ශ්‍රී ලංකාවේ තරුණ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට: "සමහර තරුණියන් දවසට තුන්පාරක් හෙරොයින් ගන්නවා"

මත්ද්‍රව්‍ය භාවිතය

"ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ සිගරට් එක ලොකු දෙයක් නෙමෙයි කියලා. ඒත් මම සිගරට් එකෙන් පටන් අරගෙන තමයි අරක්කු, ගංජා ගහලා හෙරොයින් දක්වා ගියේ. ඒ නිසා මුලින් ම නතර කරන්න ඕනා සිගරට් එක." මෙලෙස පවසන්නේ හෙරොයින් පානයට තදින් ඇබ්බැහි වූ තරුණ මවකි.

විසි නව වන වියේ පසුවන ඇය බීබීසී සිංහල සේවයට හමුවූයේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් පාලනය වන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකදීය.

අනාගත පරපුර "මත් රකුසාගෙන් මුදවා ගැනීමේ අරමුණින්" ඇය තම "දුක්බර ජීවිත කතාව" අප හා හෙළි කිරීමට එකඟ වූවාය. නමුත් තම අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඇය අපගෙන් ඉල්ලා සිටියාය.

එම නිසා අපි ඇය නිලන්ති නමින් හඳුන්වමු.

"මුලින්ම බිව්වේ සිගරට්"

නිලන්ති දුම් පානයට යොමුවී ඇත්තේ වයස අවුරුදු 14දීය. ඒ, තම පියාට සිගරට් මිල දී ගෙන එන අතරතුරය.

"මම අවූරුදු 21දී තමයි හෙරොයින් කියන දේ අත්හදා බලන්නේ. දුම්වැටියට පුරුදු වුණේ අපේ ගෙදර පරිසරයෙන්. අපේ තාත්තා මත්පැන් සහ දුම්වැටි පාවිච්චි කරනවා. අපේ අම්මාලත් ඒ ආශ්‍රිතව ඉන්නවා. මාව තමයි කඩේ යවන්නේ තාත්තාට සිගරට් එක ගේන්න කියලා. පස්සේ මටත් අස හිතුණා ඒක බීලා බලන්න. සිගරට්වලින් පස්සේ බියර් මම පාවිච්චි කරලා තියෙනවා. අරක්කු පාවිච්චි කරලා තියෙනවා, ගංජා බීලා තියෙනවා. හෙරොයින් දක්වා මම ඇවිල්ලා තියෙනවා." ඇය පැවසීය.

කඩවත ප්‍රදේශයේ උපන් ඇය, මෙම ගැටලු මැද වුව ද අ.පො.ස. උසස් පෙළ විභාගය තෙක් තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට වාසනාවන්ත වූ බව පැවසුවාය.

නිලන්ති තව දුරටත් කියා සිටියේ, 2008 වසරේදී කලා විෂය ධාරාවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දී එහිදී සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් සමග විභාගය සමත් වූ බවය.

Image caption පුනරුත්ථාපන මධ්‍යයස්ථානයක්

අධ්‍යාපනයෙන් ඉදිරියට යාමට හැකියාව තිබුණත් මත්ද්‍රව්‍ය සඳහා ඇති ඇබ්බැහිකමින් මිදීමට අසමත් වූ බැවින් තම අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වූ බව ඇය පවසන්නීය.

තමා සේවය කළ ස්ථානයේදී විවේකයක් ලද විට සිගරට් බීමට පුරුදුව සිටි බවත් ඉන් එක් අවස්ථාවකදී වෙනත් කාන්තාවක් තමාට පළමු වරට හෙරොයින් ලබා දුන් බවත් ඇය හෙළි කළාය.

කොල්ලෙක් වගේ

"පොඩි කාළේ ඉඳන් මම කොල්ලෙක් වගේ ගෙදර හැදුණ චරිතයක්. ඊට පස්සේ අවුරුදු 21දී හෙරොයින් කියන දේ මට දකින්න ලැබෙන්නේ. මුල් කාලේ මම මාස 6ක් 7ක් විතර බීලා මම නතර කළා. මම නැවතත් අවුරුදු 26, 27දී තමයි හෙරොයින්වලට ඇබ්බැහි වෙන්නේ."

පාසල් සමය නිම වීමෙන් පසු විවාහ දිවියට එළඹි ඇයට දැන් අවුරුදු 4ක දියණියක් ද සිටී. නමුත් එම දැරිය දැන් සිටින්නේ නිලන්තිගේ මවගේ භාරයේය.

දෙමව්පියන් ඇය ගැන පොලීසියට දැනුම් දීමෙන් පසු ඇයව උසාවියට ඉදිරිපත් කර පසුව බන්ධනාගාරගත කර තිබිණි.

"මට මගේ නිදහස කියන දේ සීමා වෙනවා මගේ දරුවා නිසා. මට අවශ්‍ය දේවල් කර ගන්න බැරි තත්වයක් එනවා. ඊට පස්සේ පොලිසිය කියනවා ඔයාගේ දරුවා පරිවාස දෙපාර්තමේන්තුව හරහා අම්මට භාර දෙමු කියලා. මම කැමති වෙනවා. ඊට පස්සේ උසාවි යන්න දිනයක් නියම කරගෙන ගොස් උසාවි කුඩුවට නැග්ගහම එක පාරට ඉදිරිපත් කරනවා හෙරොයින් ළඟ තබා ගැනීම කියලා. නමුත් මම ඒක ඒ වෙලාවේ ප්‍රතික්ෂේප කරනවා. මගේ ළඟ හෙරොයින් තිබ්බේ නැහැ කියලා. ඊට පස්සේ මාව දවස් හතකට බන්ධනාගාරගත කරනවා." නිලන්ති පැවසුවාය.

මේ තොරතුරුත් කියවන්න:

මත්ද්‍රව්‍යවලට ඇති ලොල්බව නිසා තමන් සමාජයෙන් කොන් වූ බව පවසන මෙම තරුණිය, තමාගේ ජීවිතය නැවත යහපත් ලෙස ආරම්භ කිරීම තම අරමුණ බව පවසන්නීය.

"එළියේ ඉන්න අය අපි මත්ද්‍රව්‍ය ගන්නවා කිව්වහම ගණන් ගන්නේ නැහැ. මේක තේරුමක් නැති දෙයක් තමයි, අපි ජීවිතේ කරලා තියෙන්නේ, හැගීම්වලට වහල් වෙලා. යාළුවෝ තමයි මෙතන ප්‍රශ්න වුණේ. යාළුවන්ගෙන් අයින් වෙලා මම ඉන්න පරිසරයෙන් ඉවත් වෙන්න තමයි මම තීරණය කරලා ඉන්නේ. දුම් වැටියක්වත් බොන්න එපා කියන එක තමයි මම කියන්නේ."

කාන්තාව සහ මත්ද්‍රව්‍ය

මේ අතර, ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ගෙවුණු වසර පහ තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

ඉන් බහුතරය කොළඹ ජීවත් වන, අඩු ආදායම්ලාභී සිංහල බෞද්ධ කාන්තාවන් බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ භද්‍රානි සේනානායක පැවසුවාය.

අවුරුදු 36-50 අතර වයසේ පසු වන කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි වශයෙන් යොමුවී තිබෙන බව ඇය පෙන්වා දුන්නාය.

ඔවුන්ගෙන් 49%ක් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මුදල් සොයා ගනු ලබන්නේ වාණිජ ලිංගික වෘත්තියේ නිරත වීමෙනි.

කාන්තාවන්ගෙන් තවත් සියයට 16ක් සුළු වෙළඳාමෙන් ද තවත් සියයට 21ක් හෙරොයින් අලෙවි කිරීමෙන් ද ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නා බව 'කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිත රටාවන් සහ නූතන ප‍්‍රවණතා - 2017' වාර්තාවේ දැක්වේ.

එම වාර්තාව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශය විසින් කරන ලද සමීක්ෂණයක් ඇසුරෙන් සකසා ඇත.

එම පර්යේෂණ වාර්තාවට අනුව හෙරොයින්වලට ඇබ්බැහි වූ කාන්තාවන් අතරින් බහුතරය දිනකට තුන් වරක් හෙරොයින් භාවිත කරන අතර, ඒ සඳහා එක් අයෙකු දිනකට වැය කරන මුදල රුපියල් 3000-6000ත් අතරය.

කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම සඳහා හේතු වන ප‍්‍රධාන කාරණා දෙකක් එම සමීක්ෂණයෙන් හඳුනාගෙන ඇත. ඒ, මිතුරු ඇසුර හා සැමියාගේ හෝ පෙම්වතාගේ බලපෑම්ය.

කාන්තාවන් හෙරොයින් භාවිතයට යොමුවීම කෙරෙහි බලපාන සාධක

  • මිතුරු ඇසුර
  • සැමියාගේ හෝ පෙම්වතාගේ බලපෑම්
  • විනෝදය / සතුට
  • ආශාව
  • ප‍්‍රශ්න හා ගැටලුකාරී තත්වයන්
  • කුතුහලය
  • ගණිකා වෘත්තිය
  • බන්ධනාගාරගත වීම
  • ලිංගික තෘප්තිය සඳහා
  • හෙරොයින් අලෙවිය

හෙරොයින්, වෙළඳපොළ තුළ නොමැති වූ විට හෝ මිල අධික වූ විට හෝ කාන්තාවෝ ඒ සඳහා ආදේශක භාවිත කරති.

ඒ, ප‍්‍රධාන වශයෙන් ගංජා, බියර් හෝ අරක්කුය. මීට අමතරව ඖෂධ සඳහා යොදා ගන්නා පෙති වර්ග භාවිතය ද ඉහළ ගොස් තිබේ.

Image caption අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ භද්‍රානි සේනානායක

ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර භාවිතය සඳහා යොමු වීමේ වයස් සීමාව ගැන ද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අවධානය යොමු කර ඇත.

කාන්තාවන් බියර් භාවිතයට යොමු වන සාමාන්‍ය වයස අවුරුදු 17කි.

ගංජා භාවිතය ආරම්භ කරන සාමාන්‍ය වයස අවුරුදු 19ක් වන අතර ප‍්‍රථම වරට හෙරොයින් භාවිතය ආරම්භ කළ සාමාන්‍ය වයස අවුරුදු 23කි.

බහුතරයක් කාන්තාවන් මත් පෙති සඳහා යොමු වී ඇත්තේ වයස අවුරුදු 26නි.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අධ්‍යක්ෂ භද්‍රානි සේනානායක පෙන්වා දෙන්නේ, බොහෝ දෙනෙකු හෙරොයින් නොමැති වූ විට ඖෂධ පෙති කෙරෙහි යොමු වී ඇති බවය.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ කාන්තාවන් හඳුනා ගැනීමට හා ඔවුන් පුනරුත්ථාපනය කිරීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩි අවධානයක් යොමු කර තිබේ.

අඩු අධ්‍යාපනය

"ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වීමට ප්‍රධාන සාධකයක් විදියට අඩු අධ්‍යාපනය කියන එක සලකන්න පුළුවන්. මේ කාන්තාවන් ගත්තොත් සියයට 50 ට වැඩි පිරිසක් සාමාන්‍යයෙන් එකේ ඉඳලා හය වසර දක්වා අධ්‍යාපනය ලබපු අය." භද්‍රානි සේනානායක මහත්මිය පැවසුවාය.

වැඩි අධ්‍යාපනයක් සහ ජීවන තත්ත්වයක් හිමි පවුල්වල කාන්තාවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු නොවීමක් ඉන් අදහස් නොකරන බව ද ඇය කීය.

තම පර්යේෂණ අංශය කාන්තාවන් 150 ක නියැදියක් භාවිත කර සිදු කළ සමීක්ෂණයක් මගින් අවුරුදු 15ත් 35ත් අතර කාන්තාවන් සියයට 39ක් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී තිබෙන බැව් හෙළි වී තිබේ.

ඔවුන්ගෙන් බහුතරය කොළඹ දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී කාන්තාවන්ය.

"සියයට 50 කට වැඩි පිරිසකගේ සාමාන්‍යයෙන් පවුල් ජීවිතය අඩාළ වෙලා ගිය කාරණා තියෙනවා මේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා. මේක බලපානවා දෙමව්පියන්ට දරුවන්ට ඒ වගේ ම ස්වාමියාට සහ තමන්ගේ පවුල් ජීවිතය වගේ ම සෞඛ්‍ය ගැටලුවලට කාන්තාවන් ලක් වෙලා තියෙනවා" ඇය පෙන්වා දුන්නාය.

මව, බිරිඳ, ගෘහණිය හා දියණිකගේ භූමිකාව නියෝජනය කරමින් නිවස තුළ ජීවත් වූ කාන්තාව, සමාජයේ සිදු වූ පරිවර්තනයත් සමග වැඩි වශයෙන් රැකියා සඳහා යොමු වීම මෙන් ම විලාසිතාවන්ට කැමැත්තක් දැක්වීම යන කාරණා මත ද ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවට එම සමීක්ෂණය මගින් හඳුනාගෙන තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර