ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරයි.
  • ශ්වසන මාර්ගයෙන් නිකුත් වන ආසාධිත බිඳිති මගින් මෙම රෝගය ව්‍යාප්ත වීම සිදුවේ.
  • මෙම රෝගය මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝවිය හැකි අතර මේ සඳහා නිශ්චිත වාහකයෙකු හඳුනාගෙන නොමැත.
  • ප්‍රතිකාර ගන්නා රෝගියකුගෙන් මෙම රෝගය අන් අයට බෝ නොවේ.
  • ලාදුරු රෝගය පහසුවෙන් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීම හා සුව කිරීම කළ හැක.
  • ලාදුරු රෝග විනිශ්චය ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබන්නේ සායනයේදී රෝග ලක්ෂණ හඳුනා ගැනීම මගිනි.
  • ලාදුරු රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ හැඟීම් නොදැනෙන ලප කැළැල් ය.
  • ලාදුරු රෝගයේ ප්‍රධාන ගැටලුවක් වන්නේ දුබලතා ඇති වීම මගින් ඵලදායීතාව අහිමි වීමයි.
  • මෙම දුබලතා ලාදුරු රෝගය නිසා ඇති වන ප්‍රතික්‍රියා නිසා ඇති වන අතර ඕනෑ ම අවස්ථාවක එනම් ප්‍රතිකාර සම්පූර්ණ කිරීමෙන් පසු පවා ඇති විය හැක.
  • කලින් රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මගින් මෙම දුබලතා බොහෝ දුරට වළක්වා ගත හැක.
Image copyright Getty Images
Image caption සංරක්‍ෂිත ඡායාරූපයකි

ලාදුරු සම්බන්ධ ශ්‍රී ලංකා ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ප්‍රථම ලාදුරු රෝහල ලන්දේසි පාලන සමය තුළ, ක්‍රි.ව. 1708 දී ස්ථාපනය කරන ලදි.

ප්‍රථමයෙන් ලාදුරු සඳහා සාර්ථක ප්‍රතිකාරයක් සොයාගනු ලැබුවේ, 1940 වර්ෂයේය.

වර්තමානයේ ලාදුරු රෝගය සුව කිරීම සඳහා බහු ඖෂධ ප්‍රතිකාර (MDT) ලබා දෙන අතර ලාදුරු වර්ගය අනුව මාස 6ක් හෝ 12ක් වශයෙන් ප්‍රතිකාර ලබා දීම සිදුකරයි.

Image copyright Getty Images
Image caption සංරක්‍ෂිත ඡායාරූපයකි

ලාදුරු මර්දන ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන ලද්දේ 1954 වසරේදී ය.

1995දී ලාදුරු මර්දන ඉලක්කයට ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකි විය.

එම නිසා 2001දී ලාදුරු සේවාවන් සාමාන්‍ය සෞඛ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරන ලදී.

කෙසේ වෙතත්, තවමත් නව ලාදුරු රෝගීන් 2000 ක් පමණ වාර්ෂිකව වාර්තා වේ.

(දත්ත සහ විස්තර ලාදුරු මර්දන ව්‍යාපාරයේ වාර්ෂික වාර්තාව ඇසුරිනි.)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර