ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය: ගෝඨාභයට අධිකරණයෙන් අවවාද

Image copyright Getty Images

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නැති බවට විත්තිකරුවන් ගොනු කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

මෙම නියෝගය කරනු ලැබුවේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

තීරණය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් ප්‍රකාශ කළේ අගවිනිසුරුවරයා විසින් නිකුත්කළ විධානයකට අනුව මෙම නඩු විභාගය පැවැත්වෙන බවය.

එබැවින් මෙම නඩුව විභාග කිරීමට තම අධිකරණයට තිබෙන බලය සම්බන්ධයෙන් තීරණයක් දීමට තමන්ට හැකියාවක් නොමැති බව ද ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල සිය නියෝගයෙන් අවධාරණය කර සිටිති.

එමෙන්ම විත්තිය විසින් ඉල්ලා සිටි පරිදි මෙම නඩුව විභාගයට ගන්නා ලෙස දන්වමින් අගවිනිසුරුවරයා නිකුත් කළ විධානයේ පිටපතක් විත්ති පාර්ශවය වෙත විවෘත කිරීමට ද අධිකරණය නියම කළේය.

එම නඩුව සඳුදා (ජනවාරි 11) කැඳවූ අවස්ථාවේ නඩුවේ 6 වන විත්තිකරු ලෙස නම් කර සිටින මෙන්ඩිස් සාලිය අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු අසනීපව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

Image copyright FACEBOOK/GR/BBC

ඒ අනුව නඩුව ලබන 22 දින දක්වා කල් දැමූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය එදිනට විත්තිකරුවන්ගේ උත්තරවාද ඉදිරිපත් කරන මෙන් ද නියම කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණයේ පෙනී නොසිටි අතර නඩුව ආරම්භ වී සුළු වේලාවකින් ඔහු අධිකරණයට පැමිණියේය.

ඔහුගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මාර්ගයේ පැවති අධික වාහන තදබදය හේතුවෙන් ඔහුට නිසි වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවය.

ඒ අවස්ථාවේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය වෙත ඉල්ලීමක් කරමින් නිසි වේලාවට අධිකරණය පෙනී සිටින මෙන් විත්තිකරුවන්ට අවවාදයක් කරන මෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සියලුම විත්තිකරුවන් නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට අවවාද කළේය.

මේ තොරතුරුද කියවන්න:

එය ඉකුත්දා විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු විත්ති පාර්ශවයේ නීතිඥවරු ව්‍යවස්ථාදායකය විසින් මෙම විශේෂ මහාධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ බරපතල ආර්ථික සහ මූල්‍ය වැරදි පිළිබඳ නඩු විභාග කිරීමට බැවින් මෙම නඩුව විභාග කිරීමට එම අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් කරුණු දැක්වූහ.

මෙය සාමාන්‍ය මහාධිකරණය වෙත යොමුකළ යුතු නඩුවක් බව සඳහන් කළ විත්තියේ නීතිඥවරු මෙම විරෝධතා පිළිගෙන නඩුව ප්‍රතික්ෂේප කොට විත්තිකරුවන් නිදහස් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් ඒ අවස්ථාවේ සඳහන් කළේ මෙම නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග වීමට සුදුසු බවට අගවිනිසුරුවරයා විසින් තීන්දු කිරීමෙන් අනතුරුව ඔහු විසින් නිකුත් කළ විධානයකට අනුව නඩු විභාගය ආරම්භ වී ඇති බවය.

මේ හේතුවෙන් විත්තිය විසින් මතුකරන විරෝධතාව පදනම් විරහිත හෙයින් එය ප්‍රතික්ෂේප කොට නඩු විභාගය ආරම්භ කරන ලෙස ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

පසුගිය රජය සමයේ, මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව පොදු දේපල පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අය නම් කර තිබේ.

තවත් තොරතුරු: