මෛත්‍රිපාල, රනිල්, ශිරන්ති, ගෝඨාභය: ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2019 වසරේ දෙසැම්බර් 09 වෙනි දින "පොහොට්ටුවේ ජනාධිපතිතුමා" දිවුරුම් දෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රමුඛ පෙලේ නායකයකු වන බැසිල් රාජපක්ෂ පසුගිය දා මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
එළඹෙන නොවැම්බර් 08 වෙනි දිනට ප්‍රථම ජනපතිවරණයක් කැඳවීමේ හැකියාවක් තමන්ට නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර තිබුණි. එමෙන්ම ඒ පිළිබඳ තීරණය කිරීමේ බලාධිකාරිය තමන් සතු බව ජනාධිපතිවරයා ද අවධාරණය කරයි.
ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ කෙදින දැයි තවමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ නැති වුවද, 2020 වසරේ ජනවාරි 08 වෙනි දිනට ප්‍රථම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.
කෙසේ වුවත් බොහෝ දේශපාලන පක්ෂ තවමත් සිය පක්ෂවල ජනපති අපේක්ෂකයා නම් කර නැත.
අපේක්ෂකයෝ කවුරුන්ද?
මෛත්‍රීපාල සිරිසේන
ඡායාරූප මූලාශ්‍රය, Pmd
යළිත් වරක් ජනපති පදවියට තරග නොකරන බව 2015 ජනවාරි 08 වන දින පදවියේ දිවුරුම් දෙන අවස්ථාවේ ප්‍රකාශ කළ නමුත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීළඟ ජනපතිවරණයේ සිය අපේක්ෂකයා විය යුතුය යන යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා සම්මත කළේය.
කෙසේ වුවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂගේ ද සහය ලබාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා බවට පත්වීම ඔහුගේ අපේක්ෂාව වී තිබෙන බවට ඇතැම් මාධ්‍යවල ඉඟි පළවී ඇති නමුත් සිය අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) සාමාජිකයෙකු බව බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා පවසා තිබුණි.
එය ජනාධිපතිවරයාගේ අපේක්ෂා සුන් කරන තත්ත්වයක් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි.
එසේ වුවහොත් ජනපතිවරණයට ඉදිරිපත් නොවීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කළ හැකිය.
අනෙක් අතට, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව හඬ නැගීම හෝ එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීම වැනි 'ජනප්‍රියවාදී' ප්‍රචාරක ව්‍යාපාරයක යෙදී සිය ප්‍රතිරූපය ගොඩ නංවාගෙන තරගයට අවතීර්ණ වීමට ද ඔහු උත්සාහ කළ හැකිය.
මානව හිමිකම් උල්ලංඝන, 'සුදු වෑන්' සංස්කෘතිය, ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම, දුෂණ සහ වංචා වැනි බරපතල චෝදනා එල්ල වූ රාජපක්ෂ පාලනය පරාජයට පත් කරමින් බලයට පත් වූ ජනාධිපති සිරිසේන සිය ඇතැම් විධායක බලතල පවා සීමා කළ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙමින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනැංවීමට නායකත්වය දීම ඔහුගේ පාලන අවදියේ ලද ජයග්‍රහණ වේ.
එහෙත් පසුගිය ඔක්තෝබර් 26 වෙනි දින හදිසියේම සිය ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කරමින් දියත් කළ, ඇතැම්විට 'කුමන්ත්‍රණයක්' ලෙස ද හැඳින්වුණු වැඩපිළිවෙල ජාත්‍යන්තරය ඉදිරියේ ඔහුගේ පාලන සමයට එල්ල වූ කළු පැල්ලමකි.
කිසියම් ලෙසකින් ජනපතිවරණයට ඉදිරිපත් වුවහොත් එය ඔහුට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි වනු ඇත්දැයි යන්න නිශ්චිතව ම කිව නොහැක.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතා අපේක්ෂා ඉටුකිරීමට අපොහොසත්වීම මෙන්ම රාජපක්ෂ පාලනයේ දූෂණ හා මාධ්‍යවේදී ඝාතන ඇතුළු කරුණු සම්බන්ධයෙන් දණ්ඩ මුක්තිය වෙනස් කිරීමට අපොහොසත්වීම වැනි කරුණු පමණක් නොව ඇතැම් පරීක්ෂණවලට "බාධා කිරීම" හමුවේ දෙවෙනි වතාවට තේරී පත්වුව ද ඔහු ගැන ප්‍රබල බලාපොරොත්තු දල්වාගත නොහැකි බව මාධ්‍යවේදීනී සීතා රංජනී බීබීසී සිංහල සේවයට පැවසුවාය.
කියවන්න:
රනිල් වික්‍රමසිංහ
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මීළඟ ජනපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු නොව, සිය පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ පවසති.
අගමැති රනිල් වික්‍රමසිංහ ඒ අතරින් ඉදිරියෙන්ම සිටියි.
රාජපක්ෂ පාලනය සමයේ බිඳ වැටී තිබුණු රටේ නීතියේ ආධිපත්‍යය, භාෂණයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම පිණිස දායකවීම අගමැතිවරයාගේ පාලන සමයේ ජයග්‍රහණ බව ඒඑෆ්පී පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ පෙන්වා දෙයි.
එමෙන්ම කාන්තා අයිතීන් සම්බන්ධයෙන් සලකා බැලීමේදී පළාත් පාලන ආයතනවල කාන්තාවන් වෙනුවෙන් 25% ක කෝටාවක් වෙන් කිරීම ඇතුළු කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය වෙනුවෙන් අගමැතිවරයා ප්‍රබල දායකත්වයක් ලබා දුන් බව මාධ්‍යවේදිනී සීතා රංජනීගේ අදහසය.
කෙසේ වුවත් නව පාලනය බලයට පත්වීමෙන් මාසයක් ඇතුළත මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී බරපතල දූෂණයක් සිදුවීම මෙන්ම එහි ප්‍රධානම චුදිතයාවන අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කිරීමට උත්සහ කිරීම අගමැතිවරයාට එල්ල වී තිබෙන බරපතල චෝදනාවකි.
බැඳුම්කර නිකුතුව සම්බන්ධ චෝදනා එල්ලවීමෙන් අනතුරුවත් අර්ජුන් මහේන්ද්‍රන් දිගටම මහ බැංකු අධිපති පදවියේ රඳවා ගැනීමට උත්සහ කිරීම, සිංගප්පූරුවේ වෙසෙන ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට උත්සහ නොකිරීම මෙන්ම 'යහපාලන' ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස් නොසලකා 'රාජ්‍ය සම්පත් විකුණා දැමීම' පිළිබඳව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහට චෝදනා කරති.
ඒ අතර ආණ්ඩුව බලයට පත්කිරීම වෙනුවෙන් වෙහෙස වූ සිවිල් සංවිධාන ඇතුළු ක්‍රියාකාරීන් පවසන්නේ රාජපක්ෂ පාලනයේ දූෂණ වංචා සම්බන්ධයෙන් දඬුවම් කරනු වෙනුවට අගමැතිවරයා සහ ඔහුගේ සමීපම ඇමතිවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඥාතීන් සමග "ඩීල් දේශපාලනයක" නිරතව සිටි බවය.
එමෙන්ම මීට ඉහතදී ජනපතිවරණ කිහිපයකටම ඉදිරිපත් වී පරාජය වීම සහ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීම පක්ෂය තුළින්ම ඔහුට එල්ලවන තවත් චෝදනාවකි.
එබැවින් මෙවර ජනාධිපතිවරණය සඳහාත් ඔහුගේ අපේක්ෂකත්වයට එරෙහිව පක්ෂය තුළින්ම හඬක් මතුවීමට ද ඉඩ තිබේ. එජාප අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස හෝ කතානායක කරු ජයසූරිය දෙදෙනාගේ නම් කියවෙන්නේ ද එබැවිනි.
කියවන්න:
ගෝඨාභය රාජපක්ෂ
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනතාව සූදානම් නම් තමන් ද ජනපතිවරණයට සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ.
ඔහු සිය ජනපතිවරණ අපේක්ෂකයා බව කිසිදු පක්ෂයක් මෙතෙක් ප්‍රකාශයට පත්කොට නැතත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබාගැනීම ගෝඨාභය රාජපක්ෂගේ උත්සාහය වී තිබේ.
සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ විසින් පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙසින් නම් කරනු ලැබුවහොත් ඔහු මුලින්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය අත් හළ යුතුය.
යුද්ධය ජයග්‍රහණය කරමින් එල්ටීටීයෙන් 'රට මුදාගත් වීරයා' ලෙස ජාතිකවාදී සහ දැඩි මතධාරී සිංහල බෞද්ධ සංවිධාන සහ ඒවායේ අනුගාමිකයන් අතර ඔහු ඉතා ජනප්‍රිය චරිතයකි.
එහෙත් ආරක්ෂක ලේකම් පදවිය හෙබැවූ සමයේ 'සුදු වෑන්' පැහැරගැනීම් සහ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම මෙන්ම බරපතල මානව හිමිකම් උල්ලංඝනවලට වගකිය යුතු බවට ඔහුට චෝදනා එල්ලවන අතර, මිග් යානා ගනුදෙණුව, ඇවන්ට්ගාඩ් සමාගම පිහිටුවා රාජ්‍යයට බරපතල මූල්‍ය හානියක් සිදුකිරීම, ' යන බරපතල මුල්‍ය චෝදනා ද ඔහුට එරෙහිව එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් අධිකරණ විමර්ශන ගණනාවක් ද පැවැත්වේ.
සිය පියා වූ, ඩී ඒ රාජපක්ෂගේ වෙනුවෙන් වීරකැටියේ ඉදිකරන ලද අනුස්මරණ කෞතුකාගාරයක් සඳහා එවක ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක පමණ මුදලක් අපහරණය කිරීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව විශේෂ අධිකරණ විමර්ශනයක් ද පැවැත්වේ.
එමෙන්ම දෙමළ සහ මුස්ලිම් සුළු ජාතීන්ගේ සහය දිනාගැනීමට හැකිවනු ඇති ද යන්න ද ඔහු මුහුණදෙන තවත් අභියෝගයකි.
කියවන්න:
සජිත් ප්‍රේමදාස
ශ්‍රී ලංකාවේ ජනපති පදවියට පත්වීම සිය අපේක්ෂාව වුවත් පක්ෂය ගන්නා ඕනෑම තීරණයකට හිස නමන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස කිහිපවතාවක්ම සඳහන් කොට තිබේ.
නැසී ගිය ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ එකම පුතු වන ඔහු, පාක්ෂිකයන් අතර ඉතා ජනප්‍රිය නායකයෙකි.
එහෙත් සිය පක්ෂය එකමුතු කිරීමට ඔහුට හැකියාවක් ලැබේ ද යන්න සැක සහිත බව මාධ්‍යවේදී අමල් ජයසිංහ පෙන්වා දෙයි.
එමෙන්ම ජනපතිවරණයක් ජයග්‍රහණය කිරීම පිණිස අත්‍යවශ්‍ය සාධකයක් ලෙසින් සැලකෙන සුළු ජාතීන්ගේ සහය ඔහුට හිමිවනු ඇති ද යන්න ද ගැටලුවකි.
වර්තමානයේ රටේ සිටින 'දක්ෂතම අමාත්‍යවරයා' ලෙසින් මෑත දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් පවා ප්‍රසංශා ලැබූ නමුත් ජනපතිවරණයක දී පක්ෂයෙන් බාහිර තරුණ කොටස් ආකර්ෂණය කරගැනීම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මුහුණ දෙන අභියෝගයක් බව ද මාධ්‍යවේදී අමල් ජයසිංහ සඳහන් කළේය.
කියවන්න:
ශිරන්ති රාජපක්ෂ
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අනාගතයේ දිනක සිය ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රටේ රාජ්‍ය නායකයා බවට පත්කිරීම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂගේ බලාපොරොත්තුව වී තිබෙන බව බොහෝ දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
2025 දී ජනාධිපතිධුරය සඳහා, සිය පුතු නාමල් රාජපක්ෂ ජනපති අපේක්ෂකත්වයට පත්කිරීමට ඉඩ සලසමින් මෙවර සිය පවුලේම සාමාජිකයෙකු නම් කිරීම කෙරෙහි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අවධානය යොමු වී තිබෙන බවත් අමල් ජයසිංහ බීබීසී සිංහල සේවය සමග පැවසීය.
එබැවින් මේ වසරේ ජනපතිවරණය සඳහා ඔහු සිය බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඉදිරිපත් කිරීමට ඉඩ තිබෙන බව ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්විණ.
එසේ වුවහොත් ජනපතිවරණයට ඉදිරිපත්වන එකම කාන්තාව ඇය ය.
ඒ පිළිබඳව අදහස් දක්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සීතා රංජනී මාධ්‍යවේදිනිය බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ, කාන්තාවන් මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් සලකා බලන විට එය යහපත් ලක්ෂණයක් වුවත් ඇතැම් ඝාතන සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇයගේ නම සම්බන්ධ වී පවතින තත්ත්වයක් තුළ ඇය රටේ නායකත්වයට සුදුසු යයි තමන් විශ්වාස නොකරන බවය.
එමෙන්ම ඇයගේ දේශපාලන දැනුවත්භාවය ගැන ගැටලු පවතින බවත් සීතා රංජනී කියා සිටියාය.
රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සඳහා යොදාගත් (WP) KA-0642 අංක දරන ඩිෆෙන්ඩර් රථය 2011 අගෝස්තු මාසයේ සිට 2015 ජනවාරි 20 වෙනිදා දක්වා 'සිරිලිය සවිය' සංවිධානය සඳහා ලබා දී තිබුණු බව රතු කුරුස ආයතනය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබිණි. සිරිලිය සවිය, ශිරන්ති රාජපක්ෂගේ නායකත්වයෙන් දියත් වූ පුණ්‍යායතනයකි.
'සිරිලිය සවිය' ගිණුමේ සිදු වී ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ද ඇයට එරෙහිව පොලිස් පරීක්ෂණ පැවැත්වෙන අතර, ඒ සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනීම වලක්වනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා චෝදනා කළේය.
ශිරන්ති රාජපක්ෂගේ අපේක්ෂකත්වය පිළිබද අදහස් විමසු අවස්ථාවේ ලේඛිකා හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ කියා සිටියේ, ඇයට එරෙහිව බරපතළ දූෂණ චෝදනා සහ ඝාතන චෝදනා පවා එල්ල වී ඇති අතර, ඇය සිය ස්වාමිපුරුෂයාගේ "ජනාධිපති හයිය ඉතා අශෝභන ලෙස පාවිච්චි කළ තැනැත්තියක්" බවය.
කියවන්න:
කරු ජයසූරිය
2015 ජනපතිවරණයට පෙරාතුව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින් ජනපතිවරණය සඳහා අපේක්ෂකයෙකු සොයමින් සිටි අවස්ථාවේ මාදුළුවාවේ සෝභිත හිමියන්ට අවශ්‍යව තිබුණේ වත්මන් කතානායක කරු ජයසූරිය පොදු අපේක්ෂකයා ලෙසින් තෝරා ගැනීමට බව එහිමියන් සමග සමීපව කටයුතු කළ පිරිස පවසති.
1978 දී ජේ.ආර් ජයවර්ධන අගමැතිවරයා විසින් හඳුන්වා දෙන ලද විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම එම ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨය බවට පත් වී තිබුණි.
මෙවර ද එම සටන් පාඨයම මූලික කරගෙන කතානායක කරු ජයසූරිය අපේක්ෂකයෙකු ලෙසින් ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතින බව ද විශේල්ෂකයෝ පෙන්වා දෙති.
විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකොට, නීති විරෝධී ලෙසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අවස්ථාවේ කතානායක වශයෙන් ඔහු ක්‍රියා කළ ආකාරය පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකගැනීම උදෙසා කළ මෙහෙයක් ලෙස ඇතැමුන්ගේ දැඩි ප්‍රශංසාවට ලක්ව තිබෙන අතර, ඔහු එහිදී පක්ෂග්‍රාහී ලෙසින් හැසිරුණ බවට තවත් සමහරු චෝදනා කරති.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පදවිය දරමින් සිටියදීම පක්ෂය හැර ගොස් මහින්ද රාජපක්ෂ රජයට සහය පළකිරීම එක්සත් ජාතික පක්ෂය පාර්ශවයෙන් ඔහුට එරෙහිව චෝදනාවක් එල්ලවිය හැකි නමුත් යුද්ධයේ තීරණාත්මක අවස්ථාවක රජයට සහයදීම ගැන ඔහු ප්‍රසංසාවට ලක්විය හැකි බවත් මාධ්‍යවේදී අමල් ජයසිංහ පෙන්වා දෙයි.
ඔහු පවසන පරිදි බෞද්ධ මහා නායක හිමිවරුන්ගේ සහය ලැබීම මගින් සිංහල බෞද්ධ ඡන්දදායකයන් ආකර්ෂණය කරගැනීමේ හැකියාව මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සියලු කණ්ඩායම් එකමුතු කිරීමට ඔහුට හැකියාව තිබෙන්නේය යන්න සමහරුන්ගේ ස්ථාවරය වී තිබේ.
"එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයන් තුන් දෙනා අතරින් කරු ජයසූරියගේ නම දැන් සඳහන් වෙන්නේ මේ සියලු පාර්ශව එකමුතු කරගෙන ඉදිරියට යන්න පුළුවන් පුද්ගලයා හැටියට," අමල් ජයසිංහ වැඩිදුරටත් පැවසීය.
කියවන්න:
ඉදිරි ජනපතිවරණයේ දී සිය පක්ෂය "පොදු අපේක්ෂකයෙකු" ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසන අතර, දෙමළ ජාතික සන්ධානය මෙතෙක් සිය ස්ථාවරය හෙළි කොට නැත.
මේ අතර, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ විසින් හිටපු කතානායක චමල් රාජපක්ෂ හෝ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය අපේක්ෂකයා ලෙස නම් කිරීමේ හැකියාව පිළිබඳවත් ඇතැම් වාර්තාවල දැක්වේ. එහිදී වාසුදේව නානායක්කාර ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන වාමාංශික පක්ෂවල සහය හිමි වී තිබෙන්නේ චමල් රාජපක්ෂටය.
ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්වන අපේක්ෂකයන් හැරුණු විට ජනපතිවරණයට ඉදිරිපත්වීමට ඉඩ තිබෙන ස්වාධීන අපේක්ෂකයන් කිහිප දෙනෙකු කෙරෙහි ද අවධානය පළ වී තිබේ. දූෂණයට එරෙහිව හඬ නගන නීතිවේදියකු වන නාගානන්ද කොඩිතුවක්කු සහ ව්‍යාපාරික රොහාන් පල්ලෙවත්ත ඒ අතරින් දෙදෙනෙකි.
නාගානන්ද කොඩිතුවක්කු
ඡායාරූප මූලාශ්‍රය, NAgananda kodituvakku/ facebook
බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් නීතිවේදී නාගානන්ද කොඩිතුවක්කු කියා සිටියේ "ශ්‍රී ලංකාවේ මහජනතාව විසින්ම, මහජනතාව උදෙසා සකස් කරන" නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් (Constitution for the people, by the people) මාර්ගයෙන් විධායක ජනාධිපති ක්‍රමය ඇතුළු ජනතා විරෝධී සියලු අංග අහෝසි කොට, නව පාර්ලිමේන්තුවක් තෝරාපත් කරගෙන සම්පූර්ණයෙන්ම අල්ලස, දූෂණය සහ වංචාවෙන් තොර, නීතියේ ආධිපත්‍යය රජ කරන සමාජයක් නිර්මාණය කරන බවය.
"දැන් උදාහරණයක් විදියට අද තියන ව්‍යවස්ථා සභාව සම්පූර්ණ පාර්ලිමේන්තුවේ ග්‍රහණයේ තියෙන්නේ. හත් දෙනෙක්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු. මේක ස්වාධීන ආයතනයක් නෙවෙයි, ඔහු පැවසීය.
"සිංහල දේශපාලන නායකයෝ සිංහල ජනතාව ලොකු මුලාවක තියාගෙන ඉන්නවා. දෙමළ ජනතාව, දෙමළ දේශපාලකයන් විසින් සම්පූර්ණයෙන්ම මුලාවට ලක් කරනවා."
ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයේ මූලිකත්වයෙන් පිහිටුවන ලබන නව දේශපාලන පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන නව ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුපට අමතරව ලැබෙන සියලු මූල්‍ය වරප්‍රසාද අහෝසි කරන බව ද නීතිවේදී නාගානන්ද කොඩිතුවක්කු බීබීසී සිංහල සේවය සමග පැවසීය.
කිසියම් ලෙසකින් තමන් තේරී පත්වුවහොත්, එදිනම තමන් නව ව්‍යවස්ථාව සහතික කරන මොහොතේම විධායක ජනපති පදවිය අහෝසිවන අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බව ඔහුගේ ස්ථාවරය වී තිබේ. එමෙන්ම අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ද ඒ මොහොතේම අත්හිටවනු ලැබේ.
රට තුළ දූෂණ, වංචා වැළැක්වීමට හෝ දූෂණ වංචාවලට වැරදිකරුවන්ට දඬුවම් දීමට අපොහොසත්වීම පිළිබඳ ශ්‍රී ලංකාව මෙතෙක් පාලනය කළ සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ දැඩි විවේචනයට ලක් කරන ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකලාපය ද අනුමත නොකරයි.
රොහාන් පල්ලෙවත්ත
ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින්, විශේෂයෙන්ම ණය අර්බුදයෙන් රට බේරා ගැනීමේ සැලසුමක් ද සහිතව ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත්වන බව ව්‍යාපාරික රොහාන් පල්ලෙවත්ත පවසයි.
පාලකයන් රටේ සමස්ත ණය ප්‍රමාණය නිල ගිණුම්වලට ඇතුළත් කොට නැති බව පවසන ඔහු, විදේශවලින් ලබාගන්නා ණය පාලනය කිරීමේ අවශ්‍යතාවක් කිසිදු පාලකයෙකුට නොමැති බවට ද චෝදනා කරයි.
"ඒ නිසා මේ දූෂිත ක්‍රමය තුළ අපි කොච්චර හොඳ යෝජනාවක් ගෙනාවත් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් තියෙනව," යනුවෙන් ඔහු පසුගිය දා රත්නපුරයේ පැවති රැස්වීමකදී පැවසීය.
කියවන්න:
කාන්තාවෝ
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද, නැද්ද යන්න පිළිබඳව ශිරන්ති රාජපක්ෂ තවමත් කිසිදු අදහසක් පළ කොට නොමැති අතර ගතවගිය දශකය තුළ ප්‍රධාන පක්ෂවලින් ඉදිරියට ඒමට කාන්තාවන්ට අවස්ථාවක් හිමි නොවීම හමුවේ ඉදිරි ජනපතිවරනයට ප්‍රබල කාන්තාවක් ඉදිරිපත්වීමේ හැකියාවක් දක්නට නැත.
ඒ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ගවේෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා, නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්ති බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ, නායකත්වය සඳහා කාන්තාවන් දිරිමත් කිරීමේ හෝ පුහුණු කිරීමේ ක්‍රියාදාමයක් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ තුළ දක්නට නොමැති බවය.
මෙතෙක් නායකත්වයට පත් වූ කාන්තාවන් පවා වරප්‍රසාදලාභී හෝ දේශපාලන පසුබිමක් සහිත පවුල්වලින් පැමිණි කාන්තාවන් බව පෙන්වාදෙන ඇය, "ඔවුන් එක සමාජ ස්ථරයකට අයත් පුද්ගලයන් නිසා ඔවුන්ට දේශපාලනයේ ඉදිරි ගමනක් යන්න පහසු" වුවත් එය ඉතා සුළුතරයක් බවත් කියා සිටියාය.
"ආසියාවේ බොහෝ රටවල් උදාහරණයකට ගත්තොත් එහි තියෙන්නේ පවුල් දේශපාලන වටපිටාවකින් ආපු කාන්තා නායකත්වයක්" මිස ස්වෝත්සාහයෙන් ඉදිරියට පැමිණි කාන්තාවන් ඉතා විරල අතරම, කාන්තාවක වීම නිසාම නින්දා අපහාස සහඋසුළු විසුළුවලට ලක්වීමට එසේ ඉදිරියට එන කාන්තාවට බොහෝ විට සිදුවන බවත් පෙන්වා දෙන්නීය.
කෙසේ වුවත් අඩු වැඩි වශයෙන් මේ තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නොව ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය සහ බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවලට පවා පොදු වාතාවරණයක් බව මාධ්‍යවේදිනී දිල්රුක්ෂි හඳුන්නෙත්ති වැඩිදුරටත් කියා සිටියාය.
මේ අතර ඒ ගැන බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කාන්තා හිමිකම් සම්බන්ධ ග්‍රන්ථ කිහිපයකම කතුවරිය වන හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ පවසන්නේ, "ස්ත්‍රී නියෝජනයක් කියන එක එන්නෙ ම එක්කො පිය උරුමයක් නැත්නම් ස්වාමිපුරුෂ උරුමයක් නැත්නම් සහෝදර උරුමයක් විදියට. ඒ හැමෝම පුරුෂ හෙවනැල්ලක එල්ලිච්චි උදවිය," බවය.
ඒ අතරම ශ්‍රී ලංකාවේ කාන්තාවට ද විවේචනයක් එල්ල කරන ඇය, "ලංකාවෙ බහුතරයක් ස්ත්‍රීන්ට ස්වාධීන චින්තනයක් නෑ. යැපෙන්නෙ පිරිමින්ගෙ අදහස්වලින්. මේ සැරේ පළාත් පාලන ආයතන ගැන හිතන්න. හොඳ ම උදාහරණයක්. ඒ නිසා ස්ත්‍රී නියෝජනය යන්න නැවත සිතා බැලිය යුත්තක්," යනුවෙන් ද කියා සිටියාය.
සමස්තයක් වශයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් යනු "මේ දේශපාලන මඩ ගොහොරුවෙ ම ඉන්න සුපුරුදු චරිත," බැවින් ඔවුන්ගේ පූර්ව ක්‍රියාකාරකම් ඉදිරියේ දි මතු නොකර ගනීවි යන්න ගැන සහතිකයක් නැති බව පවසන ලේඛිකා හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ, "ඒ නිසා ඒ සියල්ලන් ගැන මගේ ප්‍රසාදයක් නෑ," යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළාය.