මන්නාරම සමූහ මිනීවළ: "වාර්තාවේ දෘඪ පිටපතක් අධිකරණයට ලැබී නැහැ"

මන්නාරම සමූහ මිනීවළෙන් සොයාගත් අස්ථි කොටස්වලින් ලබා ගත් සාම්පලවලට අදාළ කාබන් පරීක්ෂණ කාල නීර්ණ වාර්තාව ලැබුණ ද ඒ හරහා සමූහ මිනිවළ සම්බන්ධයෙන් සම්පූර්ණ අර්ථ නිරූපණයක් සිදුකළ නොහැකි බව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ පවසයි.

අස්ථි කොටස්වලින් ලබා ගත් සාම්පල හයක් ඇමරිකාවේ ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමු කර තිබූ අතර ඉන් සාම්පල පහකට අදාළ වාර්තා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබුණේ පෙබරවාරි 16 වෙනිදාය.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ විසින් අදාළ කාබන් පරීක්ෂණ කාල නීර්ණ වාර්තාව බදාදා (පෙබරවාරි 20) අධිකරණය වෙත භාර දෙනු ලැබිණි.

නමුත් ඇමරිකාවේ ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාරය අදාළ වාර්තාවේ දෘඪ පිටපතක් අධිකරණය වෙත ද ලබා දිය යුතු බව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය පැවසීය.

අදාළ දෘඪ පිටපත නිල වශයෙන් ලැබී නොමැති බැවින් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා අධිකරණය වෙත ලබා දී ඇති වාර්තාව සම්බන්ධයෙන් නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බව මන්නාරම මහේස්ත්‍රාත් ටී සරවනරාජා කියා සිටියේය.

මහේස්ත්‍රාත්වරයා ඒ බව ප්‍රකාශ කළේ සමූහ මිනිවළ සම්බන්ධයෙන්, අතුරුදහන්වූවන්ගේ ඥාතීන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩු විභාගය බදාදා නැවත කැඳවූ අවස්ථාවේදීය.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණය වෙත මෙතෙක් නොලැබී ඇති බව කී මහේස්ත්‍රාත් ටී සරවනරාජා අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත පමණක් වාර්තාව ලැබී ඇති බව පෙන්වා දුන්නේය.

අදාළ වාර්තාව ලද විගස ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කරන බව ද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ නඩු විභාගය පෙබරවාරි 25 වෙනිදා දක්වා කල් තැබිණි.

කෙසේ නමුත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු වාර්තාව හරහා අස්ථි කොටස්වලට අදාළ කාලය සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කළ නොහැකි අතර අස්ථි අයත් කාල සීමාව සම්බන්ධයෙන් දස වසරක කාලයකට අදාළ කාල පරාසයක් පමණක් නිකුත් කිරීමට හැකියාව ලැබෙන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසන පරිදි අස්ථි කොටස් මගින් අනාවරණය කර ගැනීමට නියමිත කරුණු:

  • අදාළ පුද්ගලයන් මිය යාමට හේතු
  • අස්ථි බිදී පවතින්නේ නම් එසේ බිඳී ගොස් ඇත්තේ මරණයට පෙරද? නැතිනම් පසුවද? යන්න
  • ඔවුන් කිසියම් රෝගයකින් මියගිය පිරිසක්ද?
  • මරණය සිදුව ඇත්තේ අදාළ ස්ථානයේද?
  • මරණය සිදුව ඇත්තේ වැළලූ ස්ථානයට පිටින් ඇති වෙනත් ස්ථානයකද?
  • සමූහ මිනිවළ තුළින් සොයාගත් අස්ථි අතර තිබී හමුවූ ද්‍රව්‍ය සහ අදාළ අස්ථි අතර සම්බන්ධයක් පවතින්නේද?

ඉහත කී කරුණු මෙන්ම සමූහ මිනීවළ පැවති ආකාරය සහ අස්ථි තැන්පත් වී ඇති ආකාරය සම්බන්ධයෙන් පූර්ණ අර්ථ නිරූපණයක් ඉදිරිපත් කිරීමට තවදුරටත් පරීක්ෂණ වාර්තා රැසක් ලැබිය යුතු බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ පෙන්වා දෙයි.

සමූහ මිනීවළේ ස්ථරවල පිහිටීම, අස්ථි කොටස් අතර තිබූ යම් යම් ද්‍රව්‍යවල සම්බන්ධතාව සහ එවායේ පිහිටීම, මිනිවළ තුළින් හමුවූ ද්‍රව්‍ය සහ අදාළ අස්ථි කොටස් අතර වන සම්බන්ධතාව වැනි කරුණු පිළිබඳ පරීක්ෂණ සිදුකරන, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිසගෙන් වාර්තාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

මේ වනවිට මිනිවළ සම්බන්ධයෙන් පූර්ණ අර්ථ නිරූපණයක් ලබා ගැනීමට අවශ්‍ය සෙසු පරීක්ෂණ වාර්තා ලබා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ නාරා ආයතනය වෙත සාම්පල ඇතුළු ඊට අදාළ තොරතුරු ඉදිරිපත් කොට ඇති බව ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ සඳහන් කළේය.

මේ අතර බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහචාර්ය රාජ් සෝමදේව කියා සිටියේ අස්ථිවලට අදාළ කාබන් නිර්ණ වාර්තාව තුළින් අස්ථිවල කාලය සම්බන්ධයෙන් අදහසක් ලබා ගත හැකිවුව ද ඒ හරහා සමූහ මිනිවළ සම්බන්ධයෙන් පූර්ණ අර්ථ නිරූපණයක් නිකුත් කිරීමට හැකියාවක් නොලැබෙන බවය.

ඒ සඳහා දීර්ඝ වශයෙන් පරීක්ෂණ සිදු කර ඒවායේ ප්‍රතිඵල යොදා ගත යුතු බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සමූහ මිනීවළෙන් හමුවු අස්ථි කොටස්වල කාලය සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම පරීක්ෂණ කටයුතු වෙනුවෙන් පහසුවක් වන නමුත් එහි පිහිටීම, කැනීම් සිදුකළ ආකාරය, කැනීම්වලින් අස්ථි හමුවු ස්ථර, අදාළ ස්ථර තුළ අස්ථි පිහිටීම, අස්ථි සමඟ හමුවු වෙනත් ද්‍රව්‍ය සහ අදාළ ද්‍රව්‍ය සමඟ අස්ථිවල සබඳතාව වැනි කරුණු පිළිබඳ පූර්ණ වාර්තාවක් පුරාවිද්‍යාව සම්බන්ධ විශේෂඥ දැනුම යොදා ගනිමින් ලබා ගැනීමට හැකි වන බවය.

අදාළ වාර්තා සියල්ල එකරාශි කිරීමෙන් අනතුරුව සමූහ මිනිවළ සම්බන්ධයෙන් අර්ථ නිරූපණය කළ හැකි බව කී මහාචාර්යවරයා, ඒ ආකාරයේ අර්ථ නිරූපණයක් මාතලේ ප්‍රදේශයෙන් හමුවු සමූහ මිනිවළ සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ බවද පැවසීය.

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් මන්නාරම එමිල් නගර් ප්‍රදේශයට ගෙන ගොස් තිබිණි. එම පස් ගොඩක තිබී 2018 වසරේ මාර්තු 26 වෙනිදා අස්ථි කොටස් හමු වූ අතර අනතුරුව කඩා දැමූ ගොඩනැගිල්ල තිබු ප්‍රදේශයේ පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

පරීක්ෂණ කණ්ඩායම පවසන පරිදි:

  • සමූහ මිනිවළ සම්බන්ධයෙන් මේ දක්වා දින 146 පරීක්ෂණ පවත්වා ඇත.
  • මිනිවළ තුළින් මිනිස් සිරුරු 323 කට අයත් අස්ථි කොටස් ‍මතුකර ගැනීමට හැකි වී තිබේ.
  • ඒ අතරින් මිනිස් සිරුරු 314 කට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන ඇත.
  • ළමුන් 28 දෙනෙකුට අයත් අස්ථි කොටස් ද ඒ අතරට අයත්ය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර