ශ්‍රී ලංකාවේ පළාත් සභා ඡන්දය: "ලිහන්න බැරි ගැටය කවුරුන් හෝ කැපිය යුතුයි"

Image copyright Getty Images

ශ්‍රී ලංකාවේ පළාත් සභා 6ක් මේ වන විට පාලනය වන්නේ මන්ත්‍රීවරුන් නොමැතිවය. ඒවා පාලනය වන්නේ ආණ්ඩුකාරවරයා යටතේය. ඉතිරි පළාත් සභා තුනෙන් දෙකක නිල කාලය අප්‍රේල් මාසයෙන් අවසන් වීමට නියමිතය.

නිල කාලය අවසන්වී ඇති පළාත් සභා 6:

1. සබරගමුව පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 1යි මාස 4යි.

2. උතුරු මැද පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 1යි මාස 4යි.

3. නැගෙනහිර පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 1යි මාස 4යි.

4. මධ්‍යම පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 4යි.

5. උතුරු පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 4යි.

6. වයඹ පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 4යි.

නිල කාලය අවසන්වීමට නියමිත පළාත් සභා 3:

1. බස්නාහිර පළාත් සභාව - නිල කාලය අවසන්වීමට ඇත්තේ මාස 2ක් පමණි.

2. දකුණු පළාත් සභාව - නිල කාලය අවසන්වීමට ඇත්තේ මාස 2ක් පමණි.

3. ඌව පළාත් සභාව - නිල කාලය අවසන්වීමට ඇත්තේ මාස 8ක් පමණි.

Image caption "ලිහන්න බැරි ගැටය කවුරුන් විසින් හෝ කපා දැමිය යුතුයි"

නිල කාලය අවසන් වූ පළාත් සභාවල ඡන්දය නොපැවැත්වීම ගැන මේ දිනවල ප්‍රබල සංවාදයක ඇති වී තිබේ. පළාත් සභා ඡන්ද මේ වසර තුළ නොපැවැත්වුවහොත් තමා සභාපති තනතුරින් ඉවත් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සිය නිදහස් දින කතාවෙන් මේ ගැන ප්‍රශ්න කළේ, පළාත් සභාවල ඵලදායිතාව ගැන ප්‍රශ්න කරමිනි.

"අපි පළාත් සභා පිහිටුවා වසර 30කට වැඩියි. අද වාර්ෂික අය වැය යෝජනාවලින් පළාත් සභාවලට වෙන්කරන මුදලින් සංවර්ධනයට, ප්‍රාග්ධනයට වෙන් වන්නේ සියයට 15ක් පමණයි. පුනරාවර්තන වියදම්, නඩත්තු වියදම් සියයට 85ක්. මේව උඩු යටිකුරු කිරීමට අප වහා කටයුතු කළ යුතුයි. වසර එක හමාරකට ආසන්න කාලය තුළ පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ලෙසයි මා දකින්නේ. මේවා කතා කිරීමට අද එන්ජීඕ ඉදිරිපත් වන්නේ නැහැ." ජනාධිපතිවරයා කියා සිටියේය.

නිල කාලය ඉක්මවූ පළාත් සභාවල ඡන්දය පවත්වන්න බැරි ඇයි ?

මිශ්‍ර සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහය ඇතිව පනතක් සම්මත කරගත්තේ 2017 වසරේ ඔක්තෝබර් මාසයේදීය.

එම පනත සම්මත වීමෙන් අනතුරුව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා 5 දෙනකුගෙන් සමන්විත කොමිසමක් පවා පත් කළ අතර එම කමිටුව 2018 පෙබරවාරි මාසයේ සිය වාර්තාව ලබාදී තිබුණි.

එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2/3 ක විශේෂ බහුතරයෙන් සම්මත කළ යුතු වූ අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවූයේ 2018 අගෝස්තු මාසයේදීය.

කෙසේ නමුත් එම වාර්තාව පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය. එය ඉදිරිපත් කළ, එවකට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ සහය පවා ඊට නොලැබුණි. ඔහු එම තීරණයට එළැඹියේ සීමානිර්ණ වාර්තාවේ අඩුපාඩු ඇති බව පවසමිනි.

එම වාර්තාවට සහය පළ කරමින් එකදු මන්ත්‍රීවරයකු හෝ ඡන්දය භාවිත නොකළ අතර ඊට විරුද්ධව මන්ත්‍රීවරු 139 දෙනෙක් ඡන්දය භාවිත කර තිබිණි.

Image copyright Getty Images

මෙම වාර්තාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි නොවූ හෙයින් එහි ඊළඟ නීත්‍යනුකූල පියවර වූයේ කථානායකවරයා විසින් එම වාර්තාවේ අඩුපාඩු සකස් කිරීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමය.

එම කමිටුව කතානායකවරයා විසින් 2018 අගෝස්තු මාසයේ දී පත් කරන ලදී. මාස 2ක් ඇතුළත එම වාර්තාව සමාලෝචනය කළ යුතු බවට ද නීති සකස් වී තිබිණි.

කමිටුවේ කාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2018 ඔක්තෝබර් 28 වන දාටය.

නමුත් ඊට දින දෙකකට පෙර එනම් ඔක්තෝබර් 26වන දා සිදුවූ අගමැති මාරුවත් සමග එම කමිටු වාර්තාව ගැන කතාබහ අවසන් විය.

"දැන් පාර්ලිමේන්තුවෙන් ලබා දුන් මාස දෙකක කාලය ඉවරයි, දැන් ඒ වාර්තාව ඉදිරිපත් කළත් එහි වලංගුභාවය ගැන ගැට‍ලු තියෙනවා. ඒ නිසා නැවත පාර්ලිමේන්තු නීති සංශෝධනයකින් තොරව ඉදිරියට යන්න බැහැ." මැතිවරණ කොමසාරිස් ජනරාල් එම් මොහමඩ් බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

මැතිවරණ කොමිසමට අනුව දැනට සම්මත වී ඇති නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට නම් ඡන්ද කොට්ඨාස අවශ්‍ය වේ. නමුත් එම ඡන්ද කොට්ඨාස තවමත් තීරණය වී නොමැත.

ඒ අනුව, එම ක්‍රියාදාමය සම්පූර්ණ වන තුරු නව ක්‍රමයට මැතිවරණය පැවැත්විය නොහැකිය.

ඡන්දය පැවැත්වීමට කළ යුත්තේ කුමක්ද ?

2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ලද අත්දැකීම් හේතුකොට ගෙන මිශ්‍ර ඡන්ද ක්‍රමයට ඡන්දය පැවැත්වීමට ප්‍රධාන පක්ෂවල අකමැත්තක් ඇති බව පෙනී යයි.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන පසුගියදා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය නව ක්‍රමය අනුව පැවැත්වීම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි නියෝජනය නොවූ බවය.

එහි විශාල වරදක් ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

Image copyright GoSL

එහි දී බහුතරයේ නියෝජනය විද්‍යාමාන නොවී සුළුතරය විද්‍යාමාන වන බවත් ගාල්ල මහ නගර සභාව ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයට නගර සභාවේ බලය අහිමිවීම ඊට කදිම උදාහරණය බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

අමාත්‍යවරයා පවසන්නේ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ පනත ගෙන ආ නමුත් එහි විශාල අඩුපාඩු පවතින බවය.

"2015 සිට 2018 දෙසැම්බර් 21 දක්වා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව තිබු‍ණේ. එනිසා ඔවුන්ගේ මතය අනුව ක්‍රියා කරල තියෙන්නේ. විවිධ දේශපාලන පක්ෂ රැසකගේ අදහස් අරගෙන ලිපි ගොනු විශාල ප්‍රමාණයක් සකස් කර තියෙනවා. එහි විවිධ අඩුපාඩු රැසක් පවතිනවා. දැන් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මම එම ලිපි ගොනු අධ්‍යනය කරමින් මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ක්‍රියා කරනවා," පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කර තිබිණි.

"විෂයභාර අමාත්‍යවරයා වුවද, මට මගේ තනිමතය අනුව ක්‍රියා කිරීමට හැකියාවක් නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පිළිගත් දේශපාලන පක්ෂවල එකඟතාවය මත මෙම ප්‍රශ්නය විසඳීමට කඩිනමින් ක්‍රියා කරනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ අදහස් දෙමළ ජාතික සන්ධානයේ අදහස් අතුළු සියලුම දේශපාලන පක්ෂවල අදහස් සහ යෝජනා මෙහිදී වැදගත් වෙනවා. ඒ අනුව ඔවුන්ගේ එකඟතාව මත නව ක්‍රමවේදයකට ඡන්දය පවත්වන්නේද? නැතහොත් පැරණි ක්‍රමයට ඡන්දය පවත්වන්නේද? යන්න තීරණය කරනවා. ඉන් අනතුරුව රටේ සියලු පළාත් සභාවල ඡන්දය එකවර පැවැත්වීමට කටයුතු කරනවා," යැයි ද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන් වීමෙන් පසු අප්‍රේල් මාසය තුළ පැරණි මනාප ක්‍රමයට එම ඡන්ද විමසීම පැවැත්වීමට හැකිවන පරිදි පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බව, කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවේ දී අගමැති රනිල් වික්‍රමසිංහ පැවසී යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර තිබේ.

Image copyright Getty Images

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂය ඉල්ලා සිටින්නේ කුමන ක්‍රමය යටතේ හෝ කඩිනමින් මැතිවරණය පවත්වන ලෙසය.

"ඉතා පොඩි දෙයයි මේකට කරන්න තියෙන්නේ. වගන්ති තුනක පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ, පැරණි ක්‍රමයට ඡන්දය තියන්න. ඒකට 2/3ක ලබාගන්න අවශ්‍ය සහය දෙන්න අපි සුදානම්. ඒ දෙය නොකර ඡන්දය දිගින් දිගටම කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරනවා. දැන් කියනවා අප්‍රේල් කියලා. අප්‍රේල්වල තව දිනයක් කියයි," විපක්ෂයේ මන්ත්‍රී උදය ගම්මන්පිල බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ මතය වී තිබෙන්නේ මැතිවරණය පවත්වන්නේ නව ක්‍රමයටද පැරණි ක්‍රමයටද යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බවය.

"පරණ විදිහට මැතිවරණය පවත්වනවා නම් අලුත් පළාත් සභා පනත අත්හිටුවලා පැරණි පනතට අනුව පවත්වන්න පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගත යුතුයි. නමුත් අපි කියන්නේ මේ වෙලාවේ අවශ්‍ය වෙලා තිබෙන්නේ පළාත් සභා හෝ ජනාධිපතිවරණ මැතිවරණයක් නොවෙයි. පාර්ලිමේන්තුවේ විකෘතිය නැති කරන්න අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි. තවදුරටත් මුදල් කාබාසිනියා කරන ජනාධිපති මැතිවරණයක් වෙනුවට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට කටයුතු කළ යුතුයි," ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ අනුව පෙනීයන්නේ ඔවුන් මේ අවස්ථාවේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට එතරම් කැමැත්තක් නොදක්වන බවය. පළමුව ආණ්ඩුව වෙනස් කළ හැකි ඡන්දයක් සේ සලකා ජනාධිපතිවරණයක් පැවැත්වීම වඩාත් උචිත වන බව එම පක්ෂයේ මන්ත්‍රීවරු මාධ්‍ය හමුවල පසුගියදා දිගින් දිගටම ප්‍රකාශ කළහ.

ජනාධිපතිවරණය කවදාද ?

Image copyright Getty Images

මැතිවරණ කොමිසමට අනුව ජනාධිපතිවරයාට 2019 ජනවාරි 8 වැනිදා සිට ඕනෑ ම මොහොතක ජනාධිපතිවරණයක් කැඳවිය හැකිය. ජනාධිපතිවරයා තම ධුර කාලය සම්පූර්ණ කිරීමට තීරණය කළහොත් ජනාධිපතිවරණය නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය.

නිසැක වශයෙන් ම මේ වසර අග භාගයේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන හෙයින් පළාත් සභා මැතිවරණය මේ වසරේ පවත්වන්නේ නම් එය වසරේ මැද භාගයේ පැවැත්විය යුතුය.

මේ අතරතුර, පළාත් නවයේ ම ඡන්දය මේ වසරේ මැයි 31 ට පෙර එක ම දිනයක පැවැත්වීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනවාරි 29 වැනිදා කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.

පැරණි සමානුපාතික නියෝජන ක්‍රමයට අනුව මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා එම පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර ඊට කාන්තා නියෝජනය 25% කිරීමේ යෝජනාවක් ද ඇතුළත් කර තිබේ.

Image copyright EPA

ජනාධිපතිවරයාගේ එම කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කිරීම මේ සතියේ සිදුවීමට නියමිතව තිබූ නමුත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ලබන සතිය තෙක් ඒ සඳහා කාලය ලබා ගත් බව කැබිනට් මණ්ඩල රැස්වීමට එක්වූ අමාත්‍යවරයෙක් බීබීසි සිංහල සේවයට පැවසුවේය.

මෙම කැබිනට් පත්‍රිකාව අනුව ඉදිරි කටයුතු සිදුවන ආකාරය ගැන ආණ්ඩුව තවමත් නිසි ලෙස කරුණු පැහැදිලි කර නොමැත.

"මොන ක්‍රමයට කරන්නත් පාර්ලිමේන්තුවේ නීති සංශෝධනයක් අවශ්‍යයි. ඒ සංශෝධනය සිදුකර මාස 3ක් ඇතුළත ඡන්දය තබා අවසන් කරන්න අපට පුළුවන්." මැතිවරණ කොමසාරිස් ජනරාල් එම් එම් මොහමඩ් කියා සිටියේය.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අවසන් වරට පැවති මාධ්‍ය හමුවේදී පළාත් සභා අවුල ගැන අදහස් දක්වමින් පැවසුවේ, "ලිහන්න බැරි ගැටය කවුරුන් විසින් හෝ කපා දැමිය යුතු" බවය.

ඡන්ද විමසීම නොපැවත්වීම ගැන දේශපාලන පක්ෂ හා පුරවැසියන්ට අධිකරණයේ සහය පැතිය හැකි බව ද ඔහු එහිදී කියා සිටියේ ඒ සඳහා කොමිසමට නීතිමය හැකියාවක් නොමැති බව පවසමිනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර