ශ්‍රී ලංකාව තුළ ලිංගික අධ්‍යාපනය සලකන්නේ "ලිංගික අපරාධයක් විදියට"

Image caption නීතිවේදිනී ධනුෂිකා අබේරත්න

යෞවන වියට පා තබන දියණියක හෝ පුතෙකු සිටින දෙමව්පියන්ගෙන් අති බහුතරය සිය දරුවන් ප්‍රේම සබඳතා කෙරෙහි යොමුවන්නේ ද යන්න සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවෙති.

විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල නව යෞවනයේ පසුවන දියණියක් ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීම සැලකෙන්නේ සමාජයීය අපවාදයකට ලක් වන්නක් ලෙසය.

වයස අවුරුදු 16 ඉක්මවූ නව යෞවන වියේ පසුවන පෙම්වතුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ද බොහෝ විට අනුගමනය කරන්නේ දැඩි ප්‍රතිපත්තියකි.

ප්‍රසිද්ධ ස්ථානයක පෙම් කළ "වරදට" ඉහත කී වයස් සීමාවේ පසුවන පෙම්වතුන් "රංචු පිටින්" අත්අඩංගුවට පත්වන අවස්ථා ද ඇතැම්විට වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ නීතිගත විවාහ වයස් සීමාව අවුරුදු 18 වන අතර අවුරුදු 16 ඉක්මවූ පසු තරුණියකට හෝ තරුණයෙකුට රිසි අයෙකු සමග ලිංගිකව එක්වීමට නීතියෙන් බාධාවක් නොමැත.

නමුත් එසේ ගැබ් ගන්නා වයස අවුරුදු 16 ඉක්මවූ තරුණියකට අවුරුදු 18 වන තෙක් විවාහ විය නොහැක.

එවැනි අවස්ථාවකට මුහුණ දුන් තරුණියකට සමාජයීය වශයෙන් සහ මානසික වශයෙන් මුහුණ දීමට සිදුවන පීඩා අපමණය. ඇතැම් විට එය ජීවිත හානි කර ගැනීමෙන් පවා කෙලවර විය හැකිය.

ඉහත කී ආකාරයේ සමාජයීය ගැටලු ඇතිවීම වළක්වා ගැනීම සඳහා පොලිසිය කළ යුත්තේ යෞවන වියේ පසුවන පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම නොව ඉහත කී නීතිමය පසුබිම පිළිබඳ තරුණ පරපුර දැනුවත් කිරීම බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාරිනී ධනුෂිකා අබේරත්න පවසයි.

"නීතිය යටතේ එය වරදක් වෙන්නේ දෙදෙනෙක් 'අශෝභන ආකාරයෙන්' ඒ ස්ථානයේ හැසිරෙනවා නම් පමණයි. නමුත් එතනත් ප්‍රශ්නයක් තිබෙනවා 'අශෝභන' කියන්නේ මොකක්ද කියන නිර්වචනය සම්බන්ධයෙන්," යනුවෙන් ඇය බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

පෙම්වතුන්ට එළිමහනේ අදහස් හුවමාරු කරගැනීමට ඇති නිදහස "අහුරා දැමීමේ ප්‍රතිඵලය කාමරයකින් අවසන් විය හැකි" බැවින් පවතින නීතිමය තත්ත්වය සහ ඉන් ඇතිවිය හැකි බලපෑම පිළිබඳ දැනුවත් කිරීම තරුණ පරපුරේ ඉදිරි ගමනට අතිශය වැදගත්වනු ඇති බව ඇය පෙන්වා දෙයි.

"පවුලේ අය මේ ගැන දරුවන් එක්ක කතා කළ යුතුයි. පොලිසිය, පාසල සහ සමාජ සේවකයන් අතින් මේ දැනුවත් වීමයි සිදු විය යුත්තේ."

එසේ දැනුවත් නොකරන අවස්ථාවක යෞවන වියේ පසුවන තරුණ තරුණියන්ට ඉහත කී ආකාරයේ සමාජීය සහ මානසික ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවත් කථිකාචාරිනී ධනුෂිකා අබේරත්න කියා සිටියාය.

"මොකද ලංකාවේ ලිංගික අධ්‍යාපනය කියන වචනය ඇහුන ගමන් ඒක දකින්නේ ලිංගික අපරාධයක් විදිහට.

"ලිංගික කැමැත්ත දෙන වයස අවුරුදු දාසය වශයෙන් දක්වලා තියෙන්නෙ ඒ වයසෙදි ලිංගිකව මුහුකුරා (sexual maturity) ගොස් තිබෙනවා කියන පිළිගැනීම නිසා. ඊට වැඩි වයස් සීමාවක් පැනවීමෙන් එය නිරර්ථක නීතියක් විය හැකියි. නමුත් ලංකාවේ පවතින විශම සමාජ ආර්ථික තත්ත්වයත් එක්ක මේ වයසෙ සෑම දරුවෙකුටම එවැනි තීරණයක් ගන්න දැනීමක් තිබේද යන්න ප්‍රශ්නයක්. මොකද දරුවන්ට ප්‍රමාණවත් නෛතික හෝ ලිංගික අධ්‍යාපනයක් නොලැබෙන නිසා.

"අවුරුදු 16 පස්සේ ලිංගිකව එක්වෙලා 18 වන තුරු විවාහ වීමට නොහැකි බැවින් ගැහැණු ළමුන් විශාල පිරිසක් ගැටලුවලට මුහුණ දෙනවා. මොකද දෙන්නෙක් ලිංගිකව එක්වුවත් ඇය නීත්‍යනුකූලව බිරිඳ වශයෙන් පිළිගැනෙන්නේ නැහැ. ඒ නිසා බිරිඳකට නීතියෙන් හිමි වෙන අයිතිවාසිකම් ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම සුජාතභාවය කියන කාරණයත් එක්ක, ලැබෙන දරුවටත් විවිධ ගැටලුවලට මුහුණ දෙන්න වෙන්න පුලුවන්.

"මේ නිසයි දැනුවත් කිරීම අවශ්‍ය."

මේ අතර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා සහ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනූෂා එදිරිසිංහ කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ අවුරුදු 16 ට වැඩි (ලිංගික කැමැත්ත දිය හැකි) නමුත් අවුරුදු 18 ට අඩු (විවාහ විය නොහැකි) වයස් සීමාවේ පසුවන ළමා මව්වරුන්ගේ සංඛ්‍යාව සමාජීය ගැටලුවක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

"අවුරුදු 16 යි 18 යි අතර දරුවෝ ප්‍රෙග්නන්ට් වෙනවා. උපදින දරුවට තාත්තා නැති වෙනවා. මොක ද ඒ ළමයා බාලවයසක නම් ඔහුට පරිවාසෙට යන්න වෙනවා. මේ අය පොලිසිය ඉදිරියේ පොරොන්දු වෙනවා අනාගතයේ කසාද බඳිනවා කියලා. හැබැයි අනාගතයේදී ඒ තරුණයා හොයා ගන්න බැරි වෙනවා. උපදින දරුවට තාත්තා කෙනෙක් නැති වෙනවා," ආචාර්ය අනූෂා එදිරිසිංහ විස්තර කළාය.

"එක්කෝ ලිංගික කැමැත්ත දෙන වයස අවුරුදු 18 කරන්න ඕනි. එහෙම නැතිනම් විවාහ වෙන වයස අවුරුදු 16 කළ යුතුයි,"

ඉහත කී වයස් සීමාවන් සම්බන්ධ නීතිය වෙනස් විය යුතුවා සේ ම ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය සහ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ විවෘතව කතා කළ යුතු බවත් අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනූෂා එදිරිසිංහ පෙන්වා දුන්නාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර