ස්මාර්ට් පන්ති කාමරය: ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට නැවුම් අත්දැකීමක්

ස්ථානය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලය.

8 ශ්‍රේණියේ පන්තියේ සියලු සිසුන් ළඟ ටැබ් පරිගණක යන්ත්‍රයක් තිබිණි. කළු ලෑල්ල වෙනුවට පන්තියේ ඇත්තේ දැවැන්ත සුහුරු පුවරුවකි.

ගුරුවරියගේ අරමුණ ක්ෂුද්‍ර ජීවීන් ගැන දරුවන්ට කියා දීමය. ඇය මුලින්ම ක්ෂුද්‍ර ජීවීන් ගැන වීඩියෝ පටයක් දරුවන්ට පෙන්වූවාය.

ඉන් පසු ඇය ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධ ඉරියව් 3D තාක්ෂණය ඔස්සේ දරුවන්ට පැහැදිළි කළාය.

දරුවෝ ඒ වන විටත් සිය ටැබ් පරිගණකයේ ඇති ක්ෂුද්‍ර ජීවීන් ගැන පරිච්ඡේදයට ගොස් ඒ පාඩමට සවන් දෙමින් සිටියහ.

ඔවුන් ළඟ පෑන්, පැන්සල් හෝ පොත් නොමැත. ඇත්තේ ටැබ් පරිගණකය සහ එහි බැටරි චාජරය පමණි.

මේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ, සුහුරු පන්තියක දක්නට ලැබුණ සිදුවීමකි.

අද එම විදුහලට විශේෂ දවසක් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පාසලක සමස්ත ශ්‍රේණියක්ම සුහුරු පන්ති කාමර බවට පත්කිරීම එම විදුහලෙන් ආරම්භ වූ බැවිනි.

මෙහිදී පාසලේ 8 ශ්‍රේණියේ පන්ති කාමර පහටම මෙම තාක්‍ෂණය හඳුන්වා දෙනු ලැබිණ.

Image caption පාසල් සිසුන්ට නැවුම් අත්දැකීමක්

2017 වසරේ ප්‍රථම වරට මෙම පාසලේ ආදර්ශ සුහුරු පන්ති කාමරයක් ආරම්භ කළ අතර එවකට 7 ශ්‍රේණියේ සිටි එම ශිෂ්‍යයන් දැන් සිටින්නේ 9 ශ්‍රේණියේය.

"ළමයෙක් ඇසෙන දේ ට වඩා ඔවුන් දකින දේ හොඳට ඒගොල්ලන්ගේ මොළේ තැන්පත් වෙනවා. ඒගොල්ලන්ට ප්‍රශ්න පත්තරවලට උත්තර ලියද්දි අමුතුවෙන් නැවත පාඩම් කරන්න ඕනේ නැහැ," සුහුරු පන්තියක් (Smart Classroom) භාර ඉන්ද්‍රානි ධම්මිකා ගුරුතුමිය බීබීසි සිංහල සේවය සමග කියා සිටියාය.

"ඒගොල්ලන්ට ටැබ් එකෙන්ම පුළුවන් පෙළ පොත අරගන්න. අපි දෙන පැවරුම් ඒගොල්ලන්ගේ ටැබ් එකේම තියෙනවා. එතකොට මට ඉස්කෝලෙදීම පොත් බලන්න ඕනේ නැහැ. ළමයි ඒක කරලා මට එවූ විට මට පුළුවන් ගෙදර ඉඳන් මගේ පරිගණකයෙන් ඒවා බලලා ලකුණු දාන්න."

"සියලු සටහන් ලියන්නෙත් ටැබ් එකෙන්, අඳින දේවල් අඳින්න පුළුවන්. ඕනෑම දෙයක් මේ ටැබ් එකෙන් කරන්න පුළුවන්," ඇය මෙම ස්මාර්ට් හෙවත් සුහුරු පන්ති කාමරය ක්‍රියාත්මක වන ආකාරය ගැන විස්තර කරමින් කියා සිටියාය.

Image caption ඉන්ද්‍රානි ධම්මිකා ගුරුතුමිය පාඩමක් කියා දෙමින්

මෙම ව්‍යාප්තිය සඳහා නොමිලේ තාක්ෂණික දායකත්වය සහ මගපෙන්වීම සිදු කරන්නේ කෝඩ්ජේන් ඉන්ටර්නැෂනල් නමැති ආයතනය විසිනි.

එම ආයතනය දැනට පාසල් කිහිපයක මෙය නියමු ව්‍යාප්තියක් ලෙස ක්‍රියාත්මක කරමින් සිටී.

"මගේ ආයතනයේ උපාධිධාරීන් 600ක් වැඩකරනවා. අපි දැනගත්තා මේගොල්ලන්ගේ තියෙන අඩුපාඩු. අඩුපාඩු හදාගන්න මම මුලින්ම ගියේ විශ්වවිද්‍යාලවලට. ඒ අය කියනවා මේක අපේ වැරැද්දක් නෙවෙයි මේක අපේ අධ්‍යාපන ක්‍රමයේ වරදක් කියලා. ඒකෙ වෙනසක් කරන්න ඕනේ කියලා තමයි සම්ප්‍රදායික ක්‍රමය වෙනස් කරලා මේ තාක්ෂණය යොදාගත්තේ", කෝඩ්ජේන් ඉන්ටර්නැෂනල් ආයතනයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුබසිංහ බීබීසි සිංහල සේවයට මෙම ව්‍යාප්තිය ගැන හේතු පැහැදිලි කරමින් කීය.

"ටැබ් එකට රජය සහ වෙනත් අය අනුග්‍රහය ලබාදෙනවා. සමහර ඒවා අපි දෙනවා. මේකේ ඇතුළේ තියෙන සියලු මෘදුකාංග අපි නොමිලේ ලබාදෙනවා, දැනට 8 ශ්‍රේණිය ගත්තොත් සියලු විෂයයන්ට අදාළ විෂය නිර්දේශ, සිලබස් එක සම්පුර්ණයෙන්ම තියෙනවා. පොත් පත් අරගෙන යන්න ඕනේ නැහැ", ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

කෝඩ්ජේන් ඉන්ටර්නැෂනල් ආයතනයේ නිලධාරීන් විසින් ගුරුවරුන් සහ දරුවන් පුහුණු කිරීමද සිදුකරයි .

Image caption ටැබ් පරිඝණකයක් හසුරුවන දරුවෙක්

"මම ස්මාර්ට් ෆෝන් එකක් වත් භාවිත කරන්න දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒගොල්ලෝ අපිව පුහුණු කළා හොඳටම. දැන් අපිට පුළුවන් ටැබ් එකේ ඕනෑම සෙල්ලමක් දාන්න. දරුවන්වත් පුරුදු කළා. දරුවෝ බොහොම ඉක්මනින් ඒ ටික ඉගෙන ගත්තා," ඉන්ද්‍රානි ධම්මිකා ගුරුවරිය තමන් ලැබූ පුහුණුව ගැන කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සියලු පාසල්වල මෙම ක්‍රමය ක්‍රියාත්මකවීම දැකීම තම සිහිනයක් බවද මෙම ගුරුතුමිය පැවසුවාය.

"ලෝකය අපිව දාල දුවනවනෙ. ඒක නිසා අපි ඔක්කෝම එකට මේ ගමන යන්න හිටියොත් කවුරුත් අඩියක් ඉස්සරහට තියන්නේ නැහැ. ඒ නිසා අපි ඉස්සරහට යන ලෝකෙත් එක්ක යන්න පටන් ගමු. එතකොට හිමිහිට මේව ගමටත් යාවි." ඇය බලාපොරොත්තු සහගතව කීවාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර