ආදරවන්තයන්ගේ දිනය: නීතිය සහ මානසික ගැටලු ගැන පෙම්වතුන් දැන සිටිය යුතු කරුණු

Image copyright Getty Images

තුරු සෙවණේ පෙම් සුව විඳින තරුණ තරුණියන්ය. දරුවන් කැටුව ඒ අසලින් ගමන් ගන්නා ඇතැම් වැඩිහිටියෙකුගේ මුහුණේ ඇත්තේ නොරිස්සුම් සහගත බැල්මකි. පෙම් සිසිලෙන් මදකට මිදී අවට බලන පෙම් යුවළක මුහුණේ ඇත්තේ වරදකාරී හැඟීමකි. නමුත් ඔවුහු යළි ප්‍රේමයේ ගිලෙති.

හන්තාන සිසාරා යන නොනැවතෙන විසිල් හඬකි. දණ්ඩක් අතින් ගත් ආරක්ෂකයෙකු පෙම්වතුන් දෙසට ළං වන්නේ අශ්ශීල වදන් සමුදායක් ද මුදා හරිමිනි. ශරීර ප්‍රමාණයෙන් කුඩා යුවළක් ඔහුගේ ඉලක්කය වී ඇති බවකි. තරුණියගේ මුහුණේ ඇත්තේ ලැජ්ජාවකි. තරුණයාගේ මුහුණේ ඇත්තේ, පරාජිත හැඟීමකි. උද්‍යාන ආරක්ෂකයාගේ මුහුණේ ඇත්තේ ජයග්‍රාහී රෞද්‍ර බැල්මකි. පෙම් ලොවේ තනි වන්නට වෙනත් සෙවණක් සොයා යා යුතු බවට නියෝගයකි.

ඉහත දැක්වෙන්නේ පේරාදෙණිය උද්‍යානයේදී මීට මාස කිහිපයකට පෙර මාගේ නිරීක්ෂණයට ලක් වූ සිදුවීමකි. ශ්‍රී ලංකාවේ උද්‍යාන, වෙරළ තීර ඇතුළු ප්‍රසිද්ධ ස්ථාන තුළ පෙම්සුව විඳ ඇති පෙම්වතුන්ට මෙය අලුත් අත්දැකීමක් නොවේ.

ආදරය වරදක්ද?

සෑම වසරක ම පෙබරවාරි 14 වන දාට යෙදී ඇති වැලන්ටයින් දිනය ලොව සමහර රටවල පෙම්වතුන්ට ආස්වාදජනක දිනයක් වෙද්දී ඇතැම් රටවල පෙම්වතුන්ට එය අභියෝගයකි. විශේෂයෙන් පාකිස්තානය සහ ඉන්දියාව වැනි දකුණු ආසියානු රටවල අන්තවාදී පාර්ශව ඊට දක්වන්නේ දැඩි විරෝධයකි.

ශ්‍රී ලංකාව ද ඇතුළුව කලාපීය රටවල ප්‍රේමය සහ ලිංගිකත්වය බොහෝ අවස්ථාවල සැලකෙන්නේ තහනම් මාතෘකා (Taboo) ලෙසය.

පසුගිය දිනක ලැගුම්හලකදී අත්අඩංගුවට පත් තරුණ තරුණියන් පිරිසක් පිළිබඳව පළ වූ වෙබ් පුවතක "පාටියට ආපු තරුණියන්ගේ බෑග්වල උපත් පාලන කොපු" යනුවෙන් පළ කර තිබිණි.

උපත් පාලන කොපු ළඟ තබා ගැනීම පුවතක ශීර්ෂය බවට පත්වීමත් එසේ ළඟ තබා ගැනීම වරදක්දැයි යන්නත් ඇතැමෙක් සමාජ ජාල ඔස්සේ ප්‍රශ්න කළහ.

පෙම්වතුන්ගේ දිනය හෝ වෙනත් දිනවල ප්‍රසිද්ධ ස්ථානවල හෝ ලැගුම්හල් තුළදී පොලිසියේ අත්අඩංගුවට පත් වන තරුණ තරුණියන් පිළිබඳව ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වේ. විශේෂයෙන් එවැනි අත්දැකීමකට මුහුණ පෑමට සිදුවන තරුණියන් සමාජය හමුවේ අපවාදයට ද ලක් වන්නීය.

Image copyright FB
Image caption තරුණියන් පිරිසක් සන්තකයේ තිබී 'උපත් පාලන කොපු හමුවීම' ගැන පුවත් මැවීමත් සමග එය සමාජ මාධ්‍යවල උපහාසයට ලක් විය.

පෙම්වතුන් අත්අඩංගුවට ගත හැකිද?

"මට මේ ගැන පෞද්ගලික අත්දැකීමක් තිබෙනවා. A/L කරන කාලේ පන්ති ඇරිලා ගෙදර යන්න මම කුරුණෑගල බස් නැවතුම්පොළේ හිටියා. සීසන් එකෙන් යන්න සීටීබී බස් එකක් එනකන් තමයි බලා හිටියේ. 2010, 2011 කාලයේ කුරුණෑගල පෙම්වතුන් අසභ්‍ය විදිහට හැසිරෙනවා, පාක් එකේ ගොඩ දෙනෙක් අල්ලනවා කියලා රාවයක් ගිය කාලයක්. ඒ නිසා මේ බස් එකට නගින්න කියලා පොලිසිය ඇවිත් මට කිව්වා. මම කිව්වා නැහැ මම සීටීබී බස් එකක් එනකන් ඉන්නේ කියලා. සීටීබී නෙමෙයි එන බස් එකට නැගලා යන්න කියලා පොලිසිය කිව්වා. මට ඒ වෙලාවේ ඕන වුණේ මම වැරැද්දක් නෙවෙයි කරන්නේ කියලා පෙන්වන්න. බස් එකට නැග්ගා නම් මමත් වැරදිකරුවෙක් වෙනවා

මට තාම මතකයි මම රෝස පාට ඇඳුමක් එදා ඇඳන් හිටියේ. ඊට පස්සේ මම ඒ ගවුම ඇන්දෙත් නැහැ. මොක ද ඒ ගවුම අතට ගන්නකොට මට ඒ සිද්ධිය මතක් වුණා. මාස තුනක් විතර යනකම් පාඩම් කරන්න බැරි වුණා. පාඩම් කරද්දී මතක් වෙනවා 'පොලිසිය මට බැන්නා නේ ද? මම වරදක් කළා ද?' කියලා. සෑහෙන්න කාලයක් යනකම් ඒක මානසිකව වද දුන්නා.

එදා ඉඳන් මම හිතුවා මගේ නම වෙන විදිහකට ප්‍රසිද්ධ වෙන්න වැඩ කරනවා කියලා. ඒක තමයි මම එදා ගත්ත තීරණය. හැබැයි මම දන්නේ නැහැ තව ගැහැණු ළමයෙක් ඒ තීරණය ඒ විදිහට ගනී ද කියලා. එහෙම නැත්නම් ඒ ගැහැණු ළමයි ලජ්ජාවට ගෙදරට මුහුණ දෙන්න විදිහක් නැතිව වෙන විදිහක් තෝර ගන්න පුළුවන්,"

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්යවරියක වශයෙන් කටයුතු කරන ධනුෂිකා අබේරත්න පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පවතින නීතිමය පසුබිම පිළිබඳ සංවාදය ආරම්භ කළේ පාසල් අවධියේ තමන් මුහුණ දුන් අත්දැකීමක් විස්තර කරමිනි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය කියන්නේ "අපරාධයක්"

ශ්‍රී ලංකාවේ නීතියට අනුව විවාපත් විය හැකි වයස් සීමාව අවුරුදු 18 ය. නමුත් අවුරුදු 16 ඉක්මවූ තරුණියකට හෝ තරුණයෙකුට තමන් කැමති අයෙකු සමග ලිංගිකව එක් වීමට නීතියෙන් බාධාවක් නොමැත.

ප්‍රසිද්ධ ස්ථානයක හෝ ලැගුම්හලකදී වයස අවුරුදු 16 ඉක්මවූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ නිශ්චිත නීතියක් නොමැති නමුත් ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය නීති කිහිපයක් යොදා ගන්නා බව කථිකාචාර්ය ධනුෂිකා අබේරත්න කියා සිටී.

  • 1841 බලාත්මක කෙරුණු පාදඩ ආඥා පනත/ අයාල ආඥා පනත
  • දණ්ඩ නීති සංග්‍රහයේ 350 සහ 352 යන වගන්ති
  • දණ්ඩ නීති සංග්‍රහයේ 261 වගන්තිය

පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාදඩ ආඥා පනත යොදා ගත හැකි දැයි යන්න ප්‍රශ්නයක් බව කී ඇය "මෙය තිබෙන්නේ වීදියේ සැරිසරන ගණිකාවන් හෝ යාචකයන් තව පුද්ගලයන්ට කරදර කරනවා නම් එය වැළැක්වීමටයි. නමුත් මෙවැනි අයට වඩා පෙම්වතුන් මෙහි ඉලක්ක බවට පත් වීම ප්‍රශ්නයක්," යනුවෙන් පැවසුවාය.

ඉහත කී චෝදනා යටතේ පෙම්වතුන් අත්අඩංගුවට ගනු ලැබුවත් අධිකරණයට ඉදිරිපත් නොකර ඔවුන් දෙමව්පියන් වෙත භාර දීමට හෝ සමථයකට ඒමට පොලිසිය බොහෝ අවස්ථාවල කටයුතු කරන බව ඇය පෙන්වා දෙන්නීය.

ඔබගේ අයිතීන් මොනවාද?

Image copyright Getty Images

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පුරවැසියන් සතු මූලික අයිතිවාසිකම් 14 කි.

ඕනෑ ම පුද්ගලයෙකුට ඕනෑ ම ස්ථානයක ගැවසීමට ඇති අයිතිය එනම් යාමේ ඒමේ නිදහස ඉන් එකකි.

"හැබැයි එහෙම කියලා යම් ස්ථානයක 'අශෝභනව' ලෙස හැසිරෙනවා නම් හෝ ලිංගික කර්තව්‍යක යෙදෙන්නේ නම් එවැනි අවස්ථාවක ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකියි,"

"හැබැයි අදටත් 'අශෝභන ලෙස' හෝ 'අසංවර ලෙස' කියන දේ කිසි ම ස්ථානයක අර්ථ නිරූපණය වී නැහැ. අඩු ම තරමේ පාදඩ ආඥා පනත හෝ අයාල ආඥා පනතෙවත් එය අර්ථ නිරූපණය කර නැහැ"

"නඩු තීන්දුවක් දක්වා දුර ගිහින් නැති නිසා අධිකරණයේවත් මේ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් නැහැ," නීතිවේදිනී ධනුෂිකා අබේරත්න පැවසීය.

නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

Image copyright Getty Images

තමන් ප්‍රසිද්ධ ස්ථානයක "අශෝභන" ලෙස හැසිරී නොමැති නම් අත්අඩංගුවට ගැනීමට එරෙහි වීමට අයිතියක් ඇති බව කී නීතිවේදිනි ධනුෂිකා අබේරත්න "එසේ නැති නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට අත්තනෝමතිකව සිර භාරයට ගැනීමක්. ඊට එරෙහිව නැගී සිටීමට තමන්ට අයිතිවාසිකමක් තිබෙනවා," යනුවෙන් සඳහන් කළාය.

ඉන් නොනැවතී පොලිසිය වෙත රැගෙන යන්නේ නම් පැමිණිල්ල ලිවීමට පෙර සිය නිර්දෝෂීභාවය ඔප්පු කළ හැකි බවත් එසේ නොමැති විටක මූලික අයිතිවාසිකම් කඩ වීමේ නඩුවක් දක්වා දුරකට යා හැකි බව ඇය පෙන්වා දෙයි.

"අශෝභන අයුරින් හැසිරුණු" බවට චෝදනා කරමින් පෙම්වතුන් පිරිස් වශයෙන් අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවකදී තමන් "මහ ජනතාවට කරදරයක් කර නොමැති නම් හෝ අශෝභන අයුරින් හැසිරී නොමැති නම්" ඊට එරෙහිව නැගී සිටීමට අයිතියක් ඇති බව ද නීතිවේදිනිය අවධාරණය කරයි.

"අශෝභනව හැසිරී නැති නම් රංචු පිටින් අත්අඩංගුවට ගන්න කිසි ම නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ එවැනි අවස්ථාකදී කිසි ම කෙනෙක් ඊට විරුද්ධ වෙන්නේ නැහැ,"

"විවාහ විය යුතු වයස අවුරුදු 18 කියලා අපේ නීතියේ තියෙනවා. හැබැයි ආදරය කරන්න පටන් ගත යුතු නිසි වසරක් දීලා නැහැ. ඒක හැඟීමක්. අවුරුදු 18 වෙනකම් ආදරය කරන්න බැහැ කියලා කොතැනකවත් සඳහනක් නැහැ,"

කෙසේ නමුත් පාසල් වැනි ආයතන තුළ ඒ සම්බන්ධයෙන් විනය පද්ධතියක් තිබිය හැකි බව ඇය පවසන්නීය.

පෙම්වතුන්ට එළිමහනේ ගැවසීමට ඇති නිදහස සීමා කිරීමේ අවසන් ප්‍රතිඵලය "කාමරයකින් අවසන් විය හැකි" බව නීතිවේදිනී ධනුෂිකා අබේරත්නගේ අදහසය.

ප්‍රේමය සහ ලිංගිකත්වය

ශ්‍රී ලංකාවේ වත්මන් තරුණ පරපුර සහ වැඩිහිටි ප්‍රජාව ප්‍රේමය සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් දක්වන ආකල්පය කෙබඳු ද? එහි වෙනසක් සිදුවිය යුතු ද?

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා සහ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනූෂා එදිරිසිංහ කියා සිටියේ "ශ්‍රී ලංකාවේ නව යෞවනයන් සහ වැඩිහිටි ප්‍රජාව අතර පවතින බරපතළ සංස්කෘතික ගැටුමේ එක් අවස්ථාවක් පෙබරවාරි 14 දින පිළිබිඹු කරන්නේ," යනුවෙනි.

වැඩිහිටියන් පෙම්වතා සහ පෙම්වතිය යන සංකල්පය දෙස බලන ආකාරයේ ගැටලුවක් පවතින බව ඇයගේ අදහසය.

"දෙමව්පියෝ දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතනවා. හැබැයි දරුවන්ගේ නව යෞවන වියේ තිබෙන ලක්ෂණයක් අනුව ඒ අය සිතනවා අම්මලා තාත්තලා වැරදියි කියලා,"

නීතිය ක්‍රියාත්මක කරන ඇතැම් නිලධාරීන්ගේ ද ආකල්පමය වෙනසක් සිදු විය යුතු බව ඇය අවධාරණය කරන්නීය.

"පොලිස් නිලධාරියා කියන කෙනාත් ලිබරල් (නිදහස් මතවාදී) සමාජයක තිබෙන මේ සංකල්ප, ධර්මතා සහ අගනාකම් (Norms) ග්‍රහණය කර ගත් අයෙක් නොවෙයි තාම. බොහෝ දෙනෙක් සාම්ප්‍රදායික ක්‍රමයට යන්නේ. පුහුණුව ලබපු අලුත් නිලධාරීන් ඒ දේවල් ඉගෙන ගන්නවා,"

එමෙන් ම ශ්‍රී ලංකාව තුළ අයිතීන් මුල් කර ගත් සමාජයක් (Right base society) පිළිබඳ සංවාද කිරීමට තරම් අධ්‍යාපනික දැනුමක් සහිත පිරිසක් බිහි වී නොමැති බව පවසන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනූෂා එදිරිසිංහ ඇතැම් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පවා සාම්ප්‍රදායික ගතිපැවතුම්වල එල්බ සිටින බව කියා සිටී.

"ගොලීයකරණය සමග ඇති වන සමාජීය වෙනස්කමත් එක්ක අපේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් විය යුතුයි"

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
විවාහ වයස් සීමාව: ශ්‍රී ලංකාවේ නීතියේ "හිඩැසක්"

ලිංගික අධ්‍යාපනය

මේ අතර ශ්‍රී ලංකාවේ විවාහ විය හැකි (අවුරුදු 18) සහ ලිංගික කැමැත්ත දෙන වයස (අවුරුදු 16) සම්බන්ධයෙන් පවතින නීතියේ හිඩැසක් පවතින බව ආචාර්ය අනූෂා එදිරිසිංහ පෙන්වා දෙයි.

"එක්කෝ ලිංගික කැමැත්ත දෙන වයස අවුරුදු 18 කරන්න ඕනි. එහෙම නැතිනම් විවාහ වෙන වයස අවුරුදු 16 කළ යුතුයි,"

"ලංකාවේ නීතියේ බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. අවුරුදු 16 දී ලිංගික කැමැත්ත දිය හැකියි. දහසයට වැඩි අය එහෙම ගිහින්, ළමා මව්වරුන් සහ ළමා ගර්භණීභාවය ලංකාවේ ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා."

"අවුරුදු 16 යි 18 යි අතර දරුවෝ ප්‍රෙග්නන්ට් වෙනවා. උපදින දරුවට තාත්තා නැති වෙනවා. මොක ද ඒ ළමයා බාලවයසක නම් ඔහුට පරිවාසෙට යන්න වෙනවා. මේ අය පොලිසිය ඉදිරියේ පොරොන්දු වෙනවා අනාගතයේ කසාද බඳිනවා කියලා. හැබැයි අනාගතයේදී ඒ තරුණයා හොයා ගන්න බැරි වෙනවා. උපදින දරුවට තාත්තා කෙනෙක් නැති වෙනවා,"

ඉහත කී වයස් සීමාවන් සම්බන්ධ නීතිය වෙනස් විය යුතුවා සේ ම ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය සහ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ විවෘතව කතා කළ යුතු බවත් අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනූෂා එදිරිසිංහ පෙන්වා දෙන්නීය.

තරුණ වියේ ප්‍රේමය වැනි, සංවේදී කරුණු පවුල් ප්‍රශ්න දක්වා මෙන් ම ජීවිත හානි දක්වා ද දුරදිග යා හැක.

ප්‍රේම සබඳතා සම්බන්ධයෙන් දෙමව්පියන් දක්වන ප්‍රතිචාරය මෙන් ම ප්‍රසිද්ධ ස්ථානයක හෝ ලැගුම්හලකදී පොලිස් නිලධාරීන් හමුවේ තමන්ට මුහුණ දීමට සිදුවන අත්දැකීමක් මනසට තදින් බලපෑ හැක.

එවැනි අවස්ථාවක සිදු කළ යුත්තේ කුමක් ද?

මානසික ගැටලු

මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් පවසන පරිදි නීතිය ක්‍රියාත්මක කරන පාර්ශව දක්වන ඇතැම් ප්‍රතිචාර හේතුවෙන් යම් පුද්ගලයෙකු අපහසුතාවට පත් විය හැක.

තෙවන පාර්ශ්වයකින් හෝ තම දෙමව්පියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හමුවේ චිත්ත පීඩාවකට ලක් වූ තරුණියක හෝ තරුණයකු පළමුව කළ යුත්තේ එය තම සමීපතමයෙකු සමග බෙදා ගැනීම බව ඔහු කියා සිටී.

"එතනින් එහාට තමන්ගේ මානසික මට්ටම සකස් කර ගත නොහැකි නම් ඒ පිළිබඳ වෘත්තීයවේදියෙකුගේ: උපදේශකයෙක් වෙන්න පුළුවන්, මානසික වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් එවැනි අයෙකුගේ උපකාර ලබා ගැනීමයි සිදු කළ යුත්තේ,"

"වැදගත් ම දේ තමයි මේ අත්දැකීම දරා ගත නොහැකි නම් එය තවත් කෙනෙකු සමග බෙදා ගැනීම,"

මේ වන විට ශ්‍රී ලංකාවේ පාසල් සහ විශ්වවිද්‍යාල බොහොමයක උපදේශන සේවා ආරම්භ කර ඇති බව කී විශේෂඥ වෛද්‍යවරයා තමන්ට ඇති මානසික ගැටලු සම්බන්ධයෙන් ඒ හරහා උපකාර ලබා ගත හැකි බව පැවසීය.

ඒ හැරුණුකොට රජයේ රෝහල් තුළ ක්‍රියාත්මක මානසික සායන මගින් ද උපකාර ලබා ගැනීමට හැකි බව ඔහු පැවසීය.

"තරුණ තරුණියන්ගේ වගකීම"

Image caption මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ්

එමෙන් ම තමන් ජීවත් වන කුමන හෝ රටක යම් කිසි සංස්කෘතික නීති රාමුවක් තිබේ නම් ඊට ගැලපෙන අයුරින් කටයුතු කිරීමට ද තරුණ තරුණියන්ට වගකීමක් ඇති බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

නිසි කලට පෙර සංවාසයේ යෙදීම, ලිංගික පිවිතුරු බව සිඳ ගත් තරුණ තරුණියන්ගේ විශාලතම පසුතැවිල්ල බව ලිංගික හැසිරීම් පිළිබඳ මෑතකදී බ්‍රිතාන්‍යයේ සිදු කරන ලද සමීක්‍ෂණයකින් හෙළි විය.

තමන් පළමු වරට සංවාසයේ යෙදුණේ, "නිසි කාලයේ නොවන" බව බ්‍රිතාන්‍යයේ වෙසෙන විසි වෙනි වියේ පසුවන තරුණියන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් සහ තරුණයන්ගෙන් හතරෙන් එකක් පිළිගන්නා බව ද සමීක්ෂණ වාර්තාවේ සඳහන් වුනි.

පාසල් වියේ හට ගන්නා ආදර සබඳතාවක් හේතුවෙන් අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වේ නම් ඒ පිළිබඳ තරුණ තරුණියන් අවධානය යොමු කළ යුතු බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් "ආදරය ඇති වීම ස්වභාවික තත්ත්වයක්. තරුණ වයසේ ඇති වන ආදරය ගැන හරි වැරැද්ද කතා කිරීමට ප්‍රථම මෙය ස්වභාවික තත්ත්වයක් කියන මානසිකත්වයෙන් බැලුවොත් අපට පුළුවන් දරුදැරියන් නිසි මගට ගන්න," යනුවෙන් සඳහන් කළේය.

පාසල් වියේදී හෝ උසස් අධ්‍යාපනය ලබන අවදියේ ප්‍රේම සබඳතා නිසා මානසික පීඩාවකට පත්ව වෛද්‍යවරයෙකුගේ සහය පැතීම ලැජ්ජාවට කරුණක් ද? එවැනි තරුණයෙකු හෝ තරුණියක දෙස ඔවුන්ගේ මිතුරු මිතුරියන් මෙන් ම සෙසු සමාජය දක්වන්නේ කෙබඳු ආකල්පයක් ද?

සමාජ අපවාදය

මානසික ගැටලු, එනම් රෝගී නොවන තත්ත්වයන් සම්බන්ධයෙන් සමාජයේ පවතින අපවාදය (Stigma) ලෝකය පුරා අඩුවැඩි වශයෙන් දැකිය හැකි තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් පවසයි.

මානසික ගැටලු සම්බන්ධයෙන් උපදෙස් පතා ශ්‍රී ලංකාවේ තරුණ පරපුර වෘත්තීය සුදුසුකම් ඇති පාර්ශ්ව වෙත පැමිණීමේ ප්‍රවණතාව මීට වසර විස්සකට පැවති තත්ත්වයට වඩා වැඩි බව කී ඔහු "මම දන්න සමහර අවස්ථා තිබෙනවා මානසික තත්ත්ව සම්බන්ධයෙන් වෛද්‍යවරු හමුවීමට යන්න බැහැ කියලා දෙමව්පියන් කියනවා. නමුත් දරුවෝ ඉන්නවා එහෙම දෙමව්පියන් කැඳවාගෙන මානසික වෛද්‍යවරු හමුවීමට එන,"

"මේ මානසික තත්ත්ව කියන දේ, අවුරුදු ගාණකට කලින් මේ රටේ තිබ්බ තත්ත්වය අනුව විශේෂිත බලවේගවලින් පාලනය වන නැතිනම් ලැජ්ජාවට පත් විය යුතු රෝග තත්ත්වයක් නොවෙයි,"

ආදර සම්බන්ධයක් පිළිබඳ කන වැකුණු වහා දෙමව්පියන් කලබලයට පත්වීම බොහෝ විට සිදුවන බව කී විශේෂඥ වෛද්‍යවරයා "ඒ කලබලය තුළ සමාජයේ අනෙක් අය ඉදිරියේ දරුවා හෝ දැරිය අගතියකට පත් වෙනවා" යනුවෙන් සඳහන් කළේය.

දරුවාගේ හෝ දැරියගේ ආත්මගරුත්වයට හානියක් නොවන සේ දෙමව්පියන් ඔවුන්ට අවවාද කළ යුතු බව විශේෂඥ මතයය.

ගටලුකාරී අවස්ථාවක "පවුලක් වශයෙන්" දෙමව්පියන් සහ දරුවන්ට එක්ව පැමිණ මානසික වෛද්‍යවරයෙකුගේ උපදේශන ලබා ගත හැකි බවත් මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් වැඩිදුරටත් සඳහන් කළේය.

එසේ නොවන අවස්ථාවකදී දැරූ දැරියන්ගේ ජීවිත පවා හානි වන අවස්ථා දැකිය හැකි බව විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් පෙන්වා දෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර