සේනා දළඹු උවදුරෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවේ ගෙවිලියන්

"ගිය පාර බඩ ඉරිඟු වගාව නියඟය නිසා පාඩු වුණා. ගේ උකස් කරලා ඒකට ගත්ත ණය ගෙව්වා. මේ පාර බැංකුවට සල්ලි දාන්න විදිහක් නැහැ,"

අම්පාර දිස්ත්‍රික්කයට අයත් වඩිනාගල, කරබාන ගම්මානයේ ගෙවිලියක වන ජේ.එම්. සෝමාවතීගේ දෑසින් ඇද හැළුණු කඳුළු, එක පිට එක එන කරදර ගොන්න මැනවින් කියා පායි.

ණය ගෙවාගත නොහැකිව තම නිවස බැංකුවට සින්න වීමට යන බව සෝමාවතී බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ හැඬු කඳුළෙනි.

ගිය වර නියගයෙන් බැට කෑ සෝමාවතී, මෙවර රට ම කළඹන සේනා දළඹුවාගෙන් පීඩාවට පත්ව සිටින්නීය.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට දරුණු ලෙස බලපා ඇති සේනා දළඹු උවදුර ආර්ථික පමණක් නොව සමාජීය ගැටලුවක් දක්වා වර්ධනය ලකුණු මතු වෙමින් තිබේ.

මේ උවදුර සිය දරුවන්ගේ අධ්‍යාපන ගමන ද අඩාළ කරන තරමට ඔඩු දුවා ඇති බව ගොවීහු පවසති.

අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් කියා සිටියේ ආර්ථික දුෂ්කරතා හමුවේ සිය දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා බරපැන දැරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවය.

Image caption "පුතා ඉගනීම දාලා ගෙදර ආවා. දුවත් ඉගෙන ගන්නවා. දැන් ලක්ෂ දොළහක් විතර ණය වෙලා. ඉස්සර වගේ නෙවෙයි දැන් නොමැරී ජීවත් වෙනවා,"

විද්‍යා පීඨයක ඉගෙනුම ලබමින් සිටි සිය වැඩිමහල් පුතු සිය අධ්‍යාපන කටයුතු අතරමග නවතා වගා බිම බේරා ගැනීමේ සටනට උර දෙනු වස් කරබාන වෙත පැමිණි බව සෝමාවතී ගෙවිලිය සඳහන් කළාය.

"අක්කර දහයක බඩ ඉරිඟු වගා කළා. ගිය අවුරුද්දේ ලක්ෂ හතක් පාඩු වුණා. පුතා ඉගෙනීම දාලා ගෙදර ආවා. දුවත් ඉගෙන ගන්නවා. දැන් ලක්ෂ දොළහක් විතර ණය වෙලා. ඉස්සර වගේ නෙවෙයි දැන් නොමැරී ජීවත් වෙන්නේ"

සෝමාවතී මෙන් ම ඊට යාබද කටු මැටි නිවසේ ජීවත් වන ශාන්තිකා මදුෂානිට ද දළඹු උවදුර එකසේ බලපා තිබේ.

මදුෂානි සිය සැමියා සමග එක්ව පුරා මාස හතරක් මහ පොළොව සමග පොර බැදුවේ, සිය දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ බඩවියත රැක ගැනීම සඳහාය.

ඔවුන් විසින් වගා කරන ලද බඩ ඉරිඟු අක්කර තුන මේ වන විටත් සේනා දළඹුවන් ගිලගෙන හමාරය.

Image caption ශාන්තිකා මදුෂානි

"හාල් ටිකක් කලවම් කරලා හොද්දක් හදලා දරුවන්ගේ බඩගින්න නිවනවා," ශාන්තිකා මදුෂානි කියා සිටියේ හිස් අහස දෙස බලමිනි.

සේනා දළඹු උවදුරට අමතරව වඩිනාගල අවට ප්‍රදේශයේ මේ වනවිට පවතින්නේ දැඩි පෑවිල්ලකි.

අක්කර තිස් දහසක පමණ බඩ ඉරිඟු වගා කර ඇති වඩිනාගල ප්‍රදේශයේ ගෙවිලියන් වැඩි දෙනෙකු පවසන්නේ බඩ ඉරිඟු වගාව හැරුණු කොට එම ප්‍රදේශයේ කුලී රැකියාවක් හෝ සොයා ගත නොහැකි බවය.

"අකමැත්තෙන්" හෝ තෝරා ගැනීමට ඇති ඔවුන් සතු එක ම විකල්පය වන්නේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවයට යාමය.

එහෙත් ඇඟළුම් කර්මාන්ත ශාලාවක් පිහිටා තිබෙන්නේ සිය ගම්මානයේ සිට කිලෝමීටර 30 ට වැඩි දුරකින් බව වඩිනාගල කාන්තාවෝ පවසති.

Image caption ටී. දමයන්ති

බඩ ඉරිඟු තම්බා අලෙවි කරන ස්ථාන ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල මාර්ග දෙපස දැකිය හැක.

සේනා දළඹු උවදුර බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට මෙන් ම ඒවා තම්බා අලෙවි කිරීම ජීවිකාව කර ගත් පවුල්වලට ද දැඩි බලපෑමක් එල්ල කර ඇත.

ගල්මඩුව ප්‍රදේශය හරහා වැටී ඇති අම්පාර කොළඹ මාර්ගයේ පසෙක බඩ ඉරුඟු අලෙවි කරමින් ජීවත් වන ටී. දමයන්ති බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සේනා දළඹු උවදුර ව්‍යාප්ත වීමට පෙර එක් දිනකට බඩ ඉරිඟු කරල් 200-300 ත් අතර සංඛ්‍යාවක් අලෙවි කළ ද මේ වන විට එම සංඛ්‍යාව 40 ටත් වඩා අඩු වී ඇති බවය.

"දරුවෝ හතර දෙනෙක් ඉන්නවා ජීවිත් කර ගන්නේ අමාරුවෙන්. මහත්තයා කුලී වැඩ කරන්නේ. මිනිස්සු ඉරිඟු කන්නේ නැති නිසා විකුණ ගන්න බැහැ,"

ඇය වෙළෙඳාමේ යෙදෙන ස්ථානයට ආසන්නයේ බඩ ඉරිඟු අලෙවි කළ තවත් කාන්තාවන් සිව් දෙනෙකු සිය වෙළෙඳාමට තිත තබා ඇති බව ඇය කියා සිටියේ වසා දැමූ වෙළෙඳසල් පෙන්වමිනි.

කවුද මේ සේනා දළඹුවා?

සේනා දළඹුවා යනු ජීව විද්‍යාත්මකව Spodoptera frugiperdaයන නාමයෙන් හඳුන්වනු ලබන සලබයාගේ කීට අවස්ථාවය.

නිශාචර සත්වයෙකු වන එම සලබයාගේ විශේෂත්වය වන්නේ වරකට 100-1000 ත් අතර බිත්තර සංඛ්‍යාවක් දැමීමය.

එමෙන් ම සලබයාට දිනකට කිලෝමීටර 100 ක පමණ දුරක් පියාසර කළ හැකි බව විශේෂඥයෝ පවසති.

ඒ හේතුවෙන් ආක්‍රමණශීලී ආගන්තුක කෘමි පළිබෝධකයා ශීඝ්‍රයෙන් පැතිරීම පාලනය කිරීම අපහසු කාර්යයක් වනු ඇති බව ඇතැම් විශේෂඥයන්ගේ මතය වී තිබේ.

කෘමීන් අයත් වන ආත්‍රපෝඩා (Arthropoda) වංශයේ, ඉන්සෙක්ටා (Insecta)වර්ගය යටතට ගැනෙන සමනලයින් හා සලබයන් අයත් වන ලෙපිඩොප්ටෙරා (Lepidoptera) ගෝත්‍රයේ සාමාජිකයෙකු වේ.

ව්‍යාප්තිය

Image copyright CABI

ශ්‍රී ලංකාව තුළ සේනා දළඹුවා පළමු වරට වාර්තා වී ඇත්තේ 2018 වසරේ ඔක්තෝබර් මාසයේදීය.

ඒ, අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රදේශයේ ඉද්දපොළ ගම්මානයේ බඩ ඉරිඟු වගාවකිනි.

මේ වන විට ගොයම්, මුං ඇට, උක් වගාවට මෙන් ම එළවළු වගාවට ද සේනා දළඹුවා හානි කර ඇති බව ගොවීහු පවසති.

වැඩි ම හානියක් වාර්තා වන්නේ බඩ ඉරිඟු වගාව මහා පරිමාණයෙන් කෙරෙන අම්පාර දිස්ත්‍රික්කයෙනි.

අම්පාර දිස්ත්‍රික්කයේ දමන, මහඔය සහ පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල බඩ ඉරිඟු කරල් පූදින ලද වගාව මෙන් ම අක්කර සිය ගණනක පැළ වගාව ද විනාශ වී ඇති අයුරු එහි කළ සංචාරයකදී බීබීසී සිංහල සේවයට දැක ගැනීමට හැකි විය.

Image caption විනාශ වූ බඩ ඉරිඟු වගාවක්

උතුරු හා මධ්‍යම ඇමරිකාවේ දක්නට ලැබෙන සේනා දළඹුවන් 2016 වසර වන විට අප්‍රිකානු රටවලින් වාර්තා වූ බව බලධාරීහු පවසති.

2018 මැයි මාසය වන විට අසල්වැසි ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය ද සේනා දළඹු වසංගතයට මුහුණ දී තිබේ.

නිරිතදිග මෝසම් සමය ආරම්භ වීමත් සමග සලබයන් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි විශ්වාස කරේ.

ජීවන චක්‍රය

Image copyright doa.gov.lk

සේනා දළඹුවා හඳුනා ගැනීම එතරම් අපහසු නැත. ළපටි කීටයන් ලා කොළ පැහැතිය. වැඩුණු කීටයන් කොළ, කහ හෝ දුඹුරු පැහැතිය. හිස තද පැහැති වන අතර හිසෙහි යටිකුරු වූ වයි (Y) අකුරක හැඩති සළකුණක් ඇත. ශරීරයේ සෑම දේහ කණ්ඩයකම පෘෂ්ඨියව ලප හතර බැගින් පිහිටන අතර අවසාන කණ්ඩයට පෙර කණ්ඩයේ මෙම ලප හතර චතුරශ්‍රාකාර කොටුවක මුලු සලකුණු කරමින් පිහිටයි. වැඩුණු කිටයෙකු 3-4 cm ක් පමණ දිගය .

හානියේ මුල් අවධියේදී පත්‍ර මත සුදු පැහැති කුඩා ලප දක්නට ලැබේ. හානිය උග්‍ර වන විට විශාල වශයෙන් පත්‍ර කා දැමීම නිසා පත්‍රවල ඉරුණු හා කඩතොළු ආකාරයෙන් දැකිය හැක. දළඹුවා බඩ ඉරිඟු ශාකයේ පත්‍රවලට මෙන්ම ගොබයට ද හානි කරයි. කරල් ඇත්නම් දළඹුවා ඒවාට ද හානි සිදු කරයි.

සේනා දළඹුවා පත්‍ර මත බිත්තර දැමූ විට දින 3-5 අතර කාලයේදී කීටයා බවට පත්වේ . එම කීටයා දින 14-22 අතර කාලයේදී බඩ ඉරිඟු වැනි ශාක පත්‍ර ආහාරයට ගෙන පිලවා අවස්ථාවට පත්වේ. (මෙම සත්වයාගේ ජිවන චක්‍රයේ වඩාත්ම හානිකර අවස්ථාව කීට අවධියයි) පස තුළ දින 7-13 ත් අතර කාලයක් ගතකර සුහුඹුල් අවස්ථාව හෙවත් සළබයා බවට පත්වේ. එම සලබයා දින 10-21 අතර කාලයේදී ලිංගික පරිනතිය ලබා බිත්තර දමයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන පරිදි හානිය දුටු වහාම ක්ෂණික ක්‍රියාකාරිත්වයක් ඇති ස්පිනොටරම්, එමමෙක්ටින් බෙන්සෝඒට් හෝ ක්ලොරැන්ට්‍රනිලිපෝල් යන කෘමිනාශක වලින් එකක් භාවිත කිරීම වඩාත් යෝග්‍ය වේ. හානිය තවදුරටත් පාලනය කිරීම සඳහා දින හතකට වරක් වෙනස් ක්‍රියාකාරී කාණ්ඩයක් සහිත කෘමිනාශකයක් භාවිත කළ හැකි වන අතර ඒ පිලිබඳ වැඩි විස්තර ප්‍රදේශයේ කෘෂි නිලධාරීන්ගෙන් ලබාගත හැක.

ගොවීන් දැනුවත් කිරීම සඳහා සිය නිලධාරීන් කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

අම්පාර කෘෂිකර්ම උපදේශක නුවන් සම්පත් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ සේනා දළඹුවාගෙන් මෙන්ම නියගයෙන් ද වගාබිම් විනාශ වී ඇති බවය. එහි හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ හානිය තක්සේරු කිරීමට අදාළ වාර්තා ලබාගනිමින් සිටින බවය.