ශ්‍රී ලංකාවේ 'මිනිස් ජාවාරමක්': "හැත්තෑ දෙදෙනෙකු රැගත් නීතිවිරෝධී බෝට්ටුව ප්‍රංශයේ රීයූනියන් වෙත"

Image copyright Getty Images
Image caption ධීවර බෝට්ටු යොදා ගනිමින් සිදුකරන මිනිස් ජාවාරම් නැවතත් සක්‍රීය වී ඇති බව වාර්තා වේ

"තවත් මාළු බෝට්ටුවක් රීයූනියන් ගිහිල්ලා, ඒකේ හැත්තෑ දෙකක් ඉඳල තියෙනවා. බෝට්ටුව දෙපාරක් මුහුද මැදදී පෙරලෙන්න ගිහින් තියෙනවා. මේක හරිම අවදානම් ගමනක්," හලාවත ප්‍රදේශවාසියෙකු සඳහන් කළේය.

ධීවර බෝට්ටු යොදා ගනිමින් සිදුකරන මිනිස් ජාවාරම් නැවතත් සක්‍රීය වී ඇති අතර හලාවත මුහුදු තීරය කේන්ද්‍ර කරගනිමින් මෙය සිදුවන බව වාර්තා වේ.

ඉතාලිය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් බලා යාත්‍රා කිරීම වෙනුවට, පසුගිය මාස කිහිපය තුළ හලාවත ප්‍රධාන වයඹ සහ බටහිර වෙරළ තීරයේ සිට ප්‍රංශයට අයත් 'රීයූනියන් (Réunion)' නම් දූපතට නීතිවිරෝධී ලෙස බෝට්ටුවලින් යෑමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

ජනවාරි නව වැනි දින මිගමුව ධීවර වරායෙන් පිටත් වී තිබෙන 'ජේ ප්‍රශංශා' නමැති බහුදින යාත්‍රාව පුද්ගලයන් 72 දෙනෙකු සමග රීයූනියන් දිවයිනට යෑම මීට ආසන්නතම සිදු වීම වන අතර, සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් මෙම නීතිවිරෝධී කටයුතුවල නියැලී සිටින බව වාර්තා වේ.

ප්‍රංශයට අයත් දූපතක් වන රීයූනියන් සමස්ත ශ්‍රී ලාංකිකයන් අතර එතරම් ජනප්‍රිය නොවුව ද, මේ වන විට හලාවත ඇතුළු වයඹ සහ බටහිර මුහුදු තීරයේ ප්‍රදේශවාසීන් අතර එය ඉතා ජනප්‍රිය නාමයක් බවට පත්ව තිබේ.

ප්‍රංශයේ ප්‍රධාන භූමියට රැගෙන යන බව පවසා එයට අයත් රීයූනියන් දිවයිනට මිනිසුන් රැගෙන යෑමට ජාවාරම්කරුවෝ ක්‍රියා කරති.

ශ්‍රී ලංකා පොලිසිය, නාවික හමුදාව ඇතුළු සියලු ආරක්ෂක අංශවලට රහසේ යන මෙම දැඩි අවදානම් ගමනට දින විසි පහකට ආසන්න කාලයක් ගත වේ.

Image copyright Getty Images
Image caption "නාවික සැතපුම් තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් දුර ගෙවා යන මේ ගමන ඉතා අනතුරුදායකයි"

මේ අතර, මිනිස් ජාවාරමේ යෙදීම සඳහා විවිධ කල්ලි ධීවර බෝට්ටු පැහැර ගැනීමේ සිද්ධි කිහිපයක් ද වාර්තා වී ඇත.

"රීයූනියන් නෙමෙයි ඕනෑ තැනක ගියාට කමක් නැහැ. අපිට තියන ප්‍රශ්නය මේ තත්ත්වයක් තුළ කොහොම ද බෝට්ටුවක් මුහුදට දාන්නේ කියලා." හලාවත බහුදින යාත්‍රා හිමියෙක් පැවසීය.

'ජේ ප්‍රශංසා' යාත්‍රාව සිදු වූයේ කුමක්ද?

හලාවත පදිංචි එම් ජේ සුදර්ශන පෙරේරා, රීයූනියන් බලා ගිය අවසාන ධීවර යාත්‍රාව වන 'ජේ ප්‍රශංසා' හි හිමිකරුය.

සිය දේපළ උකසට තබා බැංකු ණයක් ලබාගෙන මෙම යාත්‍රාව මිල දී ගත් බව හතලිස් එක් හැවිරිදි සුදර්ශන පෙරේරා සඳහන් කළේය.

"මම මේ වෙලාවේ ඉන්නේ අන්ත අසරණ වෙලා. මගේ දරුවා රෝහලේ. එහෙම තත්ත්වෙක සිටිද්දී තමයි මගේ මාළු බෝට්ටුව පැහැරගෙන ගියේ."

"මම ප්‍රංශ හා රීයූනියන් බලධාරීන්ගෙන් ඉල්ලන්නේ, මේ අයට සරණාගතභාවය දෙන්න එපා කියලා. ඒ වගේ ම මගේ බෝට්ටුවත් එක්ක මේ හැත්තෑ දෙක ම නැවත ලංකාවට එවන්න කියලත් ඉල්ලනවා." යැයි ඔහු තවදුරටත් පැවසුවේය.

"මගේ මස්සිනා ඉන්නේ කතා කර ගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. එයාගේ දුව මාස තුනක් එක දිගට රෝහලේ." යැයි සුදර්ශනගේ ඥාතියෙකු වන විජිත් ප්‍රනාන්දු පැවසීය.

කුඩා දරුවන් සහ කාන්තාවන්

මහවැව, තොඩුවාවේ පදිංචි චමින්ද කුමාර මෙම යාත්‍රාවේ නියමුවා ලෙස කටයුතු කර ඇති අතර, තවත් හය දෙනෙකු එහි රැකියාවේ නිරත වී තිබේ.

"2019 ජනවාරි මාසේ මුල් සතියේ ඉඳල මාළු අල්ලන ගමනට ලෑස්ති වුණා. බෝට්ටුවේ එන්ජිම හරි නැහැ කියල ඒකටත් අලුතෙන් එන්ජිමක් තිබ්බා."

"ජනවාරි නව වන දා මීගමුවෙන් යාත්‍රාව පිටත් වුණා. මේ හැම දේ ම සිදු වුණේ නිත්‍යනුකූලවයි. හත් දෙනාට මාස දෙකකට හරියන්න අහාර, ඉන්ධන ලීටර් 10,000 ක් ඇතුළු අවශ්‍ය දෑ හා රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මාළු අල්ලන උපකරණත් මේකේ තිබුණා." යැයි විජිත් ප්‍රනාන්දු පැවසුවේය.

Image copyright Getty Images
Image caption "යාත්‍රාවක් යද්දී අනිවාර්යෙන් ම දෙතුන් පොළක ම පරීක්ෂාවට ලක්වෙනවා"

එදින මීගමුවෙන් පිටත් වූ යාත්‍රාව හලාවත ආසන්නයේ ගැඹුරු දියඹට පැමිණි විගස යාත්‍රාවේ නම වෙනස් කර ඇති බව ද ඔහු පැවසුවේය.

"ඊට පස්සේ, කලින් සැලසුම් කළ විදියට පොඩි බෝට්ටුවලින් සෙනඟ මහ බෝට්ටුවට පටවලා තියෙනවා."

"ඒ වගේ ම බෙහෙත්, ආහාර ඇතුළු අනෙක් අතවශ්‍ය ද්‍රව්‍යත් එයට පටවාගෙන තියෙනවා. ඊට පස්සේ තමයි මේ අය ගමන පිටත් වෙලා තියෙන්නේ. මේ කණ්ඩායමට නියමුවාගේ පවුලේ අයත් එකතු වෙලා. ඔක්කොම හැත්තෑ දෙකක් කියල තමයි ප්‍රංශ බලධාරීන් මේ වන විට දැනුම් දෙන්නේ." යැයි විජිත් පැවසීය.

රීයූනියන් බලා ගිය මේ යාත්‍රාවේ සිටින පිරිස අතර කුඩා දරුවන් සහ කාන්තාවන් ද සිටින බවට තොරතුරු ලැබී තිබේ.

මේ තොරතුරුද කියවන්න:

එම පිරිස අතරින් පනහකට ආසන්න සංඛ්‍යාවකින් රුපියල් ලක්ෂ අටේ සිට රුපියල් ලක්ෂ පහළොව දක්වා මුදලක් ලබාගෙන ඇති අතර, බෝට්ටුවේ වටිනාකමත් සමග රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් නියමුවා ඇතුළු පිරිස වංචා කර ඇති බව සුදර්ශන පෙරේරා පවසයි.

"නව වන දා පිටත් වුණ යාත්‍රාවෙන් හරි විස්තරයක් ලැබුණේ නැහැ. දවස් විස්සක් විතර ගියා ම මේ යාත්‍රාවේ නියමුවාගේ සහෝදරයෙක් ඇවිල්ලා එයා තමයි යාත්‍රාවේ අයිතිකරු කියල යාත්‍රාව අමතන්න උත්සහ කරල තියෙනවා. ඒ නිසා තමයි අපිට සැක හිතුණේ."

"අපි මේ ගැන මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා." පාරම්පරික ධීවරයෙකු මෙන් ම ජේ ප්‍රශංසා යාත්‍රාවේ හිමිකරුගේ ඥාතියෙකු වන ඩබ්ලිව් ජේ සී නිහාල් ප්‍රනාන්දු පැවසුවේය.

Image caption ඩබ්ලිව් ජේ සී නිහාල්

මෙම යාත්‍රාව රීයූනියන් දිවයිනට ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවේ දිවි ගෙවීමට "නුසුදුසු පරිසරයක් ඇති හෙයින්" එරටට පැමිණි බව එහි සිටි පිරිස බලධාරීන්ට පවසා ඇතැ'යි නිහාල් පැවසුවේය.

"මේ පිරිසෙන් වැඩි හරියක් හලාවත කරුකපනේ, උඩප්පුව, යාපනය ඇතුළු ප්‍රදේශවල ජීවත් වන අය. මාස අටක් වන නියමුවාගේ දරුවත් මේ බෝට්ටුවේ ගිහින්. ළමයි ඔක්කොම පහක් සහ කාන්තාවන් අට දෙනෙක් ඉඳල තියෙනවා. වයසක කෙනෙකුට ගිහින් තියෙන්නේ නියමුවාගේ අම්මා. අපිට තියන ගැටලුව නාවික හමුදාවට හොරෙන් මේක ගියේ කොහොම ද කියන එකයි."

"යාත්‍රාවක් යද්දී අනිවාර්යෙන් ම දෙතුන් පොළක ම පරීක්ෂාවට ලක්වෙනවා. සැක කීප දෙනෙක්ගේ නම් අපි පොලිසියට දීලා තියනවා. නමුත් මේ දක්වා කිසි පියවරක් අරගෙන නැහැ." යැයි ඔහු තවදුරටත් පැවසීය.

මෙම මිනිස් ජාවාරම ගැන ධීවර දෙපාර්තුමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව එහි හලාවත භාර සහකාර අධ්‍යක්ෂ අනුර ජයසේකර සඳහන් කළේය.

"මේ වන විට මේ යාත්‍රාව රීයූනියන් දූපතේ තිබෙන බව තහවුරු වී තිබෙනවා. නාවික සැතපුම් තුන් දහසකට ආසන්න දුරක් ගෙවා යන මේ ගමන ඉතා අනතුරුදායකයි." ඔහු ප්‍රකාශ කළේය.

අදාළ යාත්‍රාව සහ එහි සිටි පිරිස නැවත ගෙන්වා ගැනීම සඳහා ආගමන විගමන සහ ධීවර පනතෙහි ඇති නීති අනුව කටයුතු කරන බව ද ඔහු තවදුරටත් පැවසීය.

රියුනියන් (Réunion)

ඉන්දියානු සාගරයේ පිහිටා ඇති, ප්‍රංශයට අයත් රීයූනියන් දිවයින ශ්‍රී ලංකාවට වම් පසින් මැඩගස්කරය ආසන්නයේ පිහිටා ඇති අතර වර්ග කිලෝමීටර් 2507ක් පමණ විශාලය.

අතීතයේදී මිනිස් වාසයෙන් තොරව පැවති මෙම දිවයින තුළ වර්තමානයේ ලක්ෂ නවයකට ආසන්න පිරිසක් දිවි ගෙවති.

රීයූනියන්හි මුදල් ඒකකය යූරෝ වන අතර, ධීවර කර්මාන්තය, සීනි කර්මාන්තය මෙන් ම සංචාරක ව්‍යාපාරය මෙහි ප්‍රධාන අදායම් මාර්ග වේ.

මේ වන විට රීයූනියන් බලා නීතිවිරෝධී ලෙස බෝට්ටු හතක් පමණ යාත්‍රා කර ඇති අතර ඉන් දෙකක් නාවික හමුදාවේ අත්අඩංගුවට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා ධීවර දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පෙනී යයි.

ඉන් එකක් සීෂෙල්ස් දූපත ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබෙන අතර, තවත් යාත්‍රාවක් රීයූනියන් දූපත ආසන්නයේදී අනතුරට පත් වූ බව ද වාර්තා වේ.

තවත් තොරතුරු: