ශ්‍රී ලංකාවේ විදුලි සෝපාන සහ "මර බිය": තත්ත්ව සහතික නොමැති හිමිකරුවන්ට දඬුවම් - රවි

Image copyright Facebook
Image caption පාර්ලිමේන්තු සෝපානයේ සිර වූ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක්

"සමහර අය ඉතිපිසෝ ගාථාවත් කිව්වා කියනවා."

"තව ඩිංගෙන් හුස්ම ටික නැති වෙනව."

"මර බිය ඇති වුනාම කතානායකතුමාගෙන් වන්දි ගන්න විදිහක් හදන්න ඕන."

"මන්ත්‍රීවරයෙක් රක්ෂණය කර තිබෙන්නේ ලක්ෂ දෙකයි. ඒක ප්‍රමාණවත් නැහැ."

ඉහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මන්ත්‍රීවරුන් සඳහා වෙන් කරන ලද විදුලි සෝපානය ක්‍රියා විරහිත වීම මුල් කර ගනිමින් පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුව හමුවේ පළ කළ අදහස් අතරින් කිහිපයකි.

එසේම සෝපානය ක්‍රියා විරහිත වූ අවස්ථාවේ එහි සිටි ජනතා නියෝජිතයන් ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස් ඇතුළත් වීඩියෝ දර්ශන සමාජ ජාල ඔස්සේ හුවමාරු විය. මන්ත්‍රීවරුන් සුළු කාලයකට සෝපානයේ සිරවීම සහ සාමාන්‍ය ජනයා පොදු ප්‍රවාහන සේවයේ එදිනෙදා මුහුණ දෙන අත්දැකීම් ඇසුරු කර ගනිමින් ඇතැමුන් සමාජ ජාල තුළ විවිධ අදහස් පළ කර තිබිණි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ සෝපානයක් ක්‍රියා විරහිත වීම සම්බන්ධයෙන් කැඳවූ වාර්තාව පෙබරවාරි 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර අදාළ සෝපානය වසර 36ක් පැරණි බව අදාළ සමාගම දන්වා ඇතැයි ඒ පිළිබඳ නිවේදනයක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කතානායකවරයා දැනුම් දුන්නේය. ඒ අනුව රුපියල් මිලියන 100 ක් වැය කර පාර්ලිමේන්තු සංකීර්ණයේ අලුතින් සෝපාන 10 ක් සවි කිරීමට නිර්දේශ කර ඇති බවටත් මාධ්‍ය වාර්තා පල විය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ සෝපාන සහ ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් තිබියදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනයාගේ ප්‍රයෝජනය සඳහා තිබෙන සෙසු සෝපානවල තත්ත්වය කුමක්ද?

විදුලි සෝපානයක සිරවීම බොහෝ දෙනෙකුට බිය ගෙන දෙන අත්දැකීමක් විය හැකි බවට සැකයක් නැත.

ඇතැම් විදුලි සෝපානවල ගමන් ගැනීමේදී "මේක කඩාගෙන වැටෙයිද දන්නේ නැහැ," යනුවෙන් තමාටම කියා ගත් අවස්ථාවක් පිළිබඳ අත්දැකීමක් ඔබටත් තිබිය හැකිය.

කොළඹ ඇතුළු ශ්‍රී ලංකාවේ බොහෝ නගරවල විදුලි සෝපාන භාවිතය සීග්‍රයෙන් ඉහළ යමින් පවතින අතර විදුලි සෝපාන ආශ්‍රිත අනතුරු ද ඇතැම් විට වාර්තා වේ.

Image copyright Facebook
Image caption මන්ත්‍රීවරුන් සුළු කාලයකට සෝපානයේ සිරවීම සහ සාමාන්‍ය ජනයා පොදු ප්‍රවාහන සේවයේ එදිනෙදා මුහුණ දෙන අත්දැකීම් ඇසුරු කර ගනිමින් ඇතැමුන් සමාජ ජාල තුළ අදහස් පළ කර තිබිණි.

විදුලි සෝපානයක් අක්‍රිය වුවහොත් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අප කොපමණ දැනුවත්ද? එවැනි අවස්ථාවක අනුගමනය කළ යුතු පියවර හෝ උපදෙස් අප භාවිතයට ගන්නා සෝපාන තුළ ප්‍රදර්ශනය කර තිබේද? යන්න පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්ය.

මගී සෝපානවල ඉතිහාසය අවුරුදු 150 කට අධික කාලයකට දිව යන්නකි. නවීන ආරක්ෂණ ක්‍රමවේද සමග වර්තමානයේ නිෂ්පාදනය කෙරෙන සෝපාන පතුල් මහලය (Basement) වෙත කඩා වැටීමට ඇති හැකියාව සාපේක්ෂව ඉතා අඩු අගයක් ගනු ලබයි.

වැඩි වශයෙන් සෝපාන ආශ්‍රිත අනතුරු වාර්තා වන්නේ එහි දොර වැසෙන අවස්ථාවේ ශරීරයේ කොටස් ඊට සිරවීම හේතුවෙනි.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මාරක අනතුරු කිහිපයක්

  • 2018 පෙබරවාරි 18 : බොරැල්ල වනාත සහස්පුර නිවාස සංකීර්ණයේ සිදු වූ අනතුරකින් විදුලි සෝපාන ක්‍රියාකරුවෙකු මරණයට පත් විය
  • 2018 අප්‍රේල් 14 : ගල්කිස්ස, ගාලු පාර අසල පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක විදුලි සෝපානයට සහ බිත්තියට සිර වීමෙන් තරුණයෙකු මරණයට පත් විය
  • 2018 දෙසැම්බර් 29 : කොළඹ, නවම් මාවතේ පිහිටි සමාජ ශාලාවක විදුලි සෝපානයක සිදු වූ අනතුරකින් රගර් ක්‍රීඩකයෙකු මරණයට පත් විය

පාර්ලිමේන්තු විදුලි සෝපානය අක්‍රියවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලි බල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවි කරුණානායක කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කළ විදුලි සෝපාන 28,500 ක් ඇති බවය.

Image copyright Getty Images
Image caption තත්ත්ව සහතිකය නොමැති විට ගොඩනැගිල්ලේ හිමිකරුට දඬුවම් - අමාත්‍ය රවී කරුණානායක

එම සෝපානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වසරකට වරක් සහතිකයක් ලබා ගත යුතු බවටත් එය සෝපානවල ප්‍රදර්ශනය කළ යුතු බවටත් වන කැබිනට් යෝජනාවක් ගෙන එන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රවි කරුණානායක වැඩිදුරටත් කියා සිටියේ සෝපාන ආශ්‍රිත අනතුරු සිදුවුවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු නොවන තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ දැක ගත හැකි බවය.

ශ්‍රී ලංකාව වෙත සෝපාන ගෙන්වන ලද සමාගම්වලින් කළ විමසීමකදී 25,000 අධික සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ඇතැයි තහවුරු වී ඇති බව කී අමත්‍යවරයා රජයේ ආයතනයක් සහ පුද්ගලික අංශයේ ආයතනයක් ඒකාබද්ධව සෝපාන හා ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරනු ඇති බව සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ තත්ත්ව සහතිකය නොමැති විට ගොඩනැගිල්ලේ හිමිකරුට දඬුවම් ලබා දිය හැකි ක්‍රමවේදයක් සැකසීම සිය අරමුණ බවය.

සෝපානය සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ බිඳක්

Image copyright Getty Images

මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අසංක රොද්‍රිගු පවසන පරිදි ආරම්භයේ දී සොපානවල ක්‍රියාකාරිත්වය සඳහා භාවිත කර ඇත්තේ හයිඩ්‍රොලික් තාක්ෂණයයි.

නමුත් එහි යාන්ත්‍රික (Mechanical components) උපාංග වැඩි වශයෙන් ඇතුලත් වූ බැවින් නඩත්තුව (Maintenance) සහ පීඩනය (Pressure) පවත්වාගැනීමේ අපහසුතා මතුවීම හමුවේ විකල්ප මාර්ග කෙරෙහි අවධානය යොමු වූ බව ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව සෝපාන සඳහා විදුලි මෝටර් තාක්ෂණය යොදා ගැනීම ආරම්භ කෙරුණු බව ආචාර්ය රොද්‍රිගු ඒ සඳහා පළමුව සෘජු ධාරා (DC) මෝටර් යොදා ගත් බව පවසයි.

"පසුකාලීනව එක්දහස් නවසිය ගණන්වල විකල්ප ධාරා (AC) මෝටර් හඳුන්වා දුන් පසු සෝපානවල වේගය, බර ඇදීම (Traction) පාලනය කිරීමට හැකි වුනා. දැන් වෙද්දී ඒ සඳහා ඉතාමත් ඉහළ තාක්ෂණයක් යොදා ගන්නවා."

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා පවසන පරිදි නවීන සෝපානයක ක්‍රියාකාරිත්වයේ අසාමාන්‍ය තත්ත්වයක් ඇති වුවහොත් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විද්‍යුත් සහ යාන්ත්‍රික යන කොටස් දෙක යටතට ගැනෙන උපාංග ගණනාවක් අන්තර්ගත කර තිබේ.

"මේක විශේෂිත ක්ෂේත්‍රයක්. ලෝකයේ සෝපාන නිෂ්පාදනය කරන සමාගම් සීමිත ප්‍රමාණයක් තිබෙන්නේ. ඕනෑම සෝපානයක හානිය අවම කිරීම සඳහා මූලික (Basic) ආරක්‍ෂිත ක්‍රම කිහිපයක් අඩංගු වෙනවා. ඉන් එහාට තවත් ආරක්‍ෂිත ක්‍රමවේද අඩංගු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා යම් මුදලක් වැයකළ යුතු වෙනවා."

විදුලි සෝපානයක් කඩා වැටිය හැකිද?

Image copyright Reuters

ඉහළ පහළ යා හැකි උපරිම වේගයක් සහිතව ඕනෑම විදුලි සෝපානයක් නිෂ්පාදනය කෙරෙන බව කී ආචාර්ය අසංක රොද්‍රිගු, වේගයේ යම් වැඩිවීමක් සිදු වුවහොත් එය පාලනය කිරීම සඳහා විද්‍යුත් පාලන පද්ධතියක් (Electric governor system) අන්තර්ගතවන බව පෙන්වා දෙයි.

"ඒ අනුව සෝපානයේ වේගය පාලනය කර ළඟම තිබෙන මහලට ගෙනත් සෝපානය නවත්වනවා. යම් හෙයකින් එය අසාර්ථක වුවහොත් ඒ සඳහා යාන්ත්‍රික පාලන පද්ධතියක් (Mechanical governor system) තිබෙනවා. එමගින් සෝපානයේ චලනය නවත්වනවා."

"විද්‍යුත් සහ යාන්ත්‍රික කියන මේ දෙකම එකවිට අසාර්ථක වුවහොත් සෝපානයක් කඩා වැටිය හැකියි. නමුත් එවැනි අවස්ථා අඩුයි."

විදුලිය විසංධි වන අවස්ථාවකදී

වර්තමානයේ නිෂ්පාදනය කෙරෙන සෝපාන විදුලිය විසංධි වීමකදී ළඟම ඇති මහළ අසලට පැමිණ නතර වන සේ සකසා ඇති බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා පෙන්වා දෙයි.

"ඒ වගේම දැන් නිෂ්පාදනය කෙරෙන බොහෝ සෝපනවල UPS එකක් හරහා විදුලිය ලබා දෙනවා. රෝදයකින් කරකවා මැනුවල් ආකාරයට ළඟම ඇති මහළ වෙත ගෙන ආ හැකි ආකාරයටත් ඇතැම් සෝපාන නිෂ්පාදනය කර තිබෙනවා."

කෙසේ නමුත් ඉහත කී ආරක්‍ෂිත උපාංග නිෂ්පාදනය කෙරෙන සමාගම අනුව ඒ සඳහා භාවිත කෙරෙන ක්‍රමවේදයන් ද වෙනස් විය හැකි බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසංක එස් රොද්‍රිගුපෙන්වා දෙයි.

වාතාශ්‍රය

සෝපානයක් නිෂ්පාදනය කරන විට වාතාශ්‍රය ලබා දීම සඳහා පංකාවක් (Ventilation Fan) අන්තර්ගත වීම අනිවාර්ය වන බව කී ආචාර්යවරයා ඇතැම් සෝපාන සඳහා ස්වභාවිකව වාතාශ්‍රය ලැබීමට සලස්වා ඇති බව සඳහන් කළේය.

"සෝපානය සඳහා වාතය ලබා දෙන මාර්ගය අවහිර වුවහොත් ශ්වසනය කිරීම අපහසු විය හැකියි."

තත්ත්ව සහතික

සෝපානයක ඒ ඒ උපාංග සඳහා ජාත්‍යන්තර ප්‍රමිති (International standards) ඇති බව කී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ද (SLS) එම ජාත්‍යන්තර මිනුම්දඬු යොදා ගන්නා බව සඳහන් කළේය.

"කවුරුන් හෝ සෝපානයක් ගෙන එන අවස්ථාවක ඉහත කී ජාත්‍යන්තර ප්‍රමිති තමයි ලංකාවත් යොදා ගන්නේ."

නඩත්තුව

බොහෝ අවස්ථාවල සෝපාන නිෂ්පාදකයන් විසින් ම නඩත්තු ගිවිසුමක් ලබා දෙන බව කී ආචාර්ය අසංක රොද්‍රිගු ඇතැම් අවස්ථාවල ඒ සඳහා තෙවෙනි පාර්ශවයක් වෙත යොමු වන බව පැවසීය.

නිසි කලට නඩත්තුව සිදු නොවන අවස්ථාවල ගැටලු ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි විෂයයන්