ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව: "ජනපතිගේ චෝදනා අයුක්ති සහගතයි"

Image copyright GETTY IMAGES/PMD

ජාතික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා වන යෝජනාව බ්‍රහස්පතින්දා (පෙබරවාරි 07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද, එය කල් දැමූ බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල දැනුම් දුන්නේය.

කෙසේ වෙතත්, පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ එහි ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් සභාව තාවකාලිකව කල් තැබීමට සිදු විය.

එවැනි තත්ත්වයක් උද්ගත වූයේ, බදාදා (06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී කළ කතාවෙහි අන්තර්ගත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ ඇතැම් චෝදනා සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රතිචාර දැක්වීමත් සමගය.

ජනපතිගේ චෝදනා

බදාදා පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් එල්ල කළේය.

"ව්‍යවස්ථා සභාව, මේ වන විට විනිශ්චයකාරවරුන් 12ක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ ප්‍රතික්ෂේප කළේ ඇයි කියන කාරණාව මට දන්වලත් නෑ, ඒ විනිශ්චයකාරවරුන්ට දන්වලත් නෑ. මේ තුළ මේ රටේ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රාථමික අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණය, මහාධිකරණය, ඒ විනිසුරුවරුන් අද අපේක්ෂාභංගත්වයට පත් වෙලා තියෙනවා,"

එහිදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය යැවූ ලිපියක් පිළිබඳව ද අදහස් දැක්වීය.

"කතානායක ගරු කරු ජයසූරිය මැතිතුමා මට පිටු හතරක ලිපියක් එවලා තිබුණා. ඒ ලිපියේ සඳහන් වෙලා තියෙනවා, විනිශ්චයකාරවරුන්ට උසස්වීම් දීමේදී ජ්‍යෙෂ්ඨත්වය කිසිසේත් සලකන්නේ නැත කියලා. කුසලතා සහ හැකියාවන් සලකලා තමයි ව්‍යවස්ථා සභාව උසස්වීම් දෙන්නේ කියලා. ඒ කුසලතා, දක්ෂතා, හැකියාවන් තීරණය කරන්නේ, ව්‍යවස්ථා සභාව මොන මග පෙන්වීම් තුළ ද?" ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ඉහත කී තත්ත්වය හේතුවෙන් "අධිකරණ ක්ෂේත්‍රයේ බරපතළ ඛේදවාචකයක්" ඇති වීමට ඉඩ ඇති බවය.

"මට ආරංචි විදිහට අතීතයේ යම් යම් නඩු තීන්දු දීම් පිළිබඳව , චෝදනා කරමින් ඒ නිසා මේ අය උසස්වීම්වලට නුසුදුසුයි කියලා මතයක් තුළ උසස්වීම් ලබා නොදෙනවා නම් එය මේ රටේ අධිකරණ ක්ෂේත්‍රයේ බරපතළ ඛේදවාචකයක් බවට පත් වේවි කියා මා විශ්වාස කරනවා."

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිගේ ප්‍රතිචාරය

ඉහත කී චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය සිය විශේෂ ප්‍රකාශයේදී සඳහන් කළේ, "එම චෝදනාවන් යුක්තිසහගත නොවන" බවය.

ඊට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ කිසිදු පාර්ශවයකට බහුතර බලයක් නොතිබෙන අතර "නම් අනුමත කිරීමේදී කිසිදු බලපෑමක් සිදු වී නොමැති" බව ද කතානායකවරයා පෙන්වා දුන්නේය.

ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමට නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී සහ ජනාධිපතිවරයා විසින් එවන ලද නාම යෝජනා අනුමත කිරීමේදී අනුගමනය කළ මාර්ගෝපදේශ ඇතුළත් වාර්තාව 2018 දෙසැම්බර් 08 වෙනි දින තමන් විසින් සභා ගත කරන ලද කතානායකවරයා පවසයි.

"එක් එක් තනතුරු සඳහා තැනැත්තන් පත් කිරීමේදී ඉහත මාර්ගෝපදේශ මෙන්ම එම තැනැත්තන්ගේ ජ්‍යෙෂ්ඨත්වය, අවංකත්වය, ස්වාධීනත්වය, සහ අපක්ෂපාතීත්වය ද සභාව විසින් සලකා බලන බව සඳහන් කළ යුතුය,"

"ජ්‍යෙෂ්ඨත්වය කිසිසේත් සලකන්නේ නැත" යනුවෙන් ව්‍යවස්ථාදායක මණ්ඩලය සඳහන් කරමින් කළ ප්‍රකාශය "වැරදි" බව කතානායකවරයා කියා සිටී.

"අප සඳහන් කළේ ජ්‍යෙෂ්ඨත්වය පමණක් එකම මිනුම් දණ්ඩ වශයෙන් අනුගමනය නොකරන බවයි,"

"ජ්‍යෙෂ්ඨත්වය පමණක්ම උපයෝගී කර ගන්නේ නම් ව්‍යවස්ථාදායක මණ්ඩලයක් අවශ්‍ය නොවේ. අතිගරු ජනාධිපතිතුමා විසින් ද එසේ කළ අවස්ථා ඇත. ඒවා එකින් එක සඳහන් කරමින් වාද විවාද කිරීමට අප අදහස් නොකරන්නෙමු,"

ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද නම් අතරින් "සුදුසු නම් තෝරා ගැනීමේදී කිසිඳු අකටයුත්තක්, අසාධාරණයක් සිදු නොවූ බව" කතානායකවරයා අවධාරණය කරයි.

තමන් විසින් යෝජනා කරන ලද නම් 12 ක් ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශය "වැරදි" බව පවසන කතානායකවරයා "එක් ඇබෑර්තුවක් සඳහා නම් 3ක් හෝ 4ක් එවූ විට අප තෝරා ගන්නේ එක් නමක් පමණි. එවැනි අවස්ථාවක් ප්‍රතික්ෂේප කිරීමක් වශයෙන් හැඳින්වීම ව්‍යවස්ථාදායක සභාවට කරන අසාධාරණයකි," යනුවෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් එවන ලද නම් කීපයක් හැර බහුතරය අනුමත කර ඇති බවත් අදාළ පාර්ශ්ව සමග ව්‍යවස්ථාදායක මණ්ඩලය ලිපි ගනුදෙනු නොකරන බවත් කතානායකවරයා කියා සිටී.

ප්‍රාථමික , මහේස්ත්‍රාත් , දිසා අධිකරණ පත්වීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එල්ල කරන චෝදනා බැහැර කරන කතානායක කරු ජයසුරිය " එම පත්වීම් කිරීමේදී අපගේ අධීක්ෂණයට ලක් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පත්වීම් පමණි. එයට වගකිව යුත්තේ අධිකරණ සේවා කොමිෂන් සභාවයි. එබැවින් එම චෝදනාව යුක්ති සහගත නොවේ," යනුවෙන් සඳහන් කරයි.

අල්ලස් කොමිසම ඉදිරියේ හෝ වෙනත් චෝදනාවලට ලක්වූවන් හෝ අගවිනිසුරුවරයාගේ නිර්දේශ නුසුදුසු වූ විට එවැනි පත්වීම් අනුමත නොකළ බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය

Image copyright Getty Images

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධූරය හිමි වන්නේ, කතානායකවරයාටය.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය මෙසේය.

  1. කතානායක (සභාපති) - කරු ජයසූරිය
  2. අග්‍රාමාත්‍යවරයා - රනිල් වික්‍රමසිංහ
  3. පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායක - මහින්ද රාජපක්ෂ
  4. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු එක් මන්ත්‍රීවරයෙක්
  5. අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනාගේ ම නාම යෝජනා කිරීම මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු වූ ද, දෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු වූ ද තැනැත්තන් පස් දෙනෙක්
  6. අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ නොවන පාර්ලිමේන්තුවේ නියෝජනය ඇති අනෙකුත් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතරයේ එකඟත්වය මත නාම යෝජනා කොට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්

ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනාගේ ම නාම යෝජනා කිරීම මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු වූ ද, දෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු වූ ද තැනැත්තන් පස් දෙනෙක් නම් කිරීමේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයින්ගෙන් ද විමසිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.