ජංගම දුරකතන සහ ටැබ් භාවිතය: "පැය දෙකකට වරක් ළමුන්ට විවේකයක් දිය යුතුයි"

Image copyright Getty Images

මත්පැන් සහ දුම් පානයට ඇබ්බැහි වූවන් තුළ දැකිය හැකි ඇතැම් රෝග ලක්‍ෂණ, අන්තර්ජාලයට ඇබ්බැහිවූ ළමුන් තුළ ද දැකිය හැකි බව මානසික රෝග පිළිබඳ විශේෂඥවරියක් පවසන්නීය.

දවස කළමනාකරණය කරගැනීමට ඇති නොහැකියාව, ප්‍රමුඛත්වය දිය යුතු කාර්යයන් නිශ්චය කරනීමට නොහැකි වීම, ඉක්මන් කේන්තිය ඉන් රෝග ලක්‍ෂණ කිහිපයක් බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර ප්‍රකාශ කළාය.

ඇය අවධාරණය කර සිටියේ දරුවාගේ හොඳ ම මිතුරා බවට පරිගණකය පත් වී, ඔවුන් හුදෙකලා වීම වළක්වා ගැනීමට නම් දෙමාපියන් දරුවන්ගේ හොඳ ම මිතුරා විය යුතු බවය.

"අන්තර්ජාලයේ වැඩි වෙලාවක් සැරිසරන විට අපේ මොළයේ තියෙන සතුට ගෙන දෙන ස්ථානය (Reward and Pleasure Centre) උත්තේජනය වෙනවා. එවිට ඩෝපමින් (Dopamine) නමැති රසායනය ඒ සෛල තුළට වෑස්සෙනවා. එහෙම වුනාම ඒ සෛලවලින් ඉල්ලන්නේ ම මේ අන්තර්ජාලය ම තමයි. වෙනත් දෙයකට මනස යොමු කරන්න ඉඩ දෙන්නෙ ම නැහැ." ඇය බීබීසී සිංහල සේවයට පැවසුවාය.

Image copyright RAMANI RATHNAWEERA
Image caption මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් නිකුත් කළ අලුත් ම වාර්තාවක දැක්වෙන්නේ රාත්‍රී ආහාරය ගන්නා අවස්ථාවේදී සහ නින්දට යන විටදී ළමුන්ට ජංගම දුරකතන වැනි උපකරණ භාවිත කිරීමට ඉඩ නොදිය යුතු බවය.

ජංගම දුරකතන, ටැබ් හෝ පරිගණක තිර දෙස බලා සිටින ළමුන්ට සෑම පැය දෙකකට ම වරක් විවේකයක් ලබා දිය යුතු බව ද බ්‍රිතාන්‍ය රජයේ වෛද්‍ය උපදේශකවරු අවධාරණය කරති.

දිවි නසා ගැනීම්

මෙම මග පෙන්වීම් ප්‍රකාශයට පත් වී ඇත්තේ, දිවි නසා ගැනීමේ සහ තමන් විසින් ම සිරුරට හානි පමුණුවා ගනු ලැබීමේ සිදුවීම් පාලනය කර ගැනීමේ ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස ඉන්ස්ටග්‍රෑම් බලධාරීන් සහ එංගලන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබියදීය.

පසුගිය දා බ්‍රිතාන්‍යයේ නව යෞවනියක දිවි නසා ගැනීමෙන් අනතුරුව ඇයගේ පියා කියා සිටියේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය භවිතා කිරීම ඇයගේ මරණයට හේතුවක් වූ බවය.

Image caption මොලී රසල්: දිවි නසා ගත් සිසුවිය

හුදෙකලාව

මේ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර කියා සිටියේ නිතර දෙවේලේ අන්තර්ජාලයේ සැරිසරන හෝ පරිගණක ක්‍රීඩාවේ යෙදෙන ළමුන් පිළිබඳව දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.

"හුදෙකලාව නිසා පරිගණකයට ඇබ්බැහි වන දරුවාගේ ජීවිතය ඊටත් වඩා භයානක ලෙස හුදෙකලා වෙනවා. දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ශරීර සෞඛ්‍යය දුර්වල වී ජීවිතය අඳුරු වෙනවා. මේ ගැන දෙමාපියන් විමසිලිමත් විය යුතුයි." වෛද්‍යවරිය පවසන්නීය.

අන්තර්ජාලයට ඇබ්බැහි වීම නිසා අධ්‍යාපනය කඩාකප්පල් කර ගත් ළමුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා තමන් වෙත පැමිණෙන බව ද ඇය ප්‍රකාශ කළාය.

මේ ගැනත් කියවන්න

Image copyright Getty Images

'මේ ප්‍රශ්නය නිසා පවුල තුළ සාමය සමගිය නැති වෙනවා. ජීවන සබඳතා දැන් අඩු වෙලා. වැඩිහිටියොත් අන්තර්ජාලයේ තනි වෙලා. ඉස්සර එක වේලක් හරි එකට ඉඳගෙන කෑවා. දැන් හැමෝම හැමෝගෙ ම ලෝකවල මේ මෙවලම් සමග තනි වෙලා." විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පැවසුවාය.

බ්‍රිතාන්‍ය රජයේ වෛද්‍ය උපදේශකවරුන් පවසන්නේ ජංගම දුරකතන, ටැබ් හෝ පරිගණක වැනි උපකරණ නිෂ්පාදනය කරන්නන් ළමුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවය.

කෙසේ නමුත්, ජංගම දුරකතන, ටැබ් හෝ පරිගණක තිර පදනම් වී ඇති ක්‍රියාකාරකම් සහ මානසික සෞඛ්‍යය පිලිබඳ ගැටලු අතර පැහැදිලි සබඳතාවක් පවතින බවට සනාථ කළ හැකි සාක්ෂි මෙතෙක් තහවුරු වී නොමැති බව එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය වන මහාචාර්ය සැලී ඩේවිස් ආර්යාව පැවසුවාය.

දෙමාපියන් කළ යුත්තේ කුමක්ද?

Image copyright Thinkstock

තම දරුවන් ආරක්‍ෂිතව සහ සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සඳහා දෙමාපියන් ගත යුතු පියවර කිහිපයක් බ්‍රිතාන්‍ය වෛද්‍යවරු නිර්දේශ කර තිබේ.

  • රාත්‍රී ආහාරය ගන්නා අවස්ථාවේ දී සහ නින්දට යන විට දී ජංගම දුරකතන හෝ එවැනි උපකරණ භාවිත නොකිරීම: පවුලක් ලෙස ඒකට එක් වී කතා බස් කිරීම ළමුන්ගේ වර්ධනය සඳහා ඉතා වැදගත් වේ.
  • නිදන වේලාවේ දී ඩිජිටල් තිර සහිත උපකරණ නිදන කාමරයෙන් ඉවත් කර තැබීම.
  • අන්තර්ජාලය ආරක්‍ෂිතව පරිහරණය කිරීම සහ සයිබර් අවකාශය හරහා සිදුවිය හැකි මානසික හිරිහැර (cyber-bulling) පිළිබඳව පවුලේ සියලු දෙනා එක්ව සාකච්ඡා කිරීම: එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නේ නම් කළ යුතු දේ පිළිබඳව දරුවා දැනුවත් කළ යුතු වේ.
  • පාර හරහා පැනීම හෝ සම්පුර්ණ අවධානය අවැසි එවැනි වෙනත් ක්‍රියාකාරකමක් කිරීමේ දී ජංගම දුරකතනය භාවිතා නොකිරීම.
  • පැය දෙකකට වරක් දරුවා තිරයෙන් ඉවත් කර අසුනෙන් නැගිටවා වෙනත් ක්‍රියාවක යෙදවීම.
  • සමාජ ජාලා පරිහරණය කරන දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යෙදවීම: දරුවන් සහ දෙමාපියන් අතර වැඩි සබඳතාවක් ගොඩනගා ගත යුතුය.
Image copyright Getty Images

මොළයේ ඉදිරිපස කොටස

දවස කළමනාකරණය කර ගැනීම සහ ප්‍රමුඛත්වය දිය යුතු කාර්යයන් නිශ්චය කර ගැනීමට ඇති නොහැකියාව, අන්තර්ජාලයේ වැඩි වෙලාවක් සැරිසරන ළමුන් තුළ දැකිය හැකි තවත් දුර්වලතාවක් බව විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පවසන්නීය.

"අපේ මොළයේ ඉදිරිපස තියෙන 'ප්‍රිෆ්රන්ටල් කෝටෙක්ස්' (Prefrontal Cortex) කියන කොටසින් තමයි දවස කළමනාකරණය කර ගැනීම සහ ප්‍රමුඛත්වය දියයුතු කාර්යයන් තීරණය කෙරෙන්නේ. අන්තර්ජාලයේ බොහෝ වෙලාවක් ඉන්න ළමුන් තුළ මෙහි අක්‍රමිකතා පවතින බව අපි හඳුනාගෙන තියෙනවා." ඇය පැවසුවාය.

වයස අවුරුදු දෙක ඉක්මවන තුරු දරුවන්ට ජංගම දුරකතන හෝ ටැබ් වැනි උපකරණ පරිහරණය කිරීමට ඉඩ නොදෙන ලෙස වෛද්‍යවරිය අවධාරණය කරන්නීය.

"උපතින් පසු දරුවන් වැඩෙන්නේ සංවේදී පහකින්. ඇසීම, පෙනීම, ගඳ සුවඳ දැනීම, රස සහ ස්පර්ශය කියන සංවේදී පහෙන්. පළමු අවුරුදු දෙකේ දී දරුවන්ට නවීන තාක්ෂණය දීමෙන් වළකින්න ඕන."

"දෙමාපියන්ගේ ජීවමාන සම්බන්ධතා තුළින් තමයි මේ සංවේදීන් සියල්ල උත්තේජනය වෙන්නේ. ඒ සඳහා දෙමාපියන්ගේ ප්‍රතිචාර සහ ක්‍රියාකාරකම් ඉතාම වැදගත්. නවීන තාක්ෂණයෙන් ඒ දේ සිදුවන්නේ නැහැ." විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර